(සුනිල් ආනන්ද පැරිසියේ සිට)

2017 ප‍්‍රංශ ජනාධිපතිවරණයේ අවසන් අපේක්ෂකයන් දෙදෙනා වන ප‍්‍රංශය පෙරට පෙරමුණේ එම්මානුවෙල් මැක්රොන් මහතා සහ අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ මරී ලෙපෙන් මහත්මිය අතර මුහුණට මුහුණ වාචික සටන හෙවත් අවසන් විවාදය අද (3) සවස ප‍්‍රංශ වේලාවෙන් රාත‍්‍රී නවයට ආරම්භ වේ. 

විවාදයට විශේෂයෙන් සකස් කළ ස්ටුඩියෝව (ශාලාව) විවාද මේසය කේන්ද්‍ර කොට තනා ඇත්තේය. මේසය දෙපැත්තේ අපේක්ෂකයෝ දෙදෙනාය. ඔවුන් අතර පරතරය මීටර 2.50 කි. පරිධියේ දෙපස තිදෙනා ලෙස ප‍්‍රශ්න අසන මාධ්‍යවේදීන් සය දෙනෙකි. ශාලාවේ ඔවුන් පමණය. ප‍්‍රංශයේ ප‍්‍රධාන රූපවාහිනී ආයතන තුනක සුප‍්‍රසිද්ධ දක්ෂ මාධ්‍යවේදීන් සය දෙනෙකු විවාදයට සහාභාගී වේ. විවාද කුටියේ කිසිවෙකුට ජංගම දුරකථන හෝ විද්‍යුත් උපකරණ සපුරාම තහනම්ය. විවාද කාලය පැය දෙකයි විනාඩි 20කි. දෙදෙනාටම සමසේ කාලය වෙන්වී ඇත්තේය. 

කතා කරන සෑම තත්පරයක්ම ඉහත කාලයෙන් ඍණවේ. විවාදයේදී පුද්ගලික ජීවිතය ගැන ප‍්‍රශ්න තහනම්ය. ඇනුම් බැනුම් අවලාද තහනම්ය. විවාදය තුළ එවැනි දෙයක් සිදුවීම ප‍්‍රංශ සමාජය තුළ ඔහු හෝ ඈ කෙරෙහි වීශාල අප‍්‍රසාදයක් ඇතිවීම නොවැළැක්විය හැක. එය ජය පරාජයේ විශාල සාධකයක් වීමටද හේතු වන්නේය. ප‍්‍රංශ මැතිවරණ ඉතිහාසයේ එයට සාක්ෂි සටහන්ද ඇත්තේය. මෙම විවාදය සජීවී ලෙස විකාශනය කිරීම දක්වා කාර්මික නිලධාරීන් 62කි. රූපවාහිනී කැමරා 14කි. විදුලිය සියයට සියයක් විශ්වාසය. විවාද කුටියේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 19 කි. 

ජාතික පෙරමුණේ අපේක්ෂකයකු ජනාධිපතිවරණයක දෙවැනි වටයේ අවසන් විවාදයට එක්වෙන ප‍්‍රථම වතාවය. මින් පෙර ලෙපෙන් මහත්මියගේ පියා වසර 2002 ජනාධිපතිවරණයෙන්  දෙවැනි වටයට සුදුසුකම් ලැබුණද ; විරුද්ධ අපේක්ෂක හිටපු ජනපති ජැක් සිරාක් මහතා ප‍්‍රතික්ෂේප කිරීම හේතු කොට විවාදයක් නොපැවැත්වුණි. 

ප‍්‍රංශ ජනාධිපතිවරනයේ අවසන් අපේක්ෂකයන් දෙදෙනා අතර අවසන් විවාදයේ ආරම්භය 1974දීය. එවකට ජනපති වැලරි ගිස්කාර්ඞ් හා සමාජවාදි පක්ෂයේ ප‍්‍රංශුවා මිතොරොන් අතර ප‍්‍රථම විවාදය පැවැත්විණි. 1988 දී ජනපති ප‍්‍රංශුවා මිතොරොන්ග් සහ අගමැති ජැක් සිරාක් අතරද 1995 දී ජනපති ජැක් සිරාක් සහ සමාජවාදි පක්ෂයේ අගමැති ලයනල් ජොස්පාන් අතරද 2002 දී නිකොලා සාර්කෝසී හා සමාජවාදි පක්ෂයේ සෙගොලොන් රෝයල් මහත්මිය අතරද 2012 දී ජනපති නිකොලා සාර්කෝසී හා වර්තමාන ජනපති ප‍්‍රංශුවා ඔලොන්ද් අතරද පවත්වා ඇත්තේය.