අපගේ කැනඩා සංචාරයේදී පසුගිය වසරේ ජුනි මස 14 වෙනි සෙනසුරාදා අප ගත කළේ "ප්‍රින්ස් රුපර්ට්" නගරයේදීය.
එය කැනඩාවේ "බ්‍රිටිෂ් කොලොම්බියා" ප්‍රාන්තයේ කේන් දිවයිනේ පිහිටි කුඩා ටවුමකි. මෙහි සම්පුර්ණ ජනගහණය 12508 පමණ වන බව අපගේ මගපෙන්වන්නා අපට කියාදුන් බව මම කටුසටහනක ලියාගත් බවක් මට මතකය.
අප නැවතී සිටියේ නගර මධ්‍යයේ පිහිටි හෝටලකය. එදා අපට කළ යුතු විශේෂ දෙයක් වෙන්කර නොතිබුන නිසා අපි රුපර්ට් ටවුමට යාමට තීරණය කළෙමු.
අපි එහි යන විට එදා ප්‍රින්ස් රුපර්ට් නගරයට සැණකෙළි දිනයක් වුබවක් දැන නොසිටියෙමු. මග පෙන්වන්නාට එබවක් අපට කියාදීමටඅමතක වන්නට ඇත. නැත්නම් ඔහුද එබවක් නොදැන සිටියා විය හැක.
එදා නිවාඩු දිනයක් නිසා ප්‍රින්ස් රුපර්ට් ටවුම විශේෂ සැණකෙළි ස්වභාවයක් ගත් බවක් අපට පෙනුනි. කුඩා නඟරයේ ප්‍රධාන මාර්ග රථ වාහන ගමනා ගමනයට වසා දමා විවිධ තාවකාලික කඩ සාප්පු සහ තේපැන් ශාලා සඳහා විවෘත කර තිබිණි. එක තැනක ප්‍රින්ස් රුපර්ට් ගිනි නිවන හමුදාව ඔවුන්ගේ ක්‍රියාකාරිකම් විදහා දක්වන සංදර්ශනයකි. බොහෝ පිරිසක් ඒවටා රොක්වී ගිනි නිවන හමුදා භටයින්ගේ හපන්කම් බලමින් ප්‍රීතිවෙති. සෙනඟ අතර ඉන්නා දරු දැරියන්ද එම වැඩකටයුතුවලට සම්බන්ධ කරගෙන තිබුණි.
ළමයින් රොක්වී පාර අයිනේ නවතා තිබු ගිනිනිවන රථයකට ගොඩවී ඒවායේ ක්‍රියාකාරකම් ගැන සොයා බලති. ඒගැන විස්තර කියාදීමට භටයින් කිහිපදෙනෙක්ම සිටියහ. තවත් තැනක රුපර්ට් නගරයේ පොලිස් සේවාවේ වැඩ කටයුතු කියාදෙන සංදර්ශනයකි. සෙනඟ පිරි වෙනදේ බලා සිටිති. එතැනද ළමුන්හට මුල් තැනක් දීඇති බවක් පෙනුනි. ඉන් ඔබ්බෙහි පොලිස් වාදක කණ්ඩායම මියුරු වාදනයක් ඉදිරිපත් කරති. සියල්ලෝම ඉමහත් සතුටකින් ඔබිනොබ යමින් එමින් දවසේ සුන්දරත්වය රසවිඳින බවක් පෙනෙන්නට තිබුණි. පාර දෙපස විවිධ වෙළඳ භාණ්ඩ විකිනීමට තබා ඇති තාවකාලික කඩ සාප්පුය. සමහරු අත්කම් භාණ්ඩ විකුණති. සමහරු එම ප්‍රාන්තයේ ජිවත්වන විවිධ ජනවාර්ගික කණ්ඩායම්වල සම්ප්‍රදායික කෑම බීම විකුණති. සියල්ලෝම අසාමාන්‍ය විනෝදයක් ලබන බව පෙනෙන්නට තිබුණි.පාර පුරා එක තැනක පැරණි වාහන ප්‍රදර්ශනයකි. ඉන් ඔබ්බෙහි බොරුකකුල් කරුවන් කණ්ඩායමක් ඔවුන්ගේ දස්කම් පෙන්වති.
අපි මේ සියල්ල රසවිඳිමින් ඇවිද ගියෙමු. දැන් වෙලාව දහවල දොළහත් පසුවී තිබුණි. අපි දවල් කෑමට තැනක් සොයමින් ගියෙමු.
අපට වැඩි දුරක් යාමට ලැබුනේ නැත.
එහෙමෙහෙ යන සෙනඟ අතරින් මාර්ගයේ විරුද්ධ පැත්තේ ඇති කඩයක විදුරු ජනේලයක් මත අලවා තිබු කුඩා ශ්‍රී ලංකා ජාතික කොඩියක් අප නෙත ගැටුණි. මේ මොන ආශ්චර්යයක්ද? සති දෙකක් තුළ කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ඇවිද්ද කාලයේ අපට ශ්‍රී ලාංකික පුළුටක්වත් හමුවුනේ නැත. හිටි හැටියේ අපට සිංහ කොඩියක් දක්නට ලැබෙයි. ප්‍රින්ස් රුපර්ට් ටවුමේ මේ සැණකෙළි දිනයේ අප දුටු සුන්දරම දසුන එය බව එවෙලාවේ අපට දැනුණි.
දවල් කෑම සොයනවාට වඩා මේ මොකද්ද මේ කවුද කියා සොයා බැලීමට අපට අවශ්‍ය විය. අපි පාර මාරුවී ඉක්මනින් සිංහ කොඩිය තිබු ගොඩනැඟිල්ල සමීපයට ගියෙමු.
එය ශ්‍රී ලාංකික බොජුන් හලක් බව අපට තේරුනේ ලඟට ගියාට පසුවය. භෝජනාගාරයේ නම " ත්‍රිශාන් ෆූඩ් මාර්ට්" ලෙස සඳහන්ව තිබුණි. සිංහකොඩිය සමීපයේ බොජුන් හලේ විකිනීමට තිබු ආහාර වට්ටෝරුවක් සහ මිළ ගණන් පෙන්නුම් කල සරල එහෙත් අලංකාර දැන්වීමකි. ඒ අතරේ අප නෙත ගැටුනේ සති ගණනාවකින් රසවිඳීමට නොලැබූන ඉඳි ආප්ප, කට්ට සම්බෝල, සීනි සම්බෝල, පොල් සම්බෝල, කිරිහොදි, අල බැදුම්, පිට්ටු වැනි අපට හුරු කෑම වට්ටෝරුවටයි.
දවල් කෑම ප්රශ්නය විසඳුන බව අපට නිමේෂයකින් තේරුණි. අපි තලු මරමින් අවන් හලට අතුලුවිමු. ඒවනවිටත් කෑම ලබාගැනීමට පැමිණසිටි කැනඩා සුදු මිනිස්සු කිහිපදෙනෙක්ම පෝලිමේ සිටියහ. ඇතුලේ ශ්‍රී ලාංකිකයැයි නියත වශයෙන්ම පෙනෙන දෙදෙනෙක් යුහුසුළුව පාරිභෝගිකන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කරනු පෙනුණි. අපි පෝලිමේ නොසිට පසෙකටවී බලා සිටියෙමු. පෝලිම අවසන්වීමට ටික වෙලාවක් ගතවිය.
සියලුම දෙනා පිටව ගියාට පසු මම කවුන්ටරය වෙත ගොස් "ඔයගොල්ලෝ ලංකාවෙද" කියා ඇසුවෙමි. ජනේලයේ සිංහ කොඩියක් ප්‍රදර්ශනය කරමින් කැනඩා හෝ වෙනත් ජාතිකයෙකු සිටින්නට බැරි බවක් එවෙලාවේ මට සිතුනේ නැත. මම එහෙම ඇසුවේ කවුන්ටරයෙන් එපිට ඉන්නා මේ අමුත්තා සමඟ දෙබසක් පටන්ගැනීමට අවශ්‍යවූ නිසාය.
"අයිබෝන්. ආයිබෝන්. ඔව් ඔව් අපි ලංකාවේ තමා. එන්න එන්න තේ එකක් බොමු" ජීවිතේට මුල් වතාවට මුණගැහුණ මේ මනුස්සයා එක දිගටම කියාගෙන ගියේය.
මට උත්තරයක් දෙන්නට ලැබුනේ නැත. ඔහු නැවතත් බොජුන් හලේ අනෙක් කෙලවරේ සිටි ටිකක් වයසින් වැඩි අයෙකු අමතා " මාමා මුන්රු තේ කොණ්ඩු වාංග" කියා මාදෙස බලා " සීනි ගන්නවාද" කියා ඇසුවේය. " නෑ එපා බොහොම ස්තුතියි" මට ඉබේම කියැවුනි.
"හරි සන්තොසයි ලංකාවේ කෙනෙක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්" ඔහු සිනාමුසු මුහුණින් කිවේය." අපි තේ එකක් බිල ඉමු. ගෙදරට අමුත්තෙක් ආවහම තේ එකක් දෙන එක අපේ පුරුද්දනේ" ඔහු කිවේය.
නැවත දොර විවෘත විය. තවත් සුදු ජාතිකයෙක් කෑම ගෙනයාමට පැමිණියේය. අපේ කතා බහ යළිත් ඇන හිටියේය.
කැනඩා ජාතිකයා කැකුළු බත්, කුකුළු මස්, බෝංචි, අල, සම්බෝල සහ පපඩම් ඇතුලත් කෑම පාර්සලයක් රැගෙන පිටත්ව ගියේය.
ඒ අතරවාරයේ අපට තේ කෝප්ප තුනක් ගෙනැවිත් දුන්නේ මාමා නමින් කලින් හැඳින්වූ ජේසුදාසන්ය.
කැනඩා සංචාරයේ අපට සප්පායම් වීමට ලැබුණ රසවත්ම තේ කෝප්පය අපට ලැබුණි.
තේ කෝප්පය බොන ගමන් මම කතාව පටන්ගත්තෙමි. " මගේ නම තිස්ස. අපි ඉන්නේ ලන්ඩන්වල. නිවාඩුවකට තමා කැනඩාවට ආවේ" මම කීවෙමි.
" බොහොම සන්තෝසයි. මම සුරේෂ්. අනිත් එක්කෙනා මගේ මාමා ජේසුදාසන්. අපි දෙන්නා තමා මේ කඩේ කරගෙන යන්නේ." සුරේෂ් කිවේය.
" දවල්ට කාලද ඉන්නේ? " සුරේෂ් ඇසුවේය.
"තවම නැහැ. ඊට කලින් මම කැමතියි සුරේෂ් ගැන විස්තර ටිකක් දැනගන්න" මම කීවෙමි.
සුරේෂ් කතාවට කලින් "මොනවා හරි කාලා ඉමු" කියා පෙරැත්ත කළේය.
ජීවිතේට කිසි කාලෙක හමුනොවුණු කෙනෙක් සමඟ මේ මනුස්සයා මෙතරම් කුළුපගව දොඩමළු වන්නේ ශ්‍රී ලංකාවේ සියලුම දෙනාටම උත්පත්තියෙන්ම උරුමව ඇති ජාන පද්ධතියේ පිහිටි අසාමාන්‍ය උත්තම ගුණයක් නිසා බව මට සිතුණි.
සුරේෂ් සහ ජෙසුදාසන් ලංකාවේ යාපනයේ උපත ලද දෙමල ජාතිකයෝය. ශ්‍රී ලංකාවේ කලබල පැවති සමයේ ඔවුන් දෙදෙනාම ජීවත්ව ඇත්තේ වැල්ලවත්තේය. ඒ නිසා දෙදෙනාටම යම්තරමක් සිංහල කතා කළ හැකිය.
සුරේෂ්ගේ තවත් මාමා කෙනෙක් කැනඩාවට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුද සිදුවීමට කලිනි. ඔහු කැනඩා ජාතික කාන්තාවක් සමඟ විවාහවී මේවනවිට සාර්ථක ව්යපාරකයෙකු බවට පත්වී ඇත. ඔහුගේ උදව්වෙන් සුරේෂ් කැනඩාවට පැමිණ ඇත. මුලදී ඔහු ටොරොන්ටෝ නුවර ජීවත්ව ඇත. ඉන්පසු ඔහුගේ මාමා සමඟ ප්‍රින්ස් රුපර්ට් නඟරයට පැමිණ ඇත.
" ටොරොන්ටෝ වල ලංකාවේ මිනිස්සු වැඩියි. එහෙ ඉන්න ලංකාවේ මිනිස්සු කණ්ඩායම් වලට බෙදිලා. හරි ප්‍රශ්න. විශේෂයෙන් දෙමල කණ්ඩායම් අතරේ ගැටළු රාශියක් තියෙනවා. මට එහෙ ඉන්න එක එපා උනේ ඒ නිසයි." සුරේෂ් කිවේය.
ප්‍රින්ස් රුපර්ට් නඟරයට පැමිණ මෙම භෝජනාගාරය ආරම්භ කිරීමට උදව් කර ඇත්තේද ඔහුගේ මාමාය. ශ්‍රී ලාංකික අහාර පාන සැකසීම සඳහා අවශ්‍ය කුළුබඩු සහ අනෙකුත් අමුද්‍රව්‍ය ලබාගන්නේ ටොරොන්ටෝ නුවර පිහිටි ශ්‍රී ලාංකික වෙළඳ සැල් වලිනි. ප්‍රින්ස් රුපර්ට් නඟරයේ හෝ ඒ අවට ශ්‍රී ලාංකිකයින් ඇත්තේ ඉතාම සුළු පිරිසක් බව සුරේෂ් කියයි. ඔහුගේ සියලුම පාරිභෝගිකයින් කැනේඩියානු ජාතිකයින් වෙති. මුලදී කැනේඩියානුවන්ට අපගේ ආහාර පාන පිලිබඳ කිසිම අවබෝධයක් තිබී නැත. ඒ අතර අපගේ කෑමවල ඇති මිරිස් සැරද ඔවුනට ඔරොත්තුදී නැත. කෙසේ වුවත් අපගේ කෑම රසයට ඇබ්බැහිවීමට ඔවුනට වැඩි කලක් ගතවුයේ නැත. දැන් සුරේෂ් සහ ඔහුගේ මාමා ගේ " ත්‍රිශාන් ෆූඩ් මාර්ට්" බොජුන් හල ප්‍රින්ස් රුපර්ට් නඟරයේ ඇති ජනප්‍රියම භෝජනාගාරයක් බවට පත්වී ඇත.
දවල් කෑමට අපට ශ්‍රී ලාංකික බත්වේලක් ලැබුණි. කෙතරම් පෙරැත්ත කළත් අපගේ රසවත් දිවා භෝජනයට මුදල් ගැනීමට සුරේෂ් අකමැති විය.
වෙලාව දහවල් තුන පමණ විය. පෙර පාසල අවසන් කර සුරේෂ්ගේ පුතණුවන් කැටුව ඔහුගේ බිරිඳ ද ආපනශාලාවට පැමිණියේය.
අප බොහෝ වෙලාවක් ආගිය තොරතුරු කතා බස් කරමින් මේ සුන්දර දරු පවුල සමඟ ගත කළෙමු. අවසානයේ අප නික්මයාමට සුදානම් වන විට " අපෙන් මොනවද කෙරෙන්න ඕනෑ" යයි මම කල විමසුමට සුරේෂ් එක ඉල්ලීමක් කළේය.
"මගේ ළඟ තියෙන මේ සිංහ කොඩිය පුංචි වැඩියි. පුළුවන්නම් මට ටිකක් ලොකු සිංහ කොඩි දෙක තුනක් එවන්න බලන්න. මට ඕනෑ කඩේ හතර වටේම සිංහ කොඩි වලින් සරසන්න එතකොට තමා අපි ලංකාවේ කියල කාටත් තේරෙන්නේ"
ලෝකයේ කොයි දීපංකරේ සිටියත් ලංකාවෙනම් ලංකාවේම තමා කියා මට එවෙලාව් සිතුණි.
