ආක්ටික් ටර්න් නම් කුඩා කුරුළු විශේෂය වාහන වල හැපී අනතුරට ලක්වීම වැලැක්වීම සඳහා බටහිර අයිස්ලන්තයේ පාරවල් වල වර්ණවත් තීන්ත ආලේප කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

අයිස්ලන්තයේ ජාතික පුවත් සේවය පවසා ඇත්තේ ජෛව විද්‍යාඥයන්ගේ නිර්දේශය මත මාර්ග වල රතු, කහ සහ සුදු වර්ණ ආලේප කළ බවයි . 

මුහුදුබඩ ජීවත්වන ප්‍රමාණයෙන් කුඩා ආක්ටික් ටර්න් කුරුල්ලන් අයිස්ලන්තයේ ස්නෙෆල්ස්නස් අර්ධද්වීපයේ විශාල වශයෙන් වාස භූමිකරගෙන සිටියි. මාර්ග අවට පවතින උණුසුම් පරිසරයට කුරුල්ලන් ආකර්ෂණය වන බවත් පිහාටු අඳුරු පැහැති නිසා සැඟවී සිටීමට මාර්ග අසලට පැමිණෙන බවත් ජෛව විද්‍යාඥයෝ පවසති.

සංචාරක කර්මාන්තය දියුණු වීම නිසා වාහන තදබදය වැඩිවීමෙන් කුරුල්ලන් වැඩි වශයෙන් අනතුරට ලක්වන බව ඔවුන් නිරීක්ෂණය කර ඇත. දීප්තිමත් වර්ණ භාවිතා කිරීම මගින් පක්ෂීන් මාර්ග අසලට ආකර්ශණය වීම වලක්වා ගතහැකි වනු ඇති බව විද්‍යාඥයෝ පවසති.

ඔවුන් තවදුරටත් පවසා ඇත්තේ පක්ෂීන් මෙයට යහපත් ප්‍රතිචාර දැක්වුවහොත් අයිස්ලන්තයේ අනෙක් ප්‍රදේශවල පාරවල් සඳහාද මෙම ක්‍රමයම අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවයි.