වෙනිසුවෙලාවේ ජනාධිපති හියුගෝ චාවේස් මියගොස් කෙටි වෙලාවකින් පසු ජාතිය අමතමින් චිත්ත වේගාත්මක කතාවක් කල උප ජනාධිපති නිකොලස් මඩුරෝ කියා සිටියේ "චාවේස් සහෝදරයා මරා දැමුවේ තම මාතෘ භූමියේ පරම සතුරන්" විසින් බවය. 

ඔහු මේ නොකියා කීවේ චාවේස් ජනාධිපතිට වැළඳුන පිළිකාව ඇමෙරිකා රහස් ඔත්තු සේවයට සම්බන්ධ පිරිසක් විසින් බෝකළ දෙයක් බවයි.

මෙම ප්‍රකාශය නිකුත්කරනවාත් සමගම කැරකස් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ තානාපති නිලධාරීන් ලෙස සේවය කළ ඇමෙරිකා  ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු එරටින් පිටුවහල් කිරීමටද කටයුතු යොදා ඇතිබව වාර්තා විය. ඔවුන් දෙදෙනා වෙනිසුවෙලාවේ  ස්ථාවරයට තර්ජනයක් වන අන්දමට රහස් ඔත්තු සෙවීමේ නිරතවී සිටි බවට රජය චෝදනා කළේය.

එම ප්‍රකාශය තරයේම ප්‍රතික්ෂේප කරන ඇමෙරිකා  විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දෙරට අතර ඇති පැහැදිලි ප්‍රතිපත්තිමය වෙනස පිළිබඳව කතාකිරීමට මෙය සුදුසු වෙලාවක් නොවන බවයි. ඇමෙරිකාව සැමවිටම වෙනිසියුලා ජනතාවගේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරන බවත් දෙරට අතර අර්ථවත් වැඩදායක සබැඳියාවක් ස්ථාපිත කරගැනීම ඇමෙරිකාවේ ඒකායන අභිප්‍රාය වන බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.

බදාදා දහවල කැරකාස් නගරයේ විදි දිගේ අභාවප්‍රාප්ත ජනාධිපති චාවේස්ගේ සිරුර මහජන ගෞරවය සඳහා තැන්පත්කිරීමට හමුදා මූලස්ථානයවෙත පෙරහරකින් රැගෙන ගියේය. එම අවස්ථාවේ දහස් ගණනක ජනකාය එය දැක බලා ගැනීමට මග දෙපස රැස්වී සිටියහ.

මියගිය ජනාධිපතිහට ගෞරවකිරීම සඳහා සතියක් පුරා ශෝකය ප්‍රකාශකරන ලෙසත් සියලුම පාසැල් වසා තබන ලෙසත් ඉල්ලීමක් කර ඇත. අවමංගල්‍යය පැවැත්වෙන සිකුරාදාට රාජ්‍ය නායකයින් බොහෝ දෙනෙකු මෙන්ම විශාල ජනතාවක්ද කැරකාස් නුවරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

දැඩි සමාජවාදී ස්ථාවරයක සිට කටයුතුකළ චාවේස් ජනාධිපති   දකුණු ඇමෙරිකාවේ සියලුම රාජ්‍ය නායකයන් සමග මෙන්ම කියුබාවේ ෆිදෙල් ක්‍රස්තෝ, ලිබියාවේ මුවම්මර් ගඩාෆි, ඉරානයේ මහමූඩ් අහමිනේජාඩ් පලස්තීනයේ යසර් අරෆට්   සමඟ සමීප සබඳතා පැවැත්වීය.  ශ්‍රී ලංකාව වැනි දියුණුවන කුඩා රටවල් කෙරෙහිද ඔහු  ලබැඳීයාවකින් පසුවිය.