

- දැනට වාර්ෂිකව සිදු කරන මිලියන 6ක මගී හැසිරවීම් මිලියන 10ක් දක්වා වර්ධනය අපේක්ෂාවයි
- මගී පිටවීමේ රැඳවුම් ශාලාව තවත් වර්ග මීටර් 1,700 කින් පුළුල් කෙරේ
- ආගමන පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් පවතින කවුළු 29,කවුළු 40ක් දක්වා වැඩි කෙරේ
- එන - යන මගීන් වෙනුවෙන් තීරු බදු රහිත පහසුකම් සඳහා වන තවත් ඉඩ පුළුල් වෙයි
භානුක අමරසිංහ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව ආසන්න වශයෙන් තවත් මගීන් මිලියන 5කින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කරයි. ඊට අදාළව එම ගුවන් තොටුපොළේ පර්යන්ත පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එම සමාගම පවසයි.
“මෙම ව්‍යාපෘතිය සම්පූර්ණවීමත් සමගින්ම ගුවන් තොටුපොළේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් වේවි. ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වාර්ෂික මගීන් හැසිරවීමේ ධාරිතාවත් ආසන්න වශයෙන් මගීන් මිලියන 5කින් ඉහළ නංවාවි’’ එම සමාගම සඳහන් කරයි.
මේ අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය මාසයේදී මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාද, එම ගුවන් තොටුපොළ පර්යන්තය නිර්මාණය කර ඇත්තේ වාර්ෂිකව මගීන් මිලියන 6ක් හැසිරවීමට බවත්, එය මිලියන 10ක් දක්වා ඉහළ නංවා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවත් පවසා තිබුණි. එසේම මෙම පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ වියදම රුපියල් බිලියන 15ක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණි.
මෙම පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මගී පිටවීමේ රැඳවුම් ශාලාව තවත් වර්ග මීටර් 1,700 කින් පුළුල් කෙරෙන අතර, ඒ හරහා මගී තදබදය ලිහිල් කිරීම අරමුණ වී තිබේ. එසේම ආගමන පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් දැනට පවතින කවුළු 29, කවුළු 40ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර, ඊට නවීනතම ඉලෙක්ට්‍රොනික ගේට්ටු හතරක්ද ඇතුළත් වන බව සමාගම පවසයි.
මේ අතර මෙරටට පැමිණෙන මගීන් සඳහා වන තීරුබදු රහිත පහසුකම් වෙනුවෙන් නව වර්ග මීටර් 625ක ඉඩක් වෙන් කෙරෙන බවත්, රටින් පිටවන මගීන් වෙනුවෙන් වර්ග මීටර් 1000ක ඉඩක් තීරුබදු රහිත පහසුකම් සඳහා ලබා දෙන බවත් පැවසෙයි.
ගුවන් තොටුපොළ හරහා රටින් පිට වන මගීන් වෙනුවෙන් අලුතින් තවත් අමතර පරීක්ෂා කිරීමේ කවුළු 36ක් එකතු කිරීමට නියමිතව ඇති අතර, දුරස්ථ ගොඩවීමේ ගේට්ටු 6ක් එක් කිරීමටද නියමිතය.
“රටට පැමිණෙන මගීන් සඳහා වන රැඳවුම් ශාලාව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රමිති අනුව නවීකරණය කිරිමට සැලසුම් කර තිබෙනවා. ඒ හරහා මගීන්ගේ ගමන වඩාත් සුමටව සහ සුවපහසුව සිදු කිරීමේ අවස්ථාව ලබා දෙනවා.“
මීට අමතරව මෙම ව්‍යාපෘතිය යටතේ ගුවන් තොටුපොළ පරීක්ෂා කිරීමේ කවුළු සංඛ්‍යාව දැනට පවතින 60 ක සිට 74ක් දක්වා තවත් කවුළු 14කින් ඉහළ නැංවීමටත් අපේක්ෂාව බවත් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd