ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ 66 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී ලෝක නායකයන් කාගේත් වැඩි අවධානයක් යොමු වූයේ ලිබියාවට සහ පලස්තීනයටය. 66 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට නිව්යෝක් නුවරට පැමිණ සිටි පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවීමට ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප‍්‍රමුඛ නියෝජිත කණ්ඩායම හදිසියේම තීරණය කළහ. ඊශ‍්‍රායල අගමැතිවරයා, පලස්තීන ජනාධිපති අබ්බාස් ප‍්‍රමුඛ කණ්ඩායමට කියා සිටියේ ඊශ‍්‍රායල-පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවය. ඊශ‍්‍රායලය හිටිහැටියේම මෙවැනි තීරණයකට එලැඹුණේ පලස්තීන ජනාධිපති අබ්බාස්, පලස්තීන ජනතාවට ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ඇති අයිතිය තහවුරු කර ගැනීමේත්  පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේත් අරමුණ පෙරදැරි කර ගනිමින් යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියදීය. එම යෝජනාවලිය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් නොකර කෙළින්ම මහා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ජනපති අබ්බාස් අදහස් කර ගෙන සිටියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා තම අරමුණ ඉටු කර ගැනීමට ඉඩක් නොලැබෙන හෙයිනි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 ක් සිටින අතර යෝජනාවලිය සම්මත කර ගැනීමට නම් එයින් රටවල් නවයක සහාය පලස්තීන ජනපතිවරයාට අවශ්‍ය වේ. එහෙත් ඊට අකමැත්ත පළ කරමින් ඇමෙරිකාව පවසා සිටියේ නිෂේධ බලය යොදා එම යෝජනාවලියට විරෝධය පළ කිරීමට තමන් සූදානම් බවය. ජනපති අබ්බාස් තම යෝජනාවලිය මහා මණ්ඩලය හමුවට ඉදිරිපත් කළේ එහෙයිනි. පලස්තීන ජනතාවට ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අයිතියක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් 130 ක අදහස වී තිබේ. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අරාබි ලීගයට අයත් සාමාජික රටවල් මේ වන විට එකඟත්වයක් ඇති කරගෙන සිටියි. එම රටවල් ඊට කැමැත්ත පළ කළේ පසුගියදා ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැත්වුණු අදාළ රටවල විදේශ කටයුතු ඇමැතිවරුන්ගේ සමුළුවේදීය. එම සමුළුවට පලස්තීන නායක මහමුද් අබ්බාස් ද සහභාගී විය. ජනපති අබ්බාස් එම අවස්ථාවේදී කියා සිටියේ 66 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී තමා පලස්තීනයේ සාමාජිකත්වය ලබා ගැනීමට ඉල්ලූම් පත‍්‍රයක් ඉදිරිපත් කිරීමට සූදානම් බවය. එම අවස්ථාවේදී අරාබි ලීගයේ විදේශ කටයුතු ඇමැතිවරුන්ගේ සමුළුවට පැමිණි යුරෝපා සංගමයේ විදේශ කටයුතු සම්බන්ධ ප‍්‍රධානී කැතරින් ඈෂ්ටන් ද පවසා ඇත්තේ සාකච්ඡා මාර්ගයෙන් පලස්තීන රාජ්‍යයක් පිහිටුවහොත් තමාද ඊට සහාය පළ කිරීමට සූදානම් බවය. ඊශ‍්‍රායලය සහ පලස්තීනය භෞමික වශයෙන් දේශසීමාවකින් වෙන් වූයේ ද එක්සත් ජාතීන්ගේ යෝජනාවලියකට අනුවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී එම යෝජනාව ඉදිරිපත් කළේ ද දෙරට අතර පවතින ගැටුම් අවසන් කිරීමේ අරමුණ ඇතිවය. 1948 වසරේදී ඊශ‍්‍රායලය වෙනම රාජ්‍යයක් ලෙස නම් කෙරුණු අවස්ථාවේදී පලස්තීනුවෝ ඔවුන්ගේ ගම්බිම්වලින් පලවා හරිනු ලැබූහ. ඔවුහු අද අරාබිකරයේ මෙන්ම ලෝකයේ වෙනත් රටවල් රැසක සරණාගතයන් ලෙස ජීවත් වෙති. ඊශ‍්‍රායලයේ බලයේ සිටින්නේ අන්ත දක්ෂිණාංශික විවධ පක්ෂ ගණනාවකින් සැදුණු දේශපාලන සන්ධානයකි. පලස්තීනය ස්වාධීන රජයක් බවට පත් වනු දැකීමට ඊශ‍්‍රායලයේ සිටින එම දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් විරෝධය පළ කරති. ඇමෙරිකාව, කැනඩාව වැනි රටවල් ද එම දේශපාලන කණ්ඩායම්වලට පක්ෂය. මේ අතර නිව්යෝක් නුවරදී පැවැත්වෙන 66 වැනි මහා මණ්ඩල සමුළුවේදී ප‍්‍රධාන වශයෙන් කතාබහට ලක් වූයේ ද ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි. ගඩාෆි පාලනයෙන් පසු ලිබියාවේ අනාගතය කුමක් වේදැයි පුළුල් වශයෙන් කතාබහට ලක් විය. එහිදී ‘ලිබියාවේ මිතුරන්’ යනුවෙන් බටහිර රටවල එකමුතුවෙන් සැදුම් ලත් කණ්ඩායම, මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ලිබියාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට වෙනමම සාකච්ඡා පැවැත් වූහ. ලිබියාවට ඉදිරියේ දී සහාය ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර ලිබියානු කැරැලි නායක අබ්දුල් ජලීල් ද ඊට සහභාගී වූයේය. ඔහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ද සහභාගී වූයේය. ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයට සිය අනුමැතිය ලබා දීමට සාමාජික රටවල් 193 කින් යුත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කළේ මීට සතියකට පමණ ඉහතදීය. ඒ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට පක්ෂව ඡුන්ද 114 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡුන්ද 17 කි. රටවල් 15 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටි බව වාර්තා වේ. කැරැලිකාර පාර්ශ්වය පිහිටු වූ නව ලිබියානු රජය පිළිගැනීමට ලතින් ඇමෙරිකානු රටවල් තරයේ විරෝධය පළ කර තිබේ. මෙම යෝජනාව පිළිබඳ සාකච්ඡුා ප‍්‍රමාද කරන ලෙස දකුණු අපි‍්‍රකානු රටක් වන ඇන්ගෝලාව ඉදිරිපත් කළ අතුරු යෝජනාවක් ද පරාජය විය. මේ අතර කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය පෙරළා දැමූ ආයුධ සන්නද්ධ සටන්කාමීන්ගේ ලිබියානු ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය, අකමැත්තෙන් වුවත් පිළිගැනීමට අපි‍්‍රකා සංගමය ද තීරණය කර ඇත. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ඇතුළු බටහිර රටවල් මෙන් නොව අපි‍්‍රකා සංගමය මේ දක්වා ලිබියා කැරැලි නායක මොහොමඞ් ජිබ්රිල්ගේ නායකත්වයෙන් යුත් ලිබියානු ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයට කැමැත්ත ලබා දී නොතිබිණි. බටහිර රටවල් කැරැලිකාර පාර්ශ්වයට සහාය දැක්වූයේ ලිබියා කැරැල්ල ආරම්භ වී කැරැුලිකාර පාර්ශ්වය, නැගෙනහිර ලිබියානු නගරයක් වන බෙන්ගාසී නගරයේ ඔවුන්ගේ රජය ආරම්භ කළ අවස්ථාවේ සිටමය. කැරැලිකරුවන් ගඩාෆි පාලනය පෙරළා ලිබියාවේ පාලනයක් ස්ථාපිත කළ බව පිළි ගැනීමට ද අපි‍්‍රකා සංගමය මේ වන තෙක්ම සූදානමින් නොසිටියේය. ඒ අනුව අප‍්‍රිකා සංගමය කැරැලිකරුවන්ගේ පාලනය පිළිගැනීම ඔවුන් ලැබූ විශාල ජයග‍්‍රහණයක් යැයි දේශපාලන විචාරකයෝ පවසති. ලිබියාව සහ අප‍්‍රිකා සංගමය අතර පවතින්නේ සමීප සම්බන්ධතාවකි. ගඩාෆි පාලන සමයේදී ඔහු, අපි‍්‍රකා සංගමයේ සාමාජික රටවල් රැසකට ඉතා ඉහළ මට්ටමින් ආධාර ලබා දුන්නේය. එම රටවල සංවර්ධන කි‍්‍රයාවලියේ දී කැපී පෙනෙන දායකත්වයක් ද ලබා දුන්නේය. *************************************************************************************************************** ඉන්දියාවේ ගුජරාට ප‍්‍රාන්ත මහ ඇමැති හා හින්දු ජාතික පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩි දින තුනක් උපවාස කළේය. ඔහු එම උපවාසය ආරම්භ කළේ පසුගිය 17 වැනිදා ගුජරාට විශ්ව විද්‍යාල භූමියේදීය. එදින ඔහුගේ උපන්දිනය ද විය. ඔහුගේ උපවාසයේ අරමුණ වූයේ ප‍්‍රජා සමගියයි. උපවාසය හරහා ඔහු ඉන්දියාවේ සියලූම ජනවර්ග අතර ප‍්‍රජා සමගිය ඇති කළ යුතු යැයි ජනතාවට බලකරන්න විය. උපවාසය ආරම්භ කළ අවස්ථාවේදී මෝඩිට සහාය පළ කරමින් ඔහුගේ අනුගාමිකයන් පිරිසක් ද ගුජරාට විශ්ව විද්‍යාල භූමියට රැස්වූ අතර පොලිසිය බැටන් ප‍්‍රහාරයක් එල්ල කර ඔවුන් විසුරුවා හැරියේය. ඊට විරෝධය පළ කරමින් ගුජරාට ප‍්‍රාන්තයේ නොසන්සුන්තාවක් ද හට ගැනුණි. 2002 වසරේ ඉන්දියාවේ පැවැති වාර්ගික අරගලවලින් ජනතාව බොහෝ සේ පීඩාවට පත් වූ බවත් එවැනි වාර්ගික ගැටුමක් යළි ඇති නොවීමට සෑම ඉන්දියානුවකුම කටයුතු කළයුතු බවත් උපවාසය අවසන් කළ අවස්ථාවේදී මෝඩි කියා සිටියේය. කෙසේ වෙතත් ඉකුත් 19 වැනිදා මෝඩි උපවාසය අත්හැරියේ ඔහුගේ අනුගාමිකයන්ට දිගින් දිගටම පොලිස් ප‍්‍රහාර එල්ල වීම නිසාය. 2002 වසරේ පැවැති වාර්ගීක අරගලවලින් මුස්ලිම්වරුන් 1,000 කට වැඩි පිරිසක් මියගියහ. ගුජරාට ප‍්‍රාන්තයේ පැවැති ගැටුම්වලදී හින්දුවරුන් මුස්ලිම්වරුන්ට එරෙහිව උසි ගැන්වූයේ මෝඩි යැයිද දැන් ඔහු ඔහුගේම වැරදි වසා ගැනීම සඳහා උපවාසය මගින් සුදුහුණු ගා ගැනීමට උත්සාහ කරන්නේ යැයිද ඉන්දීය පාලක කොංග‍්‍රසය චෝදනා කරයි. මෝඩිගේ කි‍්‍රයා කලාපය ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ පැසැසුමට ලක්වී තිබේ. දේශපාලනික වශයෙන් පරස්පර විරෝධී මත දැරුව ද හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය කියා සිටින්නේ 2014 ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති ධුරය සඳහා තරග කිරීමට මෝඩිට හැකියාව ඇති බවය. එහෙත් ගාන්ධි අනුගාමික අන්නා හසාරේට මෙන් පැහැදිලි අරමුණක් හෝ දර්ශනයක් මෝඩිට නැතැයි ඉන්දීය මාධ්‍ය හා බොහෝ දේශපාලන විචාරකයෝ ද කියති. උපවාසයේ නියැළෙමින්, ප‍්‍රචණ්ඩත්වයට නැඹුරු නොවී අහිංසාවාදීව තම ඉල්ලීම් දිනා ගන්නා හැටි ඉන්දියානුවන්ට කියා දුන්නේ මහත්මා ගාන්ධිතුමාය. ඇහැට ඇහැක් යන ප‍්‍රතිපත්තිය මත පළිගන්න ගියහොත් ඇස් දෙකම අන්ධ වන බව එතුමෝ කියා සිටියහ. ඉන්දියාව මහා බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව තිබියදී ගාන්ධිතුමා සිය උපවාස මගින් ඉන්දියාව එක්සේසත් කළේය. ගාන්ධිතුමන් උපවාස කරද්දී සහ ‘ලූණු සොයා පා ගමනේ යෙදෙද්දී’ සුදු ජාතික පාලකයන්ට කිසිවක් කරකියා ගත නොහැකි විය. ඉන්දියාව ඉන්දියානුවන්ට අයිති බවත් එය බි‍්‍රතාන්‍යයේ කොටසක් නොවන බවත් සුදු ජාතික පාලකවරුන්ට පෙන්වා දුන්නේ අසාධාරණ නීතිරීතිවලට එරෙහිව අහිංසාවාදීව උපවාසයේ නියැළෙමිනි. නිදහස ලැබුණු පසුවත් හින්දු-මුස්ලිම් ගැටුම් නැවැත්වීමට ද එතුමා උපවාස කළේය. ‘මහා ආත්මය’ යන අර්ථයෙන් ‘මහත්මා’ යනුවෙන් ගෞරව නාමයක් පට බැඳි ගාන්ධිතුමා මිහිපිට පහළ වූ ශ්‍රේෂ්ඨයෙකි. එතුමන්ට සම කළ හැකි අයෙක් නැත. සමාජ කි‍්‍රයාකාරිකයකු වන අන්නා හසාරේ මීට මාස කිහිපයකට පෙර නවදිල්ලි නුවරදී, රටේ දුෂණ වංචා නවත්වන්නැයි ඉන්දීය රජයට බලකරමින් කළ උපවාසය නිසා ගාන්ධිතුමන්ගේ මතකය යළි අවදි විය. ඇතැමුන් හසාරේ හැඳින්වූයේ ද ‘නූතන ගාන්ධි’ යනුවෙනි. හසාරේ, පොදු ජනතාවගේ යහපත උදෙසා අවස්ථා ගණනාවකදී මෙසේ උපවාසයේ නියැළී ඇත. ඒ සෑම අවස්ථාවකදීම ඔහුගේ අරමුණු ඉටු කර ගැනීමට ඔහු සමත් විය. මීට මාස කීපයකට පෙර අන්නා හසාරේ නවදිල්ලියේ සිට ඉන්දිය රජයේ ලොක්පාල් පනත ශක්තිමත් කරන්නැයි ඉල්ලා උපවාස කරද්දී ඔහු ඉරෝම් ෂර්මිලාට ද ලිපියක් යැව්වේය. අන්නා හසාරේ, ෂර්මිලාගෙන් ඉල්ලා සිටියේ නවදිල්ලියට පැමිණ තමාගේ උපවාසයට එක් වන ලෙසය. ඉන්දියාවේ අවනීතිය සහ ප‍්‍රචණ්ඩත්වය රජයන මනිපූර් ප‍්‍රාන්තයේ රෝහල් ඇඳක දුක සේ කල් ගෙවන ඇය ඉතා අපහසුවෙන් හසාරේට පිළිතුරු ලිපියක් එව්වාය. ”මට ඔබට තරම් වාසනාවක් නැහැ. මට නවදිල්ලියට එන්න බෑ. මා නිදහස් ඉන්දියානුවෙක් නොවේ” යැයි ඇය එවූ ලිපියේ සඳහන් විය. පුවත්පත්වල ද මුල් පිටුවල ලොකු අකුරින් නරේද්‍ර මෝඩිගේ සහ අන්නා හසාරේගේ නම් පළ වුව ද ඉරෝම් ෂර්මිලා යනු කවුරුන්දැයි ඉන්දියාවේ බොහෝ දෙනා නොදනිති. අන්නා හසාරේ මෙන්ම ෂර්මිලා ද මානව කි‍්‍රයාකාරිණියකි. 39 හැවිරිදි වියෙහි පසුවන ඇය කිවිඳියකි. අන්නා හසාරේ මෙන් නොව ඇය ද මනිපූර් රජයේ අසාධාරණවලට එරෙහිව උපවාස කරන්නී 2000 වසරේ සිටය. ඇය එම උපවාසය ආරම්භ කළ අවස්ථාවේදී ඇය සිය දිවි නසා ගන්නට උත්සාහ කරතැයි වෝදනා කරමින් පොලිසිය ඇය අත්අඩංගුවට ගත්තේය. එදා සිට තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවන ඇය උසාවි නියෝගයක් මත මේ වන විට මනිපූර් වෛද්‍ය විද්‍යාලයේ රෝහල් ඇඳකට සීමා කර තබා ඇත. වසර 10 ක් තිස්සේ ඇය මෙසේ උපවාස කරන්නේ මනිපූර් ප‍්‍රාන්තයේ හදිසි නීතිය ඉවත් කරන්නැයි බලධාරීන්ට බල කරමිනි. මනිපූර් ප‍්‍රාන්ත වැසියන් ඇය හඳුන්වන්නේ ‘මනිපූර්හි යකඩ ගැහැනිය’ යනුවෙනි. ඉන්දීය බලධාරීන් විසින් ලබා ගත් උසාවි නියෝගයක් මත ඇයට නාසයෙන් දැමූ බටයක් මගින් බලහත්කාරයෙන් ආහාර ලබා දෙනු ලැබේ. ඇයගේ මරණය වළක්වන එකම සාධකය වී ඇත්තේ බිංදුවෙන් බිංදුව ඇයගේ කුසට එම නළය දිගේ යන දියර ආහාරයයි. අන්නා හසාරේ වීරයකු වුවත් ෂර්මිලා අපරාධකාරියකි. ඇය දිවි නසා ගන්ට උත්සහ කළා යැයි ඇයට එරෙහිව චෝදනා ඉදිරිපත් වී ඇත. අන්නා හසාරේට තරම් ෂර්මිලාට ප‍්‍රසිද්ධියක් හා ජන මාධ්‍යවල අවධානයක් නොලැබුණේ ඇය උපවාසය ආරම්භ කළේ අගනුවරින් බැහැර මනිපූර් වැනි ප‍්‍රාන්තයක එය ආරම්භ කළ නිසාය යනු විචාරකයන්ගේ අදහසයි. හුදෙකලා වූ මනිපූර් ප‍්‍රාන්තයේ තත්ත්වය ඇත්තෙන්ම ඛේදවාදකයකි. මනිපූර් ප‍්‍රාන්තයේ ෂර්මිලා ඇතුළු මානව කි‍්‍රයාකාරීන් මනිපූර් රජයෙන් මෙන්ම ඉන්දීය රජයෙන් ද ඉල්ලා සිටියේ මනිපූර්හි කි‍්‍රයාත්මක හදිසි නීතිය වහා ඉවත් කරන ලෙසය. මනිපූර් මානවහිමිකම් කි‍්‍රයාකාරීන් රජයට චෝදනා කරමින් කියා සිටින්නේ හදිසි නීතියට මුවා වී සිවිල් වැසියන්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශවලට බලය ලබා දී ඇති බවය. මනිපූර්හි තත්ත්වය ඉන්දු කාශ්මීර ප‍්‍රාන්තයේ තත්ත්වයට සමානය. මනිපූර්හි මිලියන 2.5 ක ජනගහනයක් ජීවත් වන අතර එහි වාර්ගීක සටන්කාමී කණ්ඩාම් 30 ක් පමණ කි‍්‍රයාත්මකය. *************************************************************************************************************** පාකිස්තානයේ පමණක් නොව ඉන්දියාවේ ද කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමී සංවිධාන ගැන ඇමෙරිකාවේ අවධානය නිරන්තරයෙන් යොමු වී තිබේ. 2005 වසරේ සිට ඉන්දියාවේ ප‍්‍රධාන නගර රැසක බෝම්බ පුපුරවා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කළ ‘ඉන්දීය මුජහදීන්’ නමැති සටන්කාමී කල්ලිය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකාව පසුගියදා තීරණය කළේය. සටන්කාමීන්ගේ එම ප‍්‍රහාරවලින් අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් මෙන්ම ඉන්දීය මුජහදීන් සටන්කාමීන් පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් සමඟ ද සබඳතා පැවැත්වීම නිසා ඔවුන් ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට තීරණය කළ බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ අනුව ඉන්දීය මුජහදීන්වරුන්ට මුදල් ආධාර ලැබෙන මාර්ග අවහිර කෙරෙන අතර එම සංවිධානයට අයත් විදේශවල ඇති වත්කම් අත්හිටුවීමට ද පියවර ගැනේ. එමෙන්ම එම සංවිධානයට මුල්‍යාධාර ලබා දී සහාය පළ කිරීමට ද ඇමෙරිකානුවන්ට හැකි නොවේ. ඉකුත් පෙබරවාරියේ ඉන්දියාවේ පූනේ නගරයේ පුපුරා ගිය බෝම්බය ඉන්දීය මුජහදීන්වරුන් ගේ කි‍්‍රයාවක් ලෙස සැලකේ. එම බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය ගණන 16 කි. මුස්ලිම් නොවන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කිරීමත් සහ දකුණු ඉන්දීය කලාපයට තර්ජනයක් වන ආකාරයට කටයුතු කිරීමත් ආදී චෝදනා ඉන්දීය මුජහදීන්වරුන්ට එරෙහිව එල්ල වී තිබේ. මීට දින කිහිපයකට පෙර නවදිල්ලි මහාධිකරණය ඉදිරිපිට බෝම්බ පිපිරුමට ඉන්දීය මුජහදීන් සටන්කාමීන්ගේ සම්බන්ධයක් ඇති බවට ද කරුණු හෙළිවී ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ පවසයි. නවදිල්ලි මහාධිකරණය ඉදිරිපිට බෝම්බ පිපිරවීමේ වගකීම බාර ගත්තේ පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ කි‍්‍රයාත්මක හර්කාත් උල් ජිහාඞ් නමැති ඉස්ලාමීය සටන්කාමී කල්ලියයි. ඊ මේල් පණිවුඩයක් ආරක්ෂක අංශ වෙත එවමින් ඔවුහු ඒ බව කියා සිටියහ. එම ඊ මේල් පණිවුඩය ආ තැන සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වීමත් සමඟ ප‍්‍රහාරය පසුපස සිටින ඉන්දු කාශ්මීර සරසවි සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. හර්කාත් උල් ජිහාඞ් සටන්කාමීහුද ඉන්දීය මුජහදීන්වරුන් සහ පාකිස්තානයේ තලේබාන් සටන්කාමීන් සමඟ සබඳකම් පවත්වති. මේ අතර ඉකුත් සති අන්තයේ උතුරු ඉන්දියාවේ සංචාරක පුරවරයක් ලෙස ද සැලකෙන අග‍්‍රා නුවර පෞද්ගලික රෝහලක දොරටුව අසලදී ද බෝම්බයක් පුපුරා ගියේය. ජීවිත හානි කිසිවක් සිදුනොවුව ද එයින් පුද්ගලයෝ 8 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු බාර ගෙන නැති අතර පොලිසිය සැකකරන්නේ එම ප‍්‍රහාරයද හරාකත් උල් ජිහාද් ඉස්ලාමී සටන්කාමීන්ගේ සැහැසි කි‍්‍රයාවක් බවය. සුප‍්‍රසිද්ධ ටාජ් මහල පිහිටා ඇත්තේ ද අග‍්‍රා නුවරය. *************************************************************************************************************** ඇමෙරිකානු හමුදාව සහ ජනපති ඔබාමා පරිපාලනය එක් වී, අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කළේ ඉකුත් මැයි දෙවැනිදාය. බින් ලාඩන් සැඟවී සිටියේ පාකිස්තානයේ අබොට්ටාබාද් නුවරය. ඇමෙරිකාව ඔහු ඝාතනය කිරීමේ මෙහෙයුම සිදුකළේ පාකිස්තාන රජයට නොදන්වාය. එම සිදුවීමෙන් පසු ඇමෙරිකානු-පාකිස්තානු මිත‍්‍රත්වය පළුදු විය. දෙරට අතරේ පැවැති විශ්වාසය බිඳ වැටුණි. බිඳ වැටුණු එම ඇයිහොඳයිකම් යළි වර්ධනය කිරීමේ අදහසින්  ඇමෙරිකා මාණ්ඩලික ප‍්‍රධානී මයික් මූලන් සහ පාකිස්තාන හමුදාපති ජනරාල් අෂ්ෆාක් කයානී ස්පාඤ්ඤයේදී හමුවූහ. ඒ, නේටෝ ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ සමුළුව අතරතුරේදීය. බිඳ වැටුණු එම හොඳහිත යළි ගොඩ නැගීමට ඇමෙරිකා සහ පාකිස්තාන හමුදා ප‍්‍රධානීන් සාකච්ඡා කළ බවත් දෙරට අතරේ විශ්වාසය යළි ඇති කර ගැනීමට දෙදෙනාම කැමැත්ත පළ කළ බවත් වාර්තා විය. මෙම හමුව පවත්වා පැය කිහිපයක් ගතවීමටත් පෙර ඇමෙරිකාවෙන් පාකිස්තානයට යළිත් වරක් චෝදනාවක් එල්ල විය. එය සුළුපටු එකක් නොවීය. එම චෝදනාව එල්ල වූයේ මීට සති දෙකකට පමණ ඉහතදී ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට සහ නේටෝ මූලස්ථානයට පැය ගණනක් තිස්සේ එල්ල වූ තලේබාන් ප‍්‍රහාරය සම්බන්ධයෙනි. ප‍්‍රහාරය එල්ල කළ තලේබාන් සටන්කාමීන්ට පාකිස්තානයේ හකානී සටන්කාමීන්ගේද සහාය ලැබුණු බවටත් ඒ පසුපස පාකිස්තාන රජය සිටින බවටත් චෝදනා එල්ල කළේ පාකිස්තානයේ ඇමෙරිකානු තානාපති මුන්ටර්ය. පසුගිය 13 වැනිදා කාබුල් අගනුවරට කඩා වැදුණු සටන්කාමීහු එහි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයටත් නේටෝ මූලස්ථානයටත් පැය 19ක් තිස්සේ දරුණු ප‍්‍රහාරයක් එල්ල කළහ. එම ප‍්‍රහාරයෙන් 15 දෙනෙක් මියගියහ. එම ප‍්‍රහාරය සිදුකළේ තලේබාන් සංවිධානයයි. ඔවුන්ට ඒ සඳහා සහාය ලබා දී ඇත්තේ හකානී නමැති පාකිස්තානයේ කි‍්‍රයාත්මක සටන්කාමීන්ය. හකානී සටන්කාමීන් පාකිස්තාන රජය සමඟ සමීප සබඳකම් පවත්වන බව ඇමෙරිකානු බුද්ධි අංශ සනාථ කර ඇත. මේ අතර ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පිනෙටා ද පාකිස්තාන රජයට අනතුරු ඇඟවීමක් කරමින් කියා තිබෙන්නේ පාකිස්තාන පරිපාලනය සමඟ සබඳකම් පවත්වන සටන්කාමීන්ට එරෙහිව ද ප‍්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බවය.
සටහන: ලූසිත ජයමාන්න