රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු ඇතුළු පස් දෙනකු අසාදු ලේඛනගත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත. 
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් රුසියාවට දඬුවම් කිරීම සඳහා මෙම පියවර ගත් බව ඇමෙරිකා එක්සත් ජනපදය රාජ්‍ය භාණ්ඩාගාරය නිවේදනය කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.  

රුසියානු බදු වංචා අනාවරණය කළ සර්ගේ මැග්නිට්ස්කිගේ නමින් නම් කරන පනත යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය මෙම පියවර ගෙන ඇත. සර්ගේ මැග්නිට්ස්කි රුසියානු නිලධාරීන් විසින් සිදු කරන ලද බදු වංචා, සොරකම් හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ අයෙකි. සිරභාරයට පත්වූ ඔහු සිරභාරයේ සිටියදීම 2009 වසරේදී මියගියේය. 


මේ අනුව අසාදු ලේඛනගත කෙරුණු රුසියානුවන් පස් දෙනාගේ ඇමෙරිකානු වත්කම් අත්හිටුවන ලද අතර ඔවුන්ට ඇමෙරිකාවේ සංචාරය කිරීම ද තහනම් කෙරෙනු ඇත.


ඇමෙරිකා එක්සත් ජනපදය මෙසේ අසාදු ලේඛන ගත කර සිටින පුද්ගලයන් අතරට රුසියාවේ ප්‍රධාන විමර්ශකයා හෙවත්, රුසියාවේ රාජ්‍ය විමර්ශක කමිටුවේ සභාපති ඇලෙසැන්ඩර් බැස්ට්‍රිකින් ද ඇතුළත්ය. ඇලෙසැන්ඩර් බැස්ට්‍රිකින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු ද වෙයි.