කෝවිද ගුණසේකර

මිනිසුන් තමන් ඊර්ෂ්‍යා කරන්නවුන්ගේ දුක දැක සතුටු වන්නේ ඔවුන් එසේ කිරීමට ජීව විද්‍යාත්මකවම සකස් වී ඇති හෙයින් යැයි ඇමරිකා පර්යේෂකයෝ දෙදෙනෙක් පවසති.

ඇමරිකාවේ පි්‍රන්ස්ටන් සරසවියේ මහාචාර්ය සුසාන් ෆිස්ක් හා ඇයගේ සිසුවියක වන මිනා සිකාරා මේ කරුණ අනාවරණය කර ගැනීමට සමත්වූහ.

පුද්ගල නියැදියක් තෝරාගෙන ඇති පර්යේෂක දෙපළ එක් එක් පුද්ගලයාගේ කම්මුල් මත ඉලෙක්ට්‍රෝඩ සවිකර ඔවුනට මහලූ මිනිසෙකුගේ රූපයක්,සිසුවෙකුගේ රූපයක්, මත්කුඩු ලෝලියෙකුගේ රූපයක්, ධනවත් අයෙකුගේ රූපයක් ආදී වශයෙන් රූප පෙන්වා එම රූප දැකීමෙන් ඔවුන්ගේ මුහුණේ මාංශපේෂීන් වල සිදුවන වෙනස්කම් ඉලෙක්ට්‍රෝඩ වලින් ලැඛෙන සංඥා ආධාරයෙන් නිරීක්ෂණය කර ඇත.

එම නිරීක්ෂණයන් වලින් මහලූ මිනිසෙකුගේ රූපය දැකීමෙන් ඔවුන්ට දුක දැනවෙන බවද,සිසුවාගේ රූපය හමුවේ සැළකිය යුතු වෙනසක් සිදුනොවන බවද, මත්කුඩු ලෝලියාගේ රූපය දැකීමෙන් පිළිකුල දැනවෙන සේ මුහුණෙ මාංශ පේෂි වෙනස් වන බවද,ධනවතා දැකීමෙන් ඊර්ශ්‍යාව දැනවෙන සේ මුහුණ වෙනස් වන බවද පර්යේෂක දෙපළ හදුනාගෙන ඇත.

දෙවනුව එම රූප වල සිටිනා පුද්ගලයින්ට නොයෙකුත් අකරතැබ්බයන්ට මුහුණදීමට සිදුවී ඇතැයි පර්යේෂක දෙපළ තම පර්යේෂණයට සහභාගී කරගත් පුද්ගලයින්ට දන්වා තිබේ.මහලූ මිනිසාට කිසිවෙකු පීඩා කර ඇතැයිද, සිසුවාගේ මුදල් සොරාගෙන ඇතැයිද,මත් ලෝලියා මාර්ගයේ වතුර පිරි වලක් මතින් ගිය මෝටර් රථයකින් නිකුත් වූ වතුරින් නැහැවී ගොස් ඇතැයිද,ධනවතා බංකොලොත් වෙමින් සිටින්නේ යැයිද ඔවුන්ට පවසා ඇත.

මෙසේ දන්වා නැවත වරක් මුහුණෙ සටහන් වූ හැගීම් නිරීක්ෂණය කිරීමේදී මහලූ මිනිසාගේ හා සිසුවාගේ අකරතැබ්බ වලදී දුක දැනවෙන සේ මුහුණ වෙනස් කරගෙන ඇති ඔවුන් ධනවතාට වූ අකරතැබ්බය හමුවේ නොදැනුවත්වම ප්‍රීතිය දනවා තිබේ.

‘මේක තමයි තිබ්බ හොදම විදිය මිනිස්සුන්ගේ සැබෑ හැගීම් හදුනාගන්න.ඇයි තමන් ඊර්ශ්‍යා කරන කෙනෙක් ගැන කතා කරන්න කවුරුත් කැමති නැහැනේ.මේ ක්‍රමයෙන් ඔවුන් නොදැනුවත්වම අපට හැකිවුනා ඔවුන්ගේ සැබෑ හැගීම් වටහාගන්න‘යැයි මහාචාර්ය සුසාන් ෆිස්කේ පවසයි.

‘ධනවත් පුද්ගලයාට ඔවුන් දැනවූ හැගීම් තමයි මෙතැන වැදගත්ම දේ.මුලදී ඔහු ධනවත් වූ නිසා ඔවුන් ඊර්ශ්‍යා සහගත වුනා.පසුව ඔහු බංකොලොත් වී ඇතැයි පැවසූ විට ඔවුන් සතුට දැනවුූවා.මේ සියල්ල ඔවුන් නොදැනුවත්වම සිදුවුණේ.නිකන්ම ඇහුවානම් කියයි නෑ අපි එහෙම හිතුවේ නැහැ කියලා.නමුත් තමන්ට වඩා සාර්ථක කෙනෙක් දකින විට හා එම පුද්ගලයා වැටෙන විට හිත යටින් වෙනදේ ඕක තමයි‘ ඇය කියයි.

මිනිසුන් සමස්තයක් වශයෙන් අන් අයගේ සැපේදී සතුටු වීමට වඩා අන් අයගේ දුකේදී සතුටු වීමට ජීව විද්‍යාත්මකවම හැඩගැසී ඇතැයි ඇයගේ මතයයි.විශේෂයෙන් තමන්ට වඩා උසස් යැයි සැළකෙන පුද්ගලයින් හමුවේ මෙය වඩාත් හොදින් හදුනාගත හැකියැයි ඇය පවසයි.