ආපසු ආ විගස මම කොළඹ ඉන්නා මගේ මිතුරකුගේ මාර්ගයෙන් සුරේෂ් වෙත විශාල සිංහ කොඩි කිහිපයක්ම යැවීමට කටයුතු කළෙමි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ලිපියක් දෙමළ බසට පරිවර්තනය කරලා තමිල්නාඩුවේ පත්තරේක දමන්න හැකි නම්, එහෙ ඉන්න සාමාන්‍ය මිනිසුන් නොමඟ යවන කුහක දේශපාලකයින්ට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් වේවි. (නි)
මේ පුංචි පවුල හැමදාමත් ඔය විදියට ලස්සනට ඉන්න. ඕනෑම ජාතියක් ඕනෑවට වැඩිය ඉන්න තැන ප්‍රශ්න වැඩියි,විෂබිජත් වැඩියි, මනුස්සකම අමතක වෙනවා.අද ඔය විදියට ඉන්නේ අපේ අය ළඟපාත නැති නිසා. ඔබට දෙවි පිහිටයි! (නි)
ජාතිවාදයත් ආගම්වාදයත් අවුස්සන කුහකයින්ට , සුරේෂ් ඇතුළු පවුලේ අය හොඳ ආදර්ශයක්, පාඩමක්. (නි)
ගොඩක් කාලෙකින් හොද ලිපියක් බැලුව...ඇසට කදුලක් අාව මේ ලිපිය කියවනවිට..මේ තමා අපේ ලංකික කම..මිට වඩා උදාහරණ නැත අපි එකම ජාතියක් බව කියන්න.අපේ දෙමල සහෝදරයෝ අපෙන් වෙන් කරලා තියෙන්නේ ..අපේ රට ගැන කිසිම හැගීමක් නැති තමිල්නාඩු දෙමල ජාතිවාදී ජනතාව...ලංකාවේ දෙමල අය හරිම කැමති සිංහල ජනතාව සමග සතුටින් ඉන්න .....එ්කට අකමැති දේශපාලනඥයෝ ගොඩක් ඉන්නවා .....ජාතිවාදය අවුස්සල තමන්ගේ මඩිය පුරවගන්න දගලන ...(බ)
ගොඩක් හොද ලිපියක්, ආඩම්බර වෙනවා ශ්‍රී ලාංකිකයකු ලෙස මෙම ලිපිය ගැන සහ මෙහි පලවී තිබෙන අදහස් පිලිබදවත් . පේනවා නේද ජනවාර්ගික අර්බුදයක් අපි අතර නෑ කියලා, අපි එක රටක දරුවෝ. මමත් ඉතාලියේ ව්‍යාපාරයක් කරන කෙනෙක්, අපි ඉතා සන්තෝෂයෙන් කියනවා අපි ශ්‍රී ලංකාවේ කියලා ලෝකය හමුවේ. මඩවල මහතාණෙනි බොහොම පිං මේ ලිපිය පළ කලාට. සුරේෂ් ඔබලාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වේවා.! (ර)
මිනිසා සුවඳයි මලසේ.සුරේෂ් වගේ අයට අපි ආදරෙයි (ම).
මෙවන් ළුලදායි ලිපියකටත් අපේ සමහරුන්ගේ වනචාරි ගති මතුකරගෙන ඇත.(ම)
සතුටු දායක පණිවුඩයක් ලාංකිකයකු සම්බන්ධවිම ඊටත් වඩා සතුටක් (ම)
මිනිස් කමට සියලු ජාතිවාදයන් ආගම් වාදයත් යටත් බව මෙම, සුරේෂ් ඇතුළු පවුලේ අය මානව ඔප්පු කළා (ම)
වියයුත්තේත් මෙයයි ..... (නි)
මොහමඩ් සොයුර,ජාතියයි වර්ගයයි කලවම් කරගෙන කතාකරන සමාජයක ඔබ එය මනාව තේරුම්ගෙන ඔබේ හදවතේ කැකෑරෙන අදහස ඍජුව ලියපු එක ගැන සතුටුයි. සිංහල කණ්ඩායමට ජාතියක් හැටියට පැවතීමට අයිතියක් තියෙන්නේ ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ කිසියම් භූමියකට හා ඒ භුමිය හා සම්බන්ධ සංස්කෘතියකට නෑකම් කියන ඒ වගේම එය රැකගත් පිරිසක් හැටියට තමන්ගේ අනන්‍යතාවය රැකගැනීමේ යුතුකමක් හා වගකීමක් ඔවුන් සතුව තිබෙන නිසයි. බෙදුම් වාදී ද්‍රවිඩ කණ්ඩායම් සැමදාම ඔවුන් හැඳින්වුයේ දෙමළ ජාතියක් ලෙසයි. ඉන්දියාවේ සිටින ද්‍රවිඩ කණ්ඩායම් මෙන්ම සියලුම මුස්ලිම්වරුනුත් ඉන්දියනුවෝය. ඒ අනුව තර්කානුකූලව ගත්විට සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් සියලු දෙනාම අයත් වියයුත්තේ සිංහල ජාතියටයි. ඒ නිසාම කියා, සුළු ජනවාර්ගික කොට්ඨාශවල අනන්‍යතාවය දිය කර හැරීමේ අවශ්‍යතාවයක් මෙහිදී පැන නොනගී. ඉන්දියානු දෙමළ අය කතාකරන්නේ හින්දි නොව දෙමළයි. මුස්ලිම් අයත් එලෙසමයි. මේ කියන සාධක දේශපාලනය හා මුසුවීම නිසා එය ජාතිවාදය නමැති පිළිලය දක්වා වර්ධනය වී ඇත. මේ ප්රශ්නය නියපොත්තෙන් කඩන්න බැරි වුණා කියා පොරවෙන් හෝ නොකපා සිටීමේ අවශ්‍යතාවයක් නැත. නම්‍යශීලී සංවාදයක් තුළින් අපට බොහොමයක් ප්‍රශ්න විසඳාගන්න පුළුවන් බව සිත්හි ධාරණය කරගෙන ජාතියක් හැටියට හිස ඔසවන්න ඇප කැප වියයුතුයි. (නි)
එක ජාතියක් එක රටක් ශ්‍රී ලංකා! (නි)
ඇත්තටම හරිම හැඟීම්බර දෙයක් ලංකාවේ අපේම ජනතාවේ කෙනෙක් මුණගැසීම. ඒ ලාංකිකයාට ජයවේවා! තවත් වාසනාව ලැබේවා! (නි)
දෙමළ දේශපාලකයන්ට තමා රට බෙදන්න ඕනේ .. සාමාන්‍ය දෙමල ජනතාවට එහෙම දෙයක් අවශ්‍යවෙලා නැහැ .. ඕක තුට්ටු දෙකේ දේශපාලකයන් ගේ ඡන්ද ගන්න උපක්‍රම . ඊලම අවශ්‍යවෙලා තියෙන්නේ උතුරේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි .. දෙමල ඩයස්පෝරාවට (බ)
සතුටට නෙතට කඳුළු ආවා වගේ දැනුනා. මෙ ලිපිය ලොකු කරලා අපේ පාර්ලිමේන්තුවේ උතුරු නියෝජනය කරන අයටත් කියවන්නට සලස්වන්නේ නම්. සුරේෂ් ඔබ ගැන ආඩම්බරයි සතුටක් මට ඇති වූනේ. පාර්ලිමේන්තුවේ සිටිය යුක්තෙ ඔබ වැනි අයයි. හද වතින්ම සුභ පතනවා. (ර)
මෙම ලිපිය ඉතා අගේ කොට සලකමි.මටත් 1993 වසරේදී ( මා එකල වෙළඳ නවුකාවක සේවය කලෙමි)මොම්බාසා ( කෙන්යා) නගරයේදී එවැනිම ශ්‍රීලංකා දමිළ කෙනකු හමුවී එවැනිම කතා බහක් ඇතිවුණා මට එය අද මතක් වුණා. මෙම ලිපිය වඩාත් සුදුසු වන්නේ අපේ රටේ ජාති වාදය අවුස්සන දුරකතනයට සම්බන්ද කෙනාට සහ පිවිතුරු කෙනාට කියල මම හිතනවා. (අ)
යුද්දේ තියන කාලෙත් මම කිව්වා මේ හින්දු ජාතිකයන් හොද බව .අන්තවාදී දෙමල ආයුධ සන්නද්ධ කල්ලි ඒ සමගිය වි්නාශ කළත් දැන් නැවත හින්දු සිංහල සමගිය ඇතිවෙමින් තියනවා . (අ)
මම බෞද්ධ ධර්මය අනුගමනය කරන්නෙක් වගේම, සත්ව ජාතියට අයිති, මනුස්ස කුලයේ, සිංහල සංස්කෘතියේ සිංහල කතාකරන කෙනෙක්. අපේ මිනිස්සු සිංහල හා දෙමළ අය, දේශපාලකයෝ නිසා ගහමරා ගන්නවා.එයින් අපිට තමයි පාඩුවෙන්නේ. මට පැහැදිලි නොවන තවත් කරුණක් තමයි , මේ අලුත් කුලයක් හදාගෙන අපේ මිනිස්සු. අපි සේරම සත්ව ජාතියේ මනුස්ස කුලයේ ඉපදුන අය. (නි)
සතුටුවිය හැකි පුවතක්. සියලු දෙනාම් මෙසේ සිතන්නේ නම් කෙතරම් අගනේද? ඔවුන්ට ජය වේවා. (බ)
බොහොම සතුටට පත්වුණා මේ ලිපිය බලලා.සුරේෂ් වගේ පුද්ගලයන් අගය කරන්න ඕනෑ.ජයවේවා සුරේෂ්! (නි)
හදවතටම දැනුනා. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ (නි)
ජාතිවාදීන්ට අතුල් පහරක්!(අ)
දෙමළ - සිංහල ජාතිවාදය මේ රටේ ඇති කළේ අවස්ථාවාදී දේශපාලඥයෝ. සහජීවනය කියන එක නුවරඑළියේ අපි හොඳට දන්නවා. ඒක ලෝකේ කොහේ ගියත් වෙනස් වෙන්නේ නැහැ. (නි)
ඇස් වලට කඳුලු ආවා කතාව කියෙවුවහම (නි)
සුරේෂ්ගෙ රෙස්ටුරන්ට් එක තියෙන්නෙ ප්‍රින්ස් රූබර්ට් වෝල්මාට් එක ඉදිරිපිට හතරවන හරස් වීදියෙ අංක 200 දරන ස්ථානයෙ (නි)
මෙම ප්‍රතිචාර සමහරවිට සුරේෂ් සහ ඔහුගේ පවුලේ අය නොදකිනවා වෙන්න පුළුවන්. මෙහි සමහරුන්ගේ ප්‍රතිචාර ඔවුන් නොදකින තරමට හොඳයි (නි)
පහුගිය කාලේ සුමන්තිරන් මන්ත්‍රී තුමා සිංහල ටීවී වැඩසටහනකට සහභාගි වුණා. මට හරි සතුටක් දැනුන එක හුඟක් ජනප්‍රිය දේශපාලනය සම්බන්ධ වැඩසටහනක් නිසා ,මම ඉල්ලීමක් කළා මේ වැඩසටහන දෙමල උපසිරැසි එක්ක නැවත ප්‍රචරය කරන්න කියල. සිංහල අපි මොනවා හිතනවද කියල උතුරේ සාමාන්‍ය දෙමල ජනතාවට දැනගන්න පුළුවන් වෙන්නේ එතකොටයි මේ ගැන කිසි උනන්දුවක් නැතිවීම ගැන කනගාටුයි (බ)
ශ්‍රී ලාංකිකයිනි, නුඹලා ලෝකෙයේ කොහේ හිටියත් අපට ආඩම්බරයි.නුඹලාට ජයෙන් ජයම වේවා! මම හදවතින් පතමි (නි)
කමල් පැවසුදේත් අත්තක් ඇතැයි මටද සිතේ. (නි)
සමීර,කිසිසේත් වරදක් නැත.පෙළපාලිවල උස්සන් යන වැකි වල නම් වරදක් ඇත.මා ඇසින් දුටු දෙයයි කීවේ. කුහක කමට නොවෙයි. (බ)
කමල්, ඔබගේ සංකල්පපයට අනුව මිනිසෙකුගේ යහගුණ දැක්කහම එය ගරුකිරීම වර්ණනා කිරීම වරදක්ද? (නි)
සුරේෂ් හොඳ මිනිසෙක් වියහැකියි.නමුත් එක්කෙනෙක් දෙන්නෙක් දැක අපිට හදිසි තීරණයන්ට එළඹිය නොහැකියි. (නි)
මිනිස් පුළුටක් නැති කැනඩාවේ පාලු තැනක ඔය විදියේ දෙයක් සිද්ධ වුනාට මේ අයගේ පෙළපාලි දැකලම නැද්ද? ඒවායේ ලංකාව ගැන, සිංහලයා ගැන, බෞද්ධයා ගැන කීයන දේවල් වලිනුත් මේ වගේ ක්ෂණික තීරණයකට බහිනවද? (බ)
ඉතාලියේ මිලානෝ නගරයේ ආපන ශාලාවක් හිමි ද්‍රවිඩ ජාතික කුමාර් මහතාද මෙවැනිම උතුම් පුද්ගලයෙකි. ඉතාලියට හොරෙන් පැමිණ අනාථ වූ සිංහල බොහෝ දෙනෙකුට ඔහු මේ දක්වා උදව් උපකාර කර ඇත. සිංහල ආපන ශාලාවල් හිමි සිංහලයාව මග හරින බොහෝ දෙනෙක් මොහුව ආදර්ශයට ගත යුතුය. (බ)
කවුරු වුණත් හොඳ මනුස්සයෙක්. (නි)
මෙම ලිපිය දැන් මුහුණු පොතේ පවා සංසරණය වන බව සතුටින් දැනුම් දෙමි. ලංකාවේ දේශපාලන මඩගැසීම් මුහුණුපොතේ දැකලාම එපාවෙලා සිටිය පිටරට ඉන්න මගේ මිතුරු හවුල මේ ලිපිය ආදරයෙන් වැළඳගත් බව ලංකාදීපයට මෙන්ම සුරේෂ්ටත් හදපිරි සතුටින් දන්වමි. (නි)
අවරුදු 25ක් එංගලන්තයේ ජීවත් වෙන කෙනෙක් වශයෙන් ගමගේ සහෝදරයාගේ අදහස අනුමත කරමි.මගේ ස්වාමියා යාපනේ වැසියෙක්.ඔහුට ඉතා හොදින් සිංහල කතා කිරීමට හැකsයි.මම වාගේ ලියන්නට කියවන්නට නම් බැහැ.විදේශගත කොටි හිතවාදීන් නැතුවා නොවෙයි. නමුත් බහුතරයක් විරුද්දයි. හරියට "ගිලී මලෙත් ඇත දත සුද්දෝ"කීවා වාගේ .......! (අ)
මම මෙල්බන් පාරිබෝගික නියෝජිතයකු ලෙස රැකියාව කරමි. දෙමල ශ්‍රීලංකන් අය මා සැමග බොහෝ වෙලාවට සිංහලෙන් කතා කරන අතර සිංහල අය සුළු ප්‍රමානයක් සිංහලෙන් කතා කරයි. (ර)
සයුරෙන් එතෙර තීරයේ මා දුටු හොඳම ලිපිය මෙය බව කියන්නට කැමතියි මඩවල මහතාණෙනි මෙවන් සැඟවුණු රසවත් පුවත් මේ තීරයෙන් ඉදිරියටත් බලාපොරොතු වෙමු. දශක කිහිපයකට පෙර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව කෙතරම් සාමකාමිව අප රටේ ජීවත් උනාද? අප කුඩා කාලයේ මෙන්, නැවතත් එම යුගය උදාවේවායි යනු අප සැමගේ පරම පැතුමයි..! (ර)
එදා සිට අද දක්වා අවස්ථාවාදී දේශපාලු රොත්තක් අපේ රටේ බෝ නොවුනා නම් ....අද අපේ රට මොන තරම් ලස්සනද?(අ)
ඉනෝකා, ඔබ වැනි අය තව බොහෝ සිටියානම් ජාතිවාදයට අපේ රටේ තැනක් නැති වනු ඇති. සිංහල අයට වඩා මගේ දෙමල ජාතික මිතුරන් තමන් ලංකික බව ආඩම්බරයෙන් කියනවා. සිංහල සමහරක් ඒක හංගන්න තමයි හදන්නේ. (අ)
මම දකුණේ, ලන්ඩන් වල තමයි ජීවත් වෙන්නේ. මම මුලින්ම මේ රටට ඇවිත් කාගෙවත් උදව්වක් නැතිව ඉන්නකොට දෙමල (යාපනේ) මිනිස්සු තමයි උදව් කරේ. ලෙඩ උනාම බලා ගත්තේ. මුදල් වලින් පවා උපකාර කරේ. කවදාවත් අමතක කරන්න බැරි උදව්. (ර)
සිංහල සහ දෙමළ ලෙස කණ්ඩායම් ගැසෙන්න අනුබල දුන්නේ ජාතීවාදය උපයෝගී කරගෙන තම ඡන්ද පදනම හදා ගන්න උත්සාහ කරපු සිංහල සහ දෙමළ දේශපාලකයින්ය. ඔවුන් මේ මිහිතලයේ නිවන්න බැරි ගිනි ගොඩක් ඇවිලුවා. එම ගින්න 'ඩයස්පෝරා' නමැති ඉන්ධනයෙන් පැවතීමක් ලබනවා. (අ)
ලංකාවෙන් පිටරටවල් වලට ගොහින් තමන් ඉන්න රට හංගාගෙන ඉන්න අපේ සමහර නෝනලාට වඩා බය නැතුව තමන් ඉන්න රට කියපු ඉනෝකාට මල් මිටක්..! (ර)
මේ රටේ මිනිස්සු සමගියෙන් ඉන්නවනම් මේක ලෝකේ අංක එකේ සුපිරි රටක් කරන්න වැඩි කල් යන්නේ නැ, එක පිටරට වල අය දන්නවා. මෙහෙ ඉන්න අය දන්නේ නෑ, (ස)
ආඩම්බරයි... ලංකාවේ කමට... (ර)
දකුණේ සමහරු හිතාගෙන ඉන්න ආකාරයට විදේශගත සියලු දමිළයින් කොටි හිතවාදීන් හෝ සිංහල විරෝධීන් නොවේ. පිටරට අවුරුදු ගණනක් සිටි මට බය නැතුවම කියන්න පුලුවන් බහුතර විදේශගත ශ්‍රී ලාංකික දමිළයින් ත්‍රස්ත විරෝධීන් විත්තිය... (නි)
මේවා අහනකොටත් හිතට ආඩම්බරයි (නි)
තිස්ස මඩවල මහතාණෙනි,ඔබෙගේ අගනා ලිපියට ස්තුති වන්ත වෙමි.දෙමළ ප්‍රජාව ගැන බොහෝ දෙනෙක් තුල තිබෙන වැරදි ආකල්ප මෙම ලිපිය තුලින් වත් දුරු වේවායි පතමි.......! (ස)
නියම වැඩක්.. (ර)
ඇත්තටම මේ ඉන්දියාවේ තල්ලුවීම් උසිගැන්වීම් හැරෙන්නට අපේ රටේද සිංහල දෙමළ මුස්ලිම් බේද අපේ හදවත් ඇතුළේ නැත.අපි පාරකදී දුටුවත් මම යාපනේ දෙමළ වැසියෙක් කියලා යමෙක් අප සිංහලයෙකුට හඳුන්වා දුන්නොත් කවදාවත් අපේ මිනිසුන් ඒ දෙමළ පුරවැසියාට අකටයුත්තක් නොකරයි.ඒ මොකද අපි මිනිසත්වය හඳුනන එක රටක උපන්නවුන් නිසා. මේ ලිපිය අපි හැමට ගොඩාක් ආදර්ශවත් (නි)
ඇත්තටම සතුටක් දැනෙනවා ලංකාවේ කෙනෙකුගේ කඩයක් තිබීම ගැන. අපි සියලුදෙනා එක මවකගේ දරුවෝ වගේ ජීවත්වෙන්න ඕනෑ. (නි)
හරිම ලස්සනයි. වචන වලින් කියන්න බැරි තරම් සන්තෝසයි. ලංකාවෙත් හැමෝම මේ වගේ හිතනවානම් කොච්චර ලස්සනද? (ස)
කොහේ ගියත් ලංකාවේ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සිටිනු ඇත. මාත් දස දෙනෙකුගේ කණ්ඩායමක් සමඟ ඉතාමත් දුරස්ථ දුපත් සමුහයකට ගියෙමු. ඒ 1999 වසරයි. දුපත් සමුහය හදුන්වන්නේ Cape Verde නමිනුයි. පිහිටා ඇත්තේ ඇමෙරිකා මහාද්විපයත් අප්‍රිකා මහාද්විපයත් අතර අප්‍රිකා මහද්වීපයට කිට්ටු වන්නටය. ළඟම රට ලෙස සෙනෙගල්. ලෝකයෙන්ම වෙන්වූ ඉතාමත් දුප්පත් රටක් වන එහි ශ්‍රී ලාංකිකයෙකු අපට හමුවේයැයි කිසිදිනක් නොසිතුවෙමි. සිතුවිල්ල වැරදි විය. අපිට කෙනෙකු හමු විය. ඉතාලියේදී කේප් වර්ඩේ කාන්තාවක් හා විවාහ වුනු ඔහු එම රටට පැමිණි පසු ඔහුගේ ගමන් බලපත්‍රය විනාශ කර තිබුණි. ඒ ඔහුට ඇයව අතහැර ය නොහැකි වන පරිද්දෙනි. ඉතා අසරණව සිටි ඔහු හට අප රැකියාවක් ලබාදී ඔහුගේ ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම සඳහා උදවු කලෙමි. අපගේ කර්තව්‍ය අවසන් වූ පසු අප හට ආපසු එනවිටත් ඔහු එම රටේම සිටි හෙයින් ඉන් පසු ඔහුට කුමක් සිදුවී යයි නොදනිමු. (ස)
ලන්ඩනයේ ප්‍රශ්න තිබෙන්නේ සිංහලයන් සහ සිංහලයන් අතර මිසක් සිංහලයන් සහ දෙමළ අය අතර නෙමෙයි. (නි)
ජාතිවාදයම හිසේ තියාගෙන ජීවත්වන අයට බලන්න වටනා ලිපියක් (නි)
ඇත්තටම ආඩම්බරයි (නි)
මේ ලිපිය කියවා අවසාන වූ මොහොතේම මා මෙහි එක ඡායාරූපයක සඳහන්ව තිබු සුරේෂ්ගේ අවන්හලේ දුරකතන අංකයට කතාකර අනික් පැත්තෙන් කතාකළ පුද්ගලයාට "වනක්කම් සුරේෂ්" කීවෙමි. එම පුද්ගලයා දෙමළ භාෂාවෙන් පිළිතුරු නොදී ඉංග්‍රීසි බසින් ඇසුවේ මා කවුද කියායි. මම එවිට සිංහලෙන් මා හඳුන්වා දී ඔහු සුරේෂ් දැයි විමසුවෙමි. ඇත්තටම මා කතාකර තිබුනේ තිස්ස සොහොයුරාගේ කතා වස්තුවේ එන කතානායක සුරෙෂ්ටයි. මා සමඟ සුහදව කතාකරන්න ඔහු පෙළඹුනේ මම සිංහලෙන් කතාකළාට පසුව වීම තිස්ස හෙළිකළ සියලුම තොරතුරු සැබෑ බවට සනාථ කිරීමක්. තිස්ස විසින් ඔහු සම්බන්ධයෙන් ලංකාදීප එසැණට ලියා ඇති තොරතුරු ඔහුම කියවා බලන්න යෑයි මම කීවෙමි. මේ වෙලාවේ කාර්යබහුල නිසා නැවත ඔහු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වන ලෙස ඔහු මගෙන් කරුණාවෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාව එනතුරු මම මහත් ආශාවෙන් බලා සිටිනවා. (නි)
කවදත් මාධ්‍යය ක්ෂේත්රයේ විප්ලවීය විදියට හිතන සහ කටයුතු කරන අප මිත්‍ර තිස්ස මඩවල මාධ්‍යවේදියා මෙම ලිපියෙන් ලංකාදීප පාඨකයින් වෙත මහඟු තිළිණයක් ප්රදානය කර තිබෙනවා. එය "සිංහලකම" කුමක්ද යන්න සිංහලයාට මතක්කර දීමයි. වෙනත් ජනවාර්ගික කණ්ඩායම් වලට දොස් නැඟීම සිංහලකම යැයි මුග්ධ අන්දමට සිතන පටු ඊනියා සිංහලයින්ට තිස්සගේ ලිපිය කදිම ඖෂධයක්. මොළයට විරේකයක්. කුරිරු යුද්ධයෙන් අපි කවුරුත් හොඳටම බැට කෑවෙමු. අනිකාට සුහදත්වයේ දෑත් දිගු කරන්න කාලය දැන් එළඹිලා. එවන් අවස්ථාවක අප ලේඛකයාට සුරේෂ් හා ජෙසුදාසන් මුණගැසීම අහඹුවක් වියයුතු නැහැ. මේ ලිපිය බොහෝ දෙනෙකුගේ ඇස් අරවන්නක්. ස්තුතියි තිස්ස මහත්මයාණනි! (නි)
නියම ලාංකිකයෙක්. ඔබට අභිවෘද්ධියක්ම වේවා! (නි)
ඔබට සුබ පැතුම්! (නි)
මඩවල මහතාණෙනි, සත්‍යවූ ඔබේ ලිපිය තුළින් සිංහල දමිළ ජාතිවාදී විරසකය අවසන්කොට ඇත (නි)
හොඳ වැඩක්. තවත් මේ වගේ ලියන්න (නි)
දෙමල කියලා අපි මිනිසුන්ව කොන්කරපු ජාතියක් නොවේ. අපි සේරම එකම ජාතියකින් පැවත එන්නේ. ඉතින් මොකටද අපි ලංකාවේදී විතරක් ගහ මරා ගන්නේ. මේ කතාව මුළු රටටම ආදර්ශයක්. ලිව්වට බොහොම ස්තුතියි. (ර)
ඇත්තටම වටිනා ලිපියක්. සිංහල හා දෙමළ අය දේශපාලකයෝ නිසා ගහමරා ගත්තට දෙගොල්ලගෙම වැඩි වෙනසක් නැහැ. අපි නම් මෙහෙ පන්සලට එන සිංහල අයට සිංහලෙනුත් දෙමළ අයට දෙමළෙනුත් තමයි කතා කරන්නේ. (නි)
අහන්නත් සතුටුයි ලංකාවෙන් පිට ඉන්න ගොඩක් දෙනා සිංහල, දෙමල වෙනසක් නැහැ හැමදේම තියෙන්නේ අපේ රට ඇතුලේ ඒකට හේතුව නම් මම දන්නේ නැහැ ස්තුතියි මඩවල මහතාට සහ සුරේෂ් පවුලටම. (ර)
අපි ශ්‍රී ලාංකිකයෝ දෙමල, සිංහල අපිට ප්‍රශ්නයක් නෑ. (ර)
අහන්ඩ කියවන්ඩ සන්තෝසම දෙබසක්. දැන්වත් අපි ජාතීන් වශයෙන් වෙන් වෙලා ඉන් නැතුව ලාංකිකයෝවගේ ඉඳිමු. (අ)
නෙතට කඳුලක් ආව, මම කියන්නේ මේක තමයි ශ්‍රී ලංකික බවේ ඇති වැඩගත්ම දේ (අ)
ඇත්තටම සතුටුයි ආඩම්බරයි ලංකාවටම. (ර)
අප අතර තිබුන නැවත ඇතිකරගතයුතු සංහිඳියාව ගැන අපුරු අතිශය සංවෙදී හමුවක්. මෙය සදා සිහිපත් කලයුතු අපේ අතීත සබඳතාව පිලිබඳ විශ්වමය ප්රකාශනයක් සුරේෂ් පවුලේ සැමට ශ්‍රීලාංකික ප්‍රණාමය. ස්තුතියි මඩවල ලේඛයාණෙනි. (ර)