වයඹදිග පාකිස්තානයේ පිහිිටි පෙෂාවොර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගෙන තලේබාන් සටන්කාමීන් ඊයේ (16) එල්ල කළ ප‍්‍රහාරයකින් සිවිල් වැසියෝ හතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. බෝම්බ පිර වූ මෝටර් රථ, රොකට් සහ ගිනි අවිවලින් සන්නද්ධ වූ සටන්කාමීන් පිරිසක් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත. එහිදී ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් සටන්කාමීහු සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පාකිස්තානයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන පෙෂාවොර්හි පිහිටි මෙම ගුවන්තොටුපළ එරට ප‍්‍රධාන ගුවන් හමුදා කඳවුරක් ලෙස ද සැලකේ. ගුවන්තොටුපළේ නවතා තිබූ ප‍්‍රහාරක ගුවන්යානා සහ හෙලිකෝප්ටර් විනාශ කිරීමේ අරමුණින් සටන්කාමීන් මෙම ප‍්‍රහාරය දියත් කර ඇති බව හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. සටන්කාමීන් එල්ල කළ රොකට් ප‍්‍රහාරවලින් ගුවන්යානා කිසිවකටත් හානි සිදු නොවූ බවත් ජනතාව ගැවසෙන ස්ථානයකට එම රොකට් ප‍්‍රහාරයක් පතිත වීමෙන් එහි සිටි පිරිස් තුවාල ලැබූ බවත් කයිබර් පළාතේ සන්නිවේදන කටයුතු අමාත්‍ය මිලාන් ඉෆ්තිකාර් හසන් සඳහන් කළේය. රොකට් සහ ගිනිඅවිවලින් ප‍්‍රහාර එල්ල කළ සටන්කාමීන්ට සිය ඉලක්කයට සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබී නොමැති බව වාර්තා වේ. ප‍්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් බාර ගෙන ඇත.  ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ වැසියන් පනස්දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ‘‘අපගේ ඉලක්කය වූයේ ප‍්‍රහාරක ගුවන්යානා සහ හෙලිකොප්ටර් යානා විනාශ කිරීමයි. නැවතත් ප‍්‍රහාරයක් එල්ල කිරීමට අප සූදානමින් සිටිනවා.’’ යැයි ප‍්‍රහාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් තලෙයිබාන් ප‍්‍රකාශක එන්සනුල්ලා එසාන් අනතුරු ඇඟවීය. උද්ගතව ඇති මෙම තත්ත්වය තුළ පාකිස්තානයේ අනෙකුත් ගුවන්තොටුපළවලට ද ආරක්ෂාව තර කරන ලෙස අනතුරු අඟවා ඇතැයි එරට රජය සඳහන් කරයි.