අතුරුදන්ව මේ වන විට දින 72 කට වඩා ගතව ඇති මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන් යානයේ කාර්යමණ්ඩලයේ වූ මොහොමඞ් හස්රින් හුසාන්ගේ බිරිය දරු උපතක් සිදුකර ඇත්තීය.

අලූත උපන් දරුවාගේ ඡායාරූප ඇය අන්තර්ජාලයට ද එක් කළාය.ලොව පුරා රටවලින් ඇයට සුභපැතුම් ගලා එමින් තිබෙන්නේය.

විශේෂ සටහනක්ද ලියා ඇති ඇය එහි සදහන් කර තිබෙන්නේ ‘‘අලූත ඉපදුණු දරු පැටියා මගේ ස්වාමියා මට අහිමි වීම නිසා මා විදි දුක් වේදනා නිමා කරනු ඇති‘‘ යනුවෙනි.

තම ස්වාමියා යළි නොපැමිණෙන බව පිළිගෙන ඇති ඇය ඔහු සිහිගැන්වීමට දරුවාට නම තබා ඇත්තේද මොහොමඩ් ලෙසය.

‘‘සියල්ල අභිරහසක් තමයි.නමුත් දෙවියන්ගේ කැමැත්ත ගැන ප‍්‍රශ්න කරන්නට මම කවුද?,කවදා හරි මමත් ඔබ සිටින තැනට එනවා.ඔබ කාන්තාවකට ලැබිය හැකි හොදම ස්වාමි පුරුෂයෙක්‘‘ යැයි ඉතා සංවේදී ලෙස ඇය තම සටහනේ අදහස් දක්වා ඇත්තීය.

යානය සොයා මේ දක්වා සිදු කළ මෙහෙයුම් වලින් කිසිදු ප‍්‍රතිඵලයක් ලැබී නොමැති අතර මෙහෙයුම් සදහා භාවිතා කළ උපකරණ වලද දෝෂ ඇතැයි හෙළිවූයේ මෑතකදීය.

යානය අතුරුදන්වීමේ සිටම එහි නියමුවා වූ සහ්රි අහමඞ් ෂා වෙත එය කඩාවැටීමට සළස්වා ඇතැයි චෝදනා නැගුණු අතර දැන් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට කුමන ගැටලූ පැවතියද තමන් පැදවූ ගුවන්යානය විනාශ කර දැමිීමට තරම් මානසික තත්ත්වයක් ඔහුට නොතිබුණු බව පවසන්නේය.

මේ අතර මලයාසියා රජය හා යානයේ මෙහෙයුම් කටයුතු සදහා එක්ව සිටින රටවල් යානයේ ගමන් මග දැක්වෙන චන්ද්‍රිකා දත්ත පොදු ජනතාව වෙත නිදහස් කිරීමට සූදානමින් සිටී.

දැනට චීනයේ මැදිහත්වීමෙන් දැන්  ඕස්ටේ‍්‍රලියාවේ බටහිර දිග මුහුදු ප‍්‍රදේශයේ යානය සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙරෙමින් පවතී.