ව්‍යාපාරික රූපට් මර්ඩොක්ගේ ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඞ්’ පුවත්පත පෞද්ගලික රහස් පරීක්ෂකයකු යොදවා බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරු ගැන ඔත්තු බැලූ බවට තොරතුරු බී.බී.සී. පුවත් සේවය පෙරේදා (09) අනාවරණය කළේය.‘නිව්ස් ඔෆ් ද වර්ල්ඞ්’ පුවත්පතේ මාධ්‍යවේදීන්, මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කරමින්, පුවත් සෙවීමේ අරමුණින් බි‍්‍රතාන්‍ය ජනතාවගේ සහ දේශපාලනඥයන්ගේ දුරකතන සංවාදවලට හොරෙන් කන්දුන් අතර ඒ බව අනාවරණය වීමෙන් පුවත්පත වසා දැමීමට එහි හිමිකරු රූපට් මර්ඩොක් පියවර ගත්තේය.බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඞ්’ මාධ්‍යවේදීන්, 2006 වසරේදී ඩෙරික් වෙබ් නමැති පෞද්ගලික රහස් පරීක්ෂකවරයාගේ සේවය ලබා ගෙන විලියම් කුමරු ගැන ඔත්තු බලා ඇති බවය. ඒ බව රාජකීය ආරක්ෂක නිලධාරීන් පවා නොදැන සිටි බව බී.බී.සී. පුවත් සේවය අනාවරණය කරයි.