සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිටින ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට තුර්කිය අසමත් වී ඇතැයි රුසියාව චෝදනා කරයි.

කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන අවසන් බල ප්‍රදේශය වන ඉඩ්ලිබ් පළාතේ ගැටුම් උත්සන්න වී තිබේ. සිරියානු රජයේ හමදා කැරැලිකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන අතර තුර්කි හමුදා වෙත ද ප්‍රහාර එල්ල විය.

සිරියානු රජයේ හමුදා සහ තුර්කි හමුදා අතර ඇති වූ ගැටුම් හේතුවෙන් වසර නවයක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබෙන සිරියානු සිවිල් යුද්ධය උග්‍ර අතට හැරෙනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

තුර්කි හමුදාවලට ප්‍රහාර එල්ල වීම නිසා රුසියාව සහ තුර්කිය අතර ද මතභේද නිර්මාණය වී තිබේ.

‘‘ත්‍රස්තවාදී කණ්ඩායම් පාලනය කිරීමට තුර්කියට වගකීමක් තිබෙනවා’’ යැයි රුසියාවේ, ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවැසීය. ඉඩ්ලිබ් පළාත සම්බන්ධයෙන් තුර්කිය සහ රුසියාව අතර ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයක් පවතී.

ඉඩ්ලිබ් පළාතේ සිටින ත්‍රස්ත කණ්ඩායම් සිරියානු රජයේ හමුදාවලට ප්‍රහාර එල්ල කරන බව හෙතෙම කීවේය.

ඔවුන් රුසියානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් තිබෙන බව ද ඔහු කීය.


ඒ.එෆ්.පී.

055