වසර 27 කට පසු යුරෝපා රටවල වැසියන් මිලියන 15 කට අද (12) සවස පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ. සූර්යග්‍රහණය ආරම්භ වනු ඇත්තේ ග්‍රීන්විච් සම්මත වේලාවෙන් සවස 15:34 ටය. රුසියාවේ උතුරු ප්‍රදේශවලට, ග්‍රීන්ලන්තයට, අයිස්ලන්තයට, ස්පාඤ්ඤයට සහ පෘතුගාලයේ ප්‍රදේශ කීපයකට මෙම සූර්යග්‍රහණය දකින්න ලැබෙනු ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.

බටහිර යුරෝපයට, වයඹදිග අප්‍රිකාවට, කැනඩාවේ වැඩි කොටසකට සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු ප්‍රදේශවලට මෙම සූර්යග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසය.

මිනිත්තු 2යි තත්පර 18 ක කාලයක් පූර්ණ සූර්යග්‍රහණය පවතිනු ඇති බවත්, අයිස්ලන්තයේ රෙයික්‍යවික් නුවරට එය හොඳින්ම දකින්න ලැබෙනු ඇති බවත් නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

සූර්යග්‍රහණයක් යනු පෘථිවිය සහ සූර්යයා අතරින් චන්ද්‍රයා ගමන් කිරීමේදී, චන්ද්‍රයා විසින් සූර්යයා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ආවරණය කරමින් පෘථිවිය මතට සෙවනැල්ල පතිත වන ස්වාභාවික ආකාශ සංසිද්ධියයි.

මෙහිදී සූර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය එකම සරල රේඛාවක පිහිටන අතර, චන්ද්‍රයාගේ සෙවනැල්ල වැටෙන පෘථිවි ප්‍රදේශවලට සූර්යාලෝකය තාවකාලිකව අවහිර වී දිවා කාලය අඳුරු වෙයි.

මෙම සූර්යග්‍රහණයේ විශේෂත්වය මීට පෙර කිසි දිනෙක නොදුටු, අනාගතයේදීද යළි දැකිය නොහැකි අද්විතීය සූර්ය කොරෝනාවක් දර්ශනය වීම යැයි ද පැවැසෙයි. සූර්ය කොරෝනාව යනු සූර්යයාගේ වායුගෝලයේ පිටතින්ම පිහිටි, අතිශය උණුසුම් වායු හා ප්ලාස්මා වලින් සමන්විත බාහිරම ස්තරයයි.

සාමාන්‍යයෙන් අධික හිරු එළිය නිසා සූර්යයාගෙන් කිලෝමීටර් මිලියන ගණනක් ඈතට විහිදෙන මෙම කොටස නොපෙනෙන නමුත්, පූර්ණ සූර්යග්‍රහණයකදී චන්ද්‍රයා සූර්යයා සම්පූර්ණයෙන් ආවරණය කිරීමත් සමඟ එය රිදී හෝ සුදු පැහැති කිරණ වළල්ලක් ලෙස අඳුරු අහසේ දිස්වෙයි.

සූර්ය කොරෝනාව ස්ථාවර ව්‍යුහයක් නොවන අතර, එය සෙල්සියස් අංශක මිලියන ගණනක උෂ්ණත්වයකින් යුත් ප්ලාස්මා ප්‍රවාහයන්ගෙන් සහ සූර්යයාගේ ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයෙන් නිර්මාණය වන්නකි.

සූර්ය චුම්බක ක්ෂේත්‍රය තත්පරයෙන් තත්පරය වෙනස් වන බැවින්, සෑම සූර්යග්‍රහණයකදීම දර්ශනය වන කොරෝනාවේ හැඩය එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වේ.

වසර 11ක සූර්ය චක්‍රයේ උපරිම අවස්ථාව ලෙස සැලකෙන 2024 ඔක්තෝබරය පසුකර වසර දෙකකට පමණ පසුව, මෙම සූර්යග්‍රහණය සිදුවනු ඇත.

සූර්ය ක්‍රියාකාරීත්වය එකවර පහත නොබසින බැවින්, මෙය 2017 හෝ 2020 සූර්යග්‍රහණවලට වඩා සක්‍රීය, විශේෂිත සංක්‍රාන්ති ස්වභාවයේ කොරෝනාවක් නිර්මාණය වනු ඇතැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

ඒ අනුව, කොරෝනාවේ සුදු පැහැති කිරණ කෙඳි මෙන්ම රෝස පැහැති ප්ලාස්මා දැල්වීම්ද මෙවර අහසේ පැහැදිලිව දැකගත හැකි වනු ඇත.

යුරෝපා මහද්වීපයට 1999 වසරෙන් පසු, එනම් වසර 27කට පසුව දර්ශනය වන ප්‍රථම පූර්ණ සූර්යග්‍රහණය මෙයයි. ඊට අමතරව සූර්යග්‍රහණය සිදුවෙද්දී බුධ, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස් මෙන්ම නෙප්චූන් යන ග්‍රහලෝක හය අහසේ එකම රේඛාවක පෙළගැසෙන බව ද නාසා විද්‍යාඥයෝ පවසති.