ඇමරිකාවේ ජොන්සන් නගරයේ 12 හැවිරිදි ටේලර් ස්කොට් ස්මිත් දැරිය නියුමෝනියාව වැළදී මිය ගියාය.

දැරියගේ මරණයෙන් ඉතා විස්සොපයෙන් කල් ගෙවන මව්පියන් දිනක් ඇයගේ කාමරය අස් කිරීමට පටන් ගත්හ.

ලිවීමට දස්කම් දැක්වූ ටේලර්, අනෙක් මිනිසුන්ට ධෛර්යමත් වීමට ලියූ ලිපි, කවි, සඟරා, රචනා ආදිය පිරීතිබූ පෙට්ටි ගණනාවක් ඇගේ කාමරයෙහි විය. ඒ සියල්ල අතුරෙන් ‘ටේලර් ස්මිත් විසින් 2023 අපේ‍්‍රල් 13 දින විවර කරන්න’ යනුවෙන් සඳහන් කළ අලවා තිබූ ලියුම් කවරයක තිබී ලිපියක් හමු විය. 2023 වන විට ඇයට අවුරුදු 22කි.

එය විවර කර කියවීමේදී මව්පියන්ගේ තවත් හදවත කඩා වැටෙන්නට විය. ඒ ඉක්මනින් තමා මෙලොව හැර යන බව දැන ටේලර් විසින් ඇයටම ලියා ගත් ලිපියකි. ආගමට ලැදි දැරියක් වන ටේලර් දෙවියන් කෙරෙහි තැබූ විශ්වාසයත්, ඇගේ බලාපොරොත්තුත් එහි සටහන්ව තිබිණි. පිටු දෙකක් පිරෙන්න ලියා තිබූ ලිපිය ආරම්භ කර තිබුණේ මෙසේය.

”දයාබර ටේලර්, ජීවිතය කොහොමද? අවුරුදු 10ක ඔබේ අතීතය ඉතා සරලයි. ලස්සනයි. ඔබ ලබා ගත් උසස් පෙළ උපාධියට සුභ පැතුම්. මම දන්නවා මම ප‍්‍රමාදයි. මෙම උපාධිය නොලැබුණාට මට දැනටමත් මගේම ස්ථානයක් ලැබී තියෙනවා. අපිට එකම පාසලක ඉන්න තිබුණා නම් මම අනිවාර්යෙන් නීතිඥයෙක් වෙනවා.”

එසේම ඇය ලිපිය අවසන් කර තිබුණේ ”මතක තියා ගන්න මම මෙය ලියා දැන් වසර 10ක් වෙනවා. හොඳ හෝ නරක දෙයක් වීමට පුළුවන්. ඒ ජීවිතයේ හැටි සහ ඔබ එය භාර ගත යුතුයි” යනුවෙන් සටහන් කර තිබුණි.

මෙම ලිපිය මව්පියන්ටත්, ඇගේ වැඩිමහල් සහෝදරයාටත් ඇගේ මතක සටහනක් ලෙස සුරක්ෂිතව තබා ගන්නා බව සඳහන් කළේය. ‘ටේලර් අනුස්මරණ අරමුදල’ නමින් ගිණුමක් විවෘත කර ඇති අතර එහි මදල් දේවස්ථානයකට පිදීමට ඔවුහු සැරසෙති.