පසුගිය මාර්තු මාසයේ මගීන් හා කාර්යමණ්ඩලය 239 දෙනෙකු සමග අතුරුදන්වූ එම්.එච් 370 අංක දරන මලයාසියා ගුවන්යානය සොයා සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් මේ වසර අවසානයට පෙර අත්හිටුවීමට නියමිත යැයි රාවයක් පැතිර යමින් තිබේ.

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීව සිටි මැලේසියා ගුවන්සේවයේ ප‍්‍රධාන විධායක නිළධාරියෙකුගේ මුවින්ද අහම්බයකින් මේ බව ගිලිහුණු අතර වහාම ප‍්‍රකාශයක් නිකුත් කළ මැලේසියා ගුවන් සේවය එය එම නිළධාරියාගේ පෞද්ගලික අදහස් දැක්වීමක් විනා සමාගමේ මතය නොවන බව අවධාරණය කර සිටියේය.

අතුරදන්වූ යානයේ ගමන් කරමින් සිටියවුන්ගේ නෑ හිතවතුන් එක්ව පිහිටුවාගෙන ඇති ‘‘වොයිස් 370‘‘ සංගමයද එම නිළධාරියාගේ ප‍්‍රකාශය හෙළා දැක ඇත.එසේ නමුත් ඇත්තටම මෙහෙයුම් අත්හැර දැමිමේ සූදානමක් බළධාරීන් අතර පවතින බවට ලකුණු පෙනෙන්නට ඇති බවත් එම සංගමය කියයි.

එසේවුවත් මෙහෙයුම් කටයුතු වලට සහභාගීව සිටින  ඕස්ටේ‍්‍රලියාවද නිවේදනයක් නිකුත් කරමින් මෙහෙයුම් නැවැත්වීමේ කිසිදු සූදානමක් නැතැයි සඳහන් කර ඇත.

සිව්වැනි වතාවටත් දියත් කෙරී ඇති මෙහෙයුම් වලින් මේ වන විට ආවරණය කර ඇත්තේ යානය අතුරුදන්වූ වර්ග කිලෝමිීටර 50000 ක් පමණ වූ මුහුදු ප‍්‍රදේශයෙන් වර්ග කිලෝමීටර 3000 ක පමණ කුඩා ප‍්‍රමාණයක් බව සඳහන්ය.

මේ දක්වා සිදු කෙරුණු මෙහෙයුම් වලින් යානයේ ඉරණම පැහැදිලි කෙරෙන කුඩා හෝ සාක්ෂියක් පවා සොයාගැනීමට හැකිව නොමැත.