ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පලස්තීනයේ සංචාරයක නිරත වනු ඇතැයිද තමා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු මුණ ගැසීමට සූදානම් යැයි ද පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් මහතා අද (9) ප්‍රකාශ කළේය.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සාම ක්‍රියාවලියේ කොටසක් ලෙස එය සිදුවන බව ද අබ්බාස් මහතා කීවේය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා මේ මස අගදී තම පළමු නිල විදෙස් සංචාරයේ කොටසක් ලෙස ඊශ්‍රායලයට පැමිණීමට නියමිතය.  මෙම ගමනේදී ට්‍රම්ප් මහතා බෙත්ලෙහෙමට ගමන් කිරීමට ද නියමිත බව පලස්තීන ජනාධිපතිවරයා පැවැසීය. ඇමෙරිකා ජනාධිපතිවරයා මැයි 23 වැනිදා බෙත්ලෙහෙමේ සංචාරයක නිරත වනු ඇතැයි පැවසේ.

“අපි ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. ඔහු බෙත්ලෙහෙමට පැමිණෙනවා” යැයි පලස්තීන ජනපතිවරයා කීය.
පලස්තීන නායකයා ඉකුත් සතියේදී වොෂින්ටනයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා හමු වී මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීය. ජනාධිපතිවරයා ලෙස තම පළමු විදෙස් සංචාරයේදී ඉස්ලාම් දහම, යුදෙව් දහම සහ කතෝලික දහම ආරම්භ වූ සෞදි අරාබිය, ඊශ්‍රායලය හා වතිකානයේ සංචාරය කරන බව එම සතියේදීම ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා නිවේදනය කළේය.

ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා මැයි 22 වැනිදා ඊශ්‍රායලයට පැමිණෙනු ඇතැයි පැවැසුණ ද එය නිල වශයෙන් තහවුරු නොවීය. ජනාධිපතිවරයා බටහිර ඉවුරේ සංචාරයක නිරත නොවනු ඇතැයි පැවැසිය නොහැකි බව පලස්තීන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු ට්‍රම්ප් පාලනයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවැසීය.

ආරක්ෂාව සහ සාමය ගෙනඒම සඳහා පලස්තීන ජනාධිපතිවරයා තබන ඉදිරි පියවර මත එය තීරණය වනු ඇතැයි ද ඔහු පැවැසීය. ඊශ්‍රායල පලස්තීන සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ට්‍රම්ප් මහතා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. 

ඒ.එෆ්.පී  -  055