මියන්මාරයේ ජනාධිපති තීන් සීන් පසුගිය වසරේ මාර්තු මාසයේදී දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවට ප‍්‍රතිඥා දීම නව දේශපාලන ගමන් මඟක් සලකුණු කිරීමක් ලෙස බොහෝ නිරීක්ෂකයෝ සඳහන් කළහ. වසර 15 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන්ග් සාන් සුකී ඉන් නිදහස්කොට දේශපාලනයට පිවිසීමට ඉඩ සැලසීමත් අනතුරුව පැවැති අතුරු මැතිවරණයකදී ඇයගේ නායකත්වයෙන් යුත් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට සහභාගිවීමට අවස්ථාවක් ලබාදීමත් සැබැවින්ම දේශපාලන කඩයිමක් සටහන් කිරීමකි. අවුන්ග් සාන් සුකී පාර්ලිමේන්තුවේ අසුන් ගෙන ඇති අතර ඇයට නිදහසේ රට තුළත් ඉන් පිටතත් සැරි සැරීමට බාධාවක් නැත. ඇයට තවම පාලන තන්ත‍්‍රයේ වගකීම් කිසිවක් හිමිවී නැති නමුත් මියන්මාරයේ සංචාරය කරන විදේශීය නායකයෝ ඇය හමුවීම ප‍්‍රමුඛ කාර්යයක් ලෙස සලකති. ඇයට දේශපාලනයේ නිරතවීමට අවස්ථාවක් ලබා දීමත්, දැඩි සීමාවන්ට යටත් කර තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳීමට අවස්ථාවක් ලබාදීමත් නිසා එරටට පනවා තිබූ සම්බාධක එකින් එක ලිහිල් කරන බවද පෙනේ. එහෙත් නව නිදහස වෙනත් ආකාරයේ ගැටුම්වලට හා අර්බුදවලට තුඩුදෙන බව පසුගියදා වූ සිද්ධීන් මාලාවකින්ම දැකිය හැක. ඉන් වඩාත් වැදගත් වන්නේ මියන්මාරයේ බටහිර ප‍්‍රදේශයේ රකින් ප‍්‍රාන්තයේ හටගෙන ඇති වාර්ගික ගැටුම්ය. නිත්‍යනුකූලව පිළිගත් වාර්ගික කණ්ඩායම් 135 කට අධික සංඛ්‍යාවක් සිටින මියන්මාරයේ වාර්ගික ගැටුම් නිතර වාර්තා වුවද රකින් ප‍්‍රදේශයේ බෞද්ධ බහුතරය හා රොහින්ගියා මුස්ලිම් ආගමික සුළුතරය අතර හටගත් ගැටුම එක අතකින් මියන්මාරයේ අලූතින් හඳුන්වා දුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ අභියෝගයකට ලක් කෙරෙන අතර වාර්ගික හා ආගමික වශයෙන් බෙදී ඇති රටක සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමේදී මුහුණදීමට ඇති සංකීර්ණ ගැටලූ අභිමුඛයට පමුණුවයි. අසල්වැසි බංග්ලාදේශයෙන් සංක‍්‍රමණය වූයේ යැයි සැලකෙන රොහින්ගියා ජන කොටස හා බෞද්ධ බහුතරය අතර ගැටුම් අලූත් දෙයක් නොවේ. මීට පෙර 1979 දී හා 1991-92 කාල සීමාවේදී ද මෙවැනිම ගැටුම් අතිවූ අතර එම අවස්ථා දෙකේදීම දහස් ගණන් මුස්ලිම් ආගමිකයෝ දේශ සීමාව හරහා බංග්ලාදේශයට සරණ පතා ගියහ. පසුගියදා හටගත් ගැටුම්වලින් පසුවද එවැනිම සංඛ්