සරල රුධිර පරික්ෂණයක් මගින් හෘදයාබාධ කලින්ම හඳුනා ගැනීමට හැකි ක්‍රමවේදයක් සොයාගෙන ඇතැයි  කියති. ඔවුන් පවසන්නේ පුද්ගලයෙකුගේ රුධිර සෛල නැරඹීමෙන් හෘදයාබාධ කල්ඇතිව සොයා ගත හැකි බවයි.  

එසේ හදුනාගැනීමෙන් පසු හෘදයාබාධයක් ඇතිවීමට දැඩි අවධානමක්  ඇති පුද්ගලයන්ට ජීවිතාරක්ෂක ඖෂධ ලබා දීමට හැකිවේ. මෙම පර්යේෂණයේ ප්‍රධානි මහාචාර්ය පීටර් ක්හුන් පවසන්නේ හෘදයාබාධයක් ඇතිවීමට හෘදයාබාධවලට අනතුරු දායක තත්ත්වයක සිටින බව කීමට හෝ මීට මොහොතකට පෙර හෘදයාබාධයක් ඇතිවූ බව කීමට හෝ ක්‍රමවේද රාශියක් ඇතත් ඉදිරි සති තුනේ දී හෘදයාබාධයක් ඇතිවිය හැකියැයි කීමට මෙතෙක් කිසිදු ක්‍රමයක් නොතිබූ බවයි.

එක්සත් රාජධානියේ මරණ වලට ප්‍රධාන හේතුව හෘදයාබාධ වන අතර සෑම මිනිත්තු හතකටම වරක් එහි එක් අයෙක් මියයයි. එයින් තුනෙන් එක් අයෙක් හෘදයාබාධයක් සඳහා රෝහලට රැගෙන යාමට පෙර මියයයි. මෙම පරික්ෂණය කැලිෆොර්නියාවේ ස්ක්‍රිප් පර්යේෂණ ආයතනය මගින් සිදුකැර තිබේ. රුධිර කැටි මගින් හෘදයට රුධිරය සපයන කිරීටක ධමනියට බාධා කරන අතර එය හෘදයාබාධයකට හේතුවේ. මේ ආකාරයට එක්සත් රාජධානියේ වාර්ෂිකව 100,000කට වඩා වැඩි පිරිසක් හෘදයාබාධවලට ලක්වෙති. කැලිෆෝනියා පර්යේෂකයන් රුධිරයේ ඇති  සීඊසී ප්‍රමාණය ගණනය කරයි. එමගින් මෑතකදී හෘදයාබාධ ඇතිවූ මිනිසුන් පිලිබඳව ද සොයාගත හැකිය. හෞතික ජීවවිද්‍යා සඟරාවට මෙම පර්යේෂකයන් පවසා ඇත්තේ මෙම වැදගත් අධ්‍යනය මගින් හෘදයාබාධවලට ලක්විය හැකි රෝගීන් වෙන්කර ගතහැකි බවයි. තවද මෙම අධ්‍යනය මගින් රුධිර ධාරාවේ ඇති සීඊසි ප්‍රමාණය සොයා බැලීමෙන් පසු  හෘදයාබාධයකට ඉතාමත් ආසන්න තත්වයන් ගැන අනාවැකි කිය හැකිය. හෘදයාබාධයක් ඇතිවීමට මුලික වන රුධිර කැටියක් ඇතිවීම පිලිබදව ද  දින කිහිපයකට පෙර සොයා ගැනීමට හැකිවිම විශේෂත්වයකි. එලෙස සොයා ගත් රෝගීන්ට රුධිරය තුනීවන සහ ධමනි ප්‍රසාරණය වන ඖෂධ ලබාදී හෘදයාබාධ වැළැක්විය හැකිවේ. බ්‍රිතාන්‍ය හෘද පදනමේ වෛද්‍ය මයික් නැප්ටන් පවසන්නේ මෙම විද්‍යාඥයන් සොයාගත් සීඊසී සෛල නිරෝගි පුද්ගලයින්ගේ හමුනොවන බවයි. ඒ අනුව සීඊසි සෛල නිරීක්ෂණය හෘදයාබාධ හඳුනා ගැනීමට හැකි අළුත්ම ක්‍රමයයි.