කිලෝවකට ඩොලර් 20,000 ක් අගය එකතු කළ හැකි ඛනිජ සම්පත් ටොන් එකක් අලෙවි වෙන්නේ ඩොලර් 2,000 කට?
මින් ඉදිරියට ඛනිජ සම්පත් ගවේෂණය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හරහා පමණයි
ගවේෂණ බලපත්‍ර ලබාගත් ආයතන ඉන් සිදු කර ඇත්තේ කොටස් වටිනාකම් ඉහළ නංවා ගැනීම පමණයි
අගය එකතු කරන්න පුළුවන් තාක්ෂණික හැකියාව සහිත කණ්ඩායම්වලට අවස්ථාව දීම අරමුණයි
පෞද්ගලික ඉඩම්වල තිබී හමුවන ඛනිජ සම්පත්වල අයිතිය රජයටයි
භානුක අමරසිංහ
|
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
|
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය ජූනි 11 වැනිදා සිට බලාත්මක වන බවත් ඒ අනුව ඉදිරියේදී මෙරට ඛනිජ සම්පත් අගය එකතු කිරීමකින් තොරව අමුද්‍රව්‍ය ලෙස රටින් පිට කිරීම තහනම් කෙරෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
මෙම නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ (11) පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය. විශේෂයෙන්ම වසර 27කට පසුව මෙලෙස ජාතික ඛනිජ ප්‍රතිපත්තියේ යාවත්කාලීන කිරිමක් සිදු කර තිබෙන බවත්, මේ වනවිට ඊට කැබිනට් අනුමැතිය හිමිව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්ව තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
“මේ නව ප්‍රතිපත්තිය හරහා රටේ අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණයි. මෙතෙක් කලක් අපේ ඛනිජ සම්පත් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගිහිල්ලා තිබුණේ අමුද්‍රව්‍ය විදියට. අගය එකතු කිරීමක් වෙලා නැහැ. ඒ නිසා මේ සම්පත් හරහා එකතු විය යුතු ඇත්ත ඩොලර් වටිනාකම ජාතික ආර්ථිකයට ලැබුණේ නැහැ. උදාහරණයක් ගත්තොත් කිලෝ එකක් ඩොලර් 20,000 කට අගය වර්ධනය කරන්න පුළුවන් ඛනිජ සම්පත්වලින් තමයි අපි ඩොලර් 2,000ක් උපයලා තියෙන්නේ.“
ලංකාවේ ප්‍රධානතම ඛනිජ සම්පත් වන ඉල්මනයිට්, රූටයිල්, ගාර්නට්, සිලිකා, ක්වාර්ට්ස්, ටයිටේනියම් වැනි සම්පත් සඳහා මෙම තත්වය පොදු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“අපිට වසර දහස් ගණනක් තිස්සේ ස්වාභාවිකම එකතු වෙච්ච ඛනිජ සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ නැගෙනහිර වෙරළ තීරය, මන්නාරම පැත්ත, දකුණු මුහුදු තීරය ලෙස මෙම මුහුදේ නොවන ගොඩබිම මීටර් 300ක විතර සීමාවේ විශාල ඛනිජ සම්පත් තිබෙනවා. රට ඇතුළෙත් තියෙනවා. කහටගහ ග්‍රැෆයිට්. එප්පාවල පොස්පේට්.”
මෙම ඛනිජ සම්පත් ගවේෂණය සඳහා මෙතෙක් පෞද්ගලික අංශයටද අවස්ථාව ලබාදී තිබූ නමුත්, නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය යටතේ ඉදිරියේදී අදාළ ඛනිජ ගවේෂණය සම්පූර්ණයෙන්ම භූවිද්‍යා හා පතල් කාර්යාංශය වෙත පැවරෙන බවත්, එම ගවේෂණවලින් සොයා ගන්නා තොරතුරු අනුව ආයෝජන සඳහා යෝජනා කැඳවීම සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
“පෞද්ගලික අංශයේ ගවේෂණ බලපත්‍ර ලබාගත් සමාගම් ඉන් එහාට ගිහිල්ලා. අගය එකතු කිරීම්, සකස් කිරීම්, කැණීම් කටයුතු සිදු නොකර ඒ ගවේෂණ බලපත්‍රය පාවිච්චි කරලා කොටස් වෙළෙඳපොළේ තමන්ගේ කොටස් මිල වැඩි කරගැනීමයි.නැත්නම් මෙම ගවේෂණ සිදු කරන ප්‍රදේශ අත.්පත් කරගෙන මිල වැඩි වෙනකම් ඒවා පවත්වාගෙන යාම.”
අමාත්‍යවරයාට අනුව 1993 වසරේ සිට මේ දක්වා ඛනිජ ගවේෂණ බලපත්‍ර 471 ක් ලබාදී තිබෙන නමුත්, කැණීම් සඳහා අවසරය ලැබී ඇත්තේ 28 දෙනකු පමණි. ඒ අතරින්ද වලංගුබව ඇත්තේ 12 දෙනකු සඳහා පමණක් බවත්, ඉන් මේ දක්වා කැණීම් කර ඇත්තේ රජයේ ආයතන 06ක් සහ පෞද්ගලික ආයතන 02ක් පමණකි. ඒ අනුව මෙය සීමිත ක්‍රියාවලියක් බවට පත්ව තිබෙන බවත්, මේ නිසා ආයෝජකයන් මෙරටට පැමිණීමද සීමා වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“ඒ අනුව මෙම නව ප්‍රතිපත්තිය තුළ ගවේෂණය, කැණීම් කිරීම, සකස් කිරීම සහ අගය එකත කිරීම කියන සියලු දේ නියාමනය කරනවා. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තමයි මින් ඉදිරියට සියලුම ගවේෂණ කටයුතු සිදු කරන්නේ. එම ප්‍රතිඵල ගැසට් කරලා, එම ස්ථාන වෙත ආයෝජනය සඳහා යෝජනා කැඳවනවා. ඒ හරහා අපේ ඛනිජ සම්පත්වල අගය එකතු කරන්න පුළුවන් තාක්ෂණික හැකියාව සහිත කණ්ඩායම්වලට අවස්ථාව දීම මින් සිදු වෙනවා.”
මේ අතර දැනට ගවේෂණ බලපත්‍ර ලබා ගෙන ඇති ආයතනවල බලපත්‍ර විශේෂඥ තාක්ෂණික කමිටුවක් හරහා ඇගයීමට ලක් කරන බවත්, ඔවුන්ගේ ඉදිරිය ගැන තීරණය ඒ අනුව ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් එම බලපත්‍ර සහිත ආයතනද කටයුතු කළ යුත්තේ ද කටයුතු කළ යුත්තේ නව ඛනිජ ප්‍රතිපත්තිය අනුවම බවද අමාත්‍යවරයා පවසා සිටියේය. ඛනිජ ප්‍රතිපත්තිය අනුවම බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් කේන් බණ්ඩාර මහතා මෙම නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය අනුව, යම් පුද්ගලයකු පදිංචි වී සිටින භූමියක පොළොවේ තැන්පත්ව ඇති ඛනිජවල අයිතිය රජය සතු වන බවත්, ඒවා කැණීම සහ නිස්සාරණය කිරීමේ බලය රජයට පවතින බවත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය ලෙස පිටරට යවන්නේ නැතුව ඒවා යම්කිසි මට්ටමකට පිරිපහදු කර හෝ භාණ්ඩ නිමවා පිටරට යැවීම මගින් වැඩි අදායමක් ලබාගන්න පුළුවන්..., ඔබතුමාගේ අදහස මතුපිටින් බැලු බැල්මට ඉතා හොඳයි, නමුත් මේවා ක්‍රියාත්මක කරනකොට පහත සදහන් ප්‍රශ්න මතු වෙනවා 1) මේවා පිරිපහදු කරන්න අවශ්‍ය කර්මානත ශාලා හදන්න... ඉන්පසු කර්මාන්තය පවත්වාගෙන යන්න පිටරටින් ගෙන්වන රසායන ද්‍රව්‍ය වගේ දේවල් අවශ්‍ය වෙනවා... මේවා පිටරටින් ගෙන්වන කොට විශාල තීරු බද්දක් ගහනවා මේක නිෂ්පාදන වියදමට බලපානවා... 2) ලංකාවේ පුහුණු ශ්‍රමිකයින් හිඟකම සහ විදේශිකයෙකු මෙහෙට ගෙනත් රැකියාවක් දෙන්න VISA ගන්න එක හරිම අපහසු කාර්යයක් , 3 ) මේවා කරන්න ආයතන බොහෝ ගණනකින් බලපත්‍ර ලබා ගන්න සිදු වෙනවා මේක ඉතා අසීරු සහ කාලය ගතවෙන ක්‍රියාවලියක්... (මතු සම්බන්ධයි)
දැනට අපේ සමහර ඛනිජ සම්පත් බොහෝමයක් පිටරට යවන්නේ අමුවෙන්, මේකට වෙළදපලක් ජාත්‍යන්තරේ තිබෙනවා.. මෙම කර්මාන්තවල පතල් කරුවාගේ සිට විවිධ රැකියා ඍජු සහ වක්‍රව කරන විශාල පිරිසක් සිටිනවා. ඛනිජ ද්‍රව්‍ය අමුවෙන් පිටරට යවන එක නතර කරන්න ඕනේ ඒවා පිරිපහදු කරන්න. ඒවාගෙන් භාණ්ඩ නිෂ්පාදනය කරලා පිට රට යවන්න කර්මාන්තශාලා ආරම්භ කරලා ඒවා ක්‍රියාත්මක වෙනකොට..., නැතිව කිසිම සූදානමක් නැතිව එකවර නතර කළොත් විශාල පිරිසකට රැකියා අහිමි වෙනවා.. සිතන්නේ බලන්නේ නැතිව නීති පනවලා එකවර මේවා නවත්තලා, රැකියා ප්‍රශ්න උද්ඝෝෂණ වගේ ප්‍රශ්න මතුවෙනකොට පනත නැවත රිවස් කලොත්, අපේ දැනට සිටින ගැනුම් කරුවෝ වෙනත් විකල්ප කරා යන නිසා, දැනට ලැබෙන මිලත් නොලැබී යන්න පුළුවන්...
ඔහොම කළාම පතල් වලට සම්බන්ධ කී දෙනෙකුගේ රැකියා නැති වෙනවාද? ඕකත් අර ඔබතුමාගේ සීනි වෙළදාම වගේ, ලොස් වෙන වැඩක්, ඔබතුමාට ආර්ථික විද්‍යා උපාධියක් තිබුණාට වෙළදාම ගැන දැනුමක් නැහැ , ඛනිජ ද්‍රව්‍ය පිරිපහදු කරලා රට යවන්න නම් කර්මාන්තශාලා වැනි පහසුකම් අවශ්‍ය වෙනවා. මේ වෙලාවේ ඕවාට ආයෝජනය කරන්න ව්‍යාපාරිකයෝ ළඟ මුදල් නැහැ. බැංකු පොලිය අහස උසට නැගපු නිසා ලෝන් ගන්නත් බැහැ. ඔහොම පෙර සූදානමක් නැතිව මෝඩ තීරණ ගත්තාම කී දෙනෙක් අමාරුවේ වැටෙනවාද?
මේ නීතියට අනුව පතලක් කපල මැණික් ගලක් ගොඩ ගතහොත් එකේ අයිතිය රජයට, එහෙම නම් වියදම් කරලා පතල් කපන්න වෙන්නෙත් රජයට, ඒක අධීක්ෂණය කරලා පතල් මුදලාලිගේ ජොබ් එක කරන්න වෙන්නෙත් රජයේ නිලධාරියෙකුට, හදිස්සියේ ගලක් ලැබුනොත් නිලධාරියා ඒක පතල් කාරයෝ සමග මාටියා ගහවි... පතල් කපන්න ගිය කුලිය සහ වෙනත් වියදම් ගෙවන්න වෙන්නේ රජයට. කෙටියෙන් කිව්වොත් රටේ ජනතාවට, ඕවා කරන්න පුළුවන් වංචාවට, දුෂණයට, මරණ දඩුවම දෙන චීනේ, සෞදි අරාබි වගේ රටවල් වල....