ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී යුරෝපීය පාර්ශවකරුවන් සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වනු ඇතැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී මහතා අද (4) පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානය එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමය 2015 වසරේදී න්‍යෂ්ටික බලය භාවිත කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට පැමිණියහ. එය ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යනුවෙන් හැඳින්විණි. ඉරානය ගිවිසුමේ කොන්දේසි කඩ කරන බව පවසමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ මැයි මාසයේදී ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් කරගත්තේය.

එසේ වුවත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම දිගටම පවත්වාගෙන යෑමට එහි අනෙක් පාර්ශව උත්සුක වූහ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විණි. 

“අපිට අද හෙට තීරණයකට එන්න බැහැ. ඒ නිසා එකඟතාවක් නැහැ. යුරෝපයට දැන්ම මුකුත් කරන්න බැහැ. යුරෝපයට ඔවුන්ගේ පොරොන්දු ඉටු කරන්න තවත් මාස දෙකක් විතර යාවි” යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී සඳහන් කළේය. 

රොයිටර්
-055-