දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පියාසර කරමින් සිටි පක්ෂීන් විශාල පිරිසක් හිටිහැටියේ මැරී වැටීම පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ඕස්ට්‍රේලියානු බලධාරීහු කියති.
මෙලෙස මියගොස් ඇත්තේ එරට ආරක්ෂිත පක්ෂි විශේෂයක් වූ කොරෙල්ලා නම් කුරුළු විශේෂ දෙකක සතුන්ය. ගුවනේ දී ම මියගොස් ක්‍රීඩා පිටියක් මතට පතිතවූ පක්ෂි මළ සිරුරු 57ක් මේ වනවිට සොයාගෙන ඇති අතර පියඹාගත නොහැකිව දුර්වල ව සිටි පක්ෂීන් කිහිපදෙනෙක් පශු වෛද්‍යවරුන් වෙත යොමු කර ඇත. නමුත් පශු වෛද්‍යවරු පවසන්නේ මෙම පක්ෂීන්ගේ ජීවිත බේරාගැනීම ද අසීරු බවයි.
මොවුන් මෙලෙස හදිසියේ ම මිය යාමට හේතුව කිසියම් විෂක් ශරීරගතවීම නිසා යැයි සත්ත්ව විද්‍යා පර්යේෂකයෝ කියති.
මියගොස් සිටි ඇතැම් පක්ෂීන්ගේ මුඛයෙන් රුධිරය වහනය වී තිබූ බව ද නිරීක්ෂණය කර ඇත.
එරට පරිසර හා ජල දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත්තේ මොවුන්ගේ සිරුරට ඇතුළු වූ විෂ වර්ගය කුමක් ද යන්න සෙවීම පිළිබඳ දැනටමත් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි.
එම විෂ වර්ගය හඳුනාගැනීමට සති කිහිපයක් ගතවනු ඇති බව ද ඇය කියා සිටියාය.
දිගු හොට සහිත කොරෙල්ලා වර්ගයේ හා කෙටි හොට සහිත කොරෙල්ලා වර්ගයේ පක්ෂීන් මෙලෙස මියගොස් ඇත.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd