2008 දී හමුදා පාලනය අවසන් කිරීමට පැවැති මහා මැතිවරණයෙන් පසුව සභාග රජයක් පිහිටවූ පාකිස්තානු ජනතා පක්‍ෂය ගත වූ වසර තුනම පසු කෙළේ අර්බුදයෙන් අර්බුදයට පත් වන අසහනකාරී තත්ත්වයක් යටතේය. අගමැති රාසා ගිලානිගේ රජයට මුහුණ දීමට ඇති අලූත්ම අභියෝගය වන්නේ ජනාධිපති සර්දාරිට ස්විට්සර්ලන්තයේ අධිකරණයක පවරා ඇති දූෂණ පිළිබඳ නඩුව නැවත විභාගයට ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙනි. හිටපු හමුදා පාලක පර්වෙස් මුසාරෆ් හා පාකිස්තානු ජනතා පක්‍ෂයේ නායිකා අභාවප‍්‍රාප්ත බෙනාසීර් භූතෝ අතර ඇති කර ගත් එකඟතාවක් අනුව මෙම දූෂණ චෝදනා පිළිබඳව තව දුරටත් කටයුතු නොකොට දේශපාලන සංහිඳියාවක් ඇති කර ගනු ලැබිණ. ඒ සඳහා ජාතික සංහිඳියා ආඥව (NRO)  නමින් නියෝගයක් ද නිකුත් කෙරිණ. එහෙත් පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය 2009 වසරේ දී එම ආඥාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසා එහි වලංගුභාවයක් නැති බව ප‍්‍රකාශයට පත් කිරීමත් සමග නැවතත් එම චෝදනා යටතේ නඩු විභාග පැවැත්වීමට හැකි බව අධිකරණයෙන්ම පෙන්වා දුන්නේය. බෙනාසීර් භූතෝ මිය ගොස් ඇති නිසා ඇයගේ ස්වාමියා වූ වත්මන් ජනාධිපති සර්දාරිට එරෙහිව නඩු විභාගය පැවැත්විය යුතු බව අවධාරණය කළත් ඒ පිළිබඳව නිසි පියවර නොගැනීමෙන් අගමැති ගිලානි අධිකරණයට අපහාසයක් කර ඇතැයි තීරණය කිරීමත් සමග පාකිස්තානයේ අලූත්ම අර්බුදය නිර්මාණය විය. මෙම අර්බුදය එක අතකින් දෛවයේ සරදමක් ලෙස සැලකිය හැක්කේ රාසා ගිලානි අගමැති තනතුරට පත්වූ වහාම තම ප‍්‍රථම නිල කටයුත්ත ලෙස මුසාරෆ්ගේ පාලනය යටතේ සිරගත කර සිටි විනිශ්චයකරුවන් නිදහස් කිරීම නිසාය. වසර තුනකට පසු එම විනිශ්චයකරුවන්ම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අගමැති ගිලානි අධිකරණය ඉදිරියට කැඳවීමත් ඒ අනුව ඔහුට විරුද්ධව තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළ හොත් ඔහුගේ අගමැති තනතුර අහෝසි වීමටත් ඉඩ ඇත. මෙම නියෝගය නිකුත් වූ වහාම අගමැති ගිලානි සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුව ද පාලක සභාගයේ පක්‍ෂ නායකයෝ ඊට එකඟ නොවූහ. ඔවුන්ගේ අදහස වූයේ අගමැතිවරයා අධිකරණයට ගොස් සිය නිර්දෝෂී භාවය තහවුරු කළ යුතුය යන්නයි. ඊට අමතරව ඔහු කෙරේ විශ්වාසය පළ කෙරෙන යෝජනාවක් ද පාර්ලිමේන්තුවෙන් සම්මත කළහ. විධායකය හා අධිකරණය අතර ගැටුමක් දක්වා වර්ධනය විය හැකි මෙම අර්බුදය සම්බන්ධයෙන් අගමැති ගිලානි ඇතුළුව රජයේ ස්ථාවරය වූයේ ජනාධිපතිවරයා වශයෙන් සිටින තාක් කල් අල් සර්දාරිට මුක්තියක් හිමි වන නිසා ඔහුට විරුද්ධව අධිකරණ ක‍්‍රියා මාර්ගයක් ගැනීමට උපදෙස් දිය නොහැකිය යන්නයි. එහෙත් පාකිස්තානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අපරාධයක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී ඇති පුද්ගලයකුට ව්‍යවස්ථාදායකයට තේරී පත් වීමට හෝ විධායක තනතුරක් දැරීමට සුදුසුකමක් නැත. සර්දාරි සම්බන්ධ චෝදනා ඔහු ජනාධිපති තනතුරට පත් වීමට පෙර සිට එල්ල වූ ඒවා නිසා ප‍්‍රථමයෙන්ම ඔහු එම තනතුරට තේරී පත්වීම සදොස්ය. එම නිසා අධිකරණ නියෝගය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ අගමැතිවරයාය. ඒ අනුව අගමැති ගිලානි අධිකරණයෙන් සමාව අයැද සිටිය යුතුය. ඔහු ඊට සූදානම් ද යන්න තවම පැහැදිලි නැත. අනෙක් අතට අධිකරණයෙන් අගමැති ගිලානි සම්බන්ධයෙන් කවර ආකාරයේ පියවරක් ගනු ඇද්ද යන්න තවම පැහැදිලි නැත. ඇත්තෙන්ම අගමැති ගිලානි අධිකරණය හමුවට කැඳවීම පසුගිය මාස කීපයක් තිස්සේම පාකිස්තානු දේශපාලනයේ වර්ධනය වූ තත්ත්වක කුළු ගැන්වීමකි. මුලින්ම අධිකරණය හා ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර ගැටුමක් විය හැකි බව ඉඟි වූයේ මාවෝගේට් යනුවෙන් හැඳින්වෙන වොෂින්ටනයේ පාකිස්තානු තානාපති හුසේන් හකානි විසින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලදැයි සැලකෙන ලියවිල්ලක් සම්බන්ධයෙනි. පසුගිය වසරේ මැයි මස දෙවැනිදා ඇබොටාබාද්හි හමුදා මධ්‍යස්ථානය අසළ දී අල් කයිඩා නායක බින් ලාඩන් ඇමරිකානු විශේෂ භට කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලැබීමත් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යටතේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදු වුව හොත් එය මැඩ පැවැත්වීමට එක්සත් ජනපදයේ සහයෝගය ලබා ගැනීම ඇමරිකාවේ සිටින පාකිස්තානු ව්‍යාපාරිකයකු වන මන්සුර් අයිජාස් මාර්ගයෙන් යවන ලද මෙම ලියවිල්ලේ අරමුණ විය. මෙවැනි ලියවිල්ලක් පිළිබඳ පළමුව ප‍්‍රකාශයට පත් වූයේ ද අයිජාස් ඔක්තෝබර් 10 වැනිදා ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට සපයන ලද ලිපියකිනි. මෙම අවස්ථාව වහාම උපයෝගි කර ගත් පාකිස්තානු මුස්ලිම් ලීගයේ නායක නවාස් ෂරීප් ශ්‍රේෂ්ඨාධිකරණයට අයැදුම් පතක් ඉදිරිපත් කරමින් එම ලියවිල්ල ගැන පරීක්‍ෂණයක් පැවැත්වීමටත්, එය සත්‍යයක් නම් අගමැති ගිලානි තව දුරටත් එම තනතුරේ සිටිය යුතු ද යන්නත් තීරණය කරන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ අනුව ක‍්‍රියාත්මක වූ අධිකරණය අදාළ සියලූ පාර්ශ්ව වලින් කරුණු විමසූ අතර අර්බුදය උද්ගත වූයේ හමුදා ප‍්‍රධානි අෂ්ෂාක් කයානි හා අයිඑස්අයි ආයතනයේ ප‍්‍රධානි ෂූජා පාෂා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු නිසාය. ඉන් පසුව හමුදා ප‍්‍රධානීන් ඍජුවම අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති ගිලානි ප‍්‍රකාශ කෙළේය. හමුදා නායකයන්ගේ ප‍්‍රකාශ අනුව පාකිස්තානු තානාපති විසින් යවන ලදැයි සැලකෙන ලියවිල්ල ගැන පූර්ණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම රජය අපහසු තත්ත්වයකට පත් කිරීමක් ලෙස හැඳින්විණ. අගමැති ගිලානිගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ හමුදා නායකයා එය රාජ්‍යයට බරපතළ ප‍්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වන තත්ත්වයක් බවත් එම ප‍්‍රකාශය තහවුරු කිරීම හෝ නැති නම් සමාව අයැදීම අගමැති ගිලානිගේ වගකීමක් බවත් අවධාරණය කෙළේය. මෙය නිදහස දිනා ගැනීමෙන් පසු හමුදා කුමන්ත‍්‍රණ තුනක් සිදු වූ පාකිස්තානයේ නැවතත් හමුදාආණ්ඩුවක් බිහි වීමේ පූර්ව රංගනයක් විය හැකි බව බොහෝ දෙනාගේ සැකය විය. අගමැති ගිලානි තත්ත්වය වඩාත් සංකීර්ණ කරවමින් ආරක්‍ෂක ලේකම් කාලිඞ් ලෝඞ් වහාම තනතුරෙන් ඉවත් කොට සිවිල් සේවයේ නිලධාරියකු එම තනතුරට පත් කළේය. සම්ප‍්‍රදායක් වශයෙන්ම විශ‍්‍රාම ගිය හමුදා නිලධාරියකු ආරක්‍ෂක ලේකම් වශයෙන් පත් කෙරුණු අතර ඉන් අදහස් වූයේ පාකිස්තානයේ ප‍්‍රබල ආයතනයක් වන හමුදාව හා සිවිල් රජය අතර සම්බන්ධීකරණයයි. මෙම තනතුරට සිවිල් නිලධාරියකු පත් කිරීමෙන් අගමැති ගිලානි එම සම්බන්ධය බිඳ දැමීමට අමතරව හමුදාව සිවිල් පාලනය යටතට ගැනීමට ද පියවර ගත්තේය. මීට පෙර හමුදාවේ ආධිපත්‍යයට මෙවැනි අභියෝගයක් ඉදිරිපත් වූ හැම අවස්ථාවකදීම එය විසඳුණේ රජය එම පියවර ආපසු ගැනීමෙන් හෝ හමුදාව සිවිල් ආණ්ඩුව සිය යටතට ගැනීමෙනි. ඒ නිසා පාකිස්තානයේ සිව් වැනි හමුදා කුමන්ත‍්‍රණයක් සිදු වන්නේ ද යන්න දැනට බොහෝ දෙනා අතර සාකච්ඡා වෙමින් පවතින මාතෘකාවකි. අගමැති ගිලානි තමා වගකිව යුතු වන්නේ පාර්ලිමේන්තුවට පමණක් බව අවධාරණය කරමින් තමා ශක්තිමත් පදනමක සිටින බව ප‍්‍රකාශ කළ ද පසුගිය සතිය අවසන් වන විට ඔහු අතරමැදි සාමයකට සූදනම් බව ඉඟි කෙළේය. ඒ ආරක්‍ෂක අංශවල නිලධාරීන් ද සහභාගි වූ ආරක්‍ෂක කමිටු රැස්වීමක දී සන්නද්ධ හමුදා කාර්ය භාරය අගය කිරීමෙනි. රටේ ආරක්‍ෂාව තර කිරීම සම්බන්ධයෙන් හමුදාව ගෙන ඇති පියවරට ප‍්‍රශංසා කළ ඔහු සන්නද්ධ හමුදාව ජාතික ශක්තියේ පවුරු පදනම ලෙස හැඳින්වූයේය. මෙය බොහෝ විචාරකයන් හැඳින්වූයේ හමුදා නායකත්වය හා දේශපාලන නායකත්වය අතර මතුව ඇති අර්බුදය නිමා වීමේ ආරම්භයක් ලෙසිනි. හමුදා ප‍්‍රධානි ජනරාල් කයානි හා අයිඑස්අයි ප‍්‍රධානි පාෂා ජනාධිපති සර්දාරි හමුව සාකච්ඡා කිරීම එම මතය වඩාත් තහවුරු කිරීමකි. එහෙත් මේ සතියේ නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමග මෙම ගැටලූවට තවත් පැතිකඩක් පවතින බව අනාවරණය විය. බොහෝ නිරීක්‍ෂකයන් පෙන්වා දෙන ආකාරයට අභ්‍යන්තර සන්නද්ධ ගැටුමකට හා ජාත්‍යන්තර වශයෙන් තම ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වන එක්සත් ජනපදය සමග මතභේදයකට මුහුණ දී සිටින පාකිස්තානු හමුදාව මේ අවස්ථාවේ දී කුමන්ත‍්‍රණයකින් බලය පැහැර ගැනීමකට ඉදිරිපත් වන්නේ යැයි සිතීම අපහසුය. එහෙත් ඔවුන් සමග ගැටුමකට එළඹ සිටින සිවිල් ආණ්ඩුව මට්ටු කිරීමට තවත් ආයතනයක් පවතී. ඒ අධිකරණයයි. සිවිල් ආණ්ඩුව යටතේ ප‍්‍රතිස්ඨාපනය කළ අධිකරණය දැන් වඩ වඩාත් සිය බලය ප‍්‍රදර්ශනය කිරීමට ඉදිරිපත් වීම මේ අවස්ථාවේ දී හමුදාවේ ප‍්‍රශංසාවට ලක් වන්නකි. මැමොගේට් සිද්ධිය හෝ ජනාධිපති සර්දාරි සම්බන්ධයෙන් ක‍්‍රියා නොකිරීම ගැන අධිකරණය ගන්නා ක‍්‍රියා මාර්ගය අනුව පාකිස්තානු ජනතා පක්‍ෂයට තව දුරටත් බලයේ රැඳී සිටිය හැකි ද යන්න තීරණය වනු ඇත. එවිට සිදු වන්නේ 2013 දී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය බොහෝ දුරට මෙම වසරේ දී පැවැත්වීමය. ආර්ථික හෝ දේශපාලන ස්ථාවරත්වයක් අත් කරගැනීමට අපොහොසත් වූ සර්දාරිගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු ජනතා පක්‍ෂයට මහ මැතිවරණයක දී ජයග‍්‍රහණයක් අපේක්‍ෂා කිරීම මිරිඟුවක් වනු ඇත.
සටහන-මහින්ද හත්තක
අගමැති ගිලානෝ හිටපු අගමැති නවාස් ෂරීෆ් හුසේන් හකානි පාකිස්තානු හමුදා භට පිරිසක් ජනාධිපති සර්දාරි