තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනිය ලෙස පිට පිටම දෙවැනි වරටත් තේරී පත්වූ ජයලලිතා ජයරාම් ඇතුළු ඇගේ කැබිනට් මණ්ඩලය ආණ්ඩුකාර කේ.රෝසයියා ඉදිරියේ අද (23) දිවුරුම් දුන්හ.

එම උත්සවය මැඩ්‍රාස් විශ්ව විද්‍යාලයේ සංවත්සර ශාලාවේදී පැවැත්විණි.

ජයලලිතා මහ ඇමැතිනිය වූයේ හයවැනි වරටයි. ඇය දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පරිදි තමිල්නාඩු ප්‍රාන්තයේ මත්පැන් හල් විවෘතව තැබීමේ වේලාව පැය දෙකකින් අඩු කිරීමට තීරණය කළාය. ඒ අනුව මත්පැන් හල් මින් පසු විවෘත කළ යුත්තේ මධ්‍යහ්න 12 සිට රාත්‍රී 10 දක්වා පමණි. මීට පෙර පෙරවරු 10ට විවෘත කිරීමේ අවසරය තිබිණි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා විදුලි ඒකක 100ක් නොමිලේ ලබාදීමේ ඡන්ද පොරොන්දුව ඉටු කිරීමටද ඇය අද කටයුතු කළාය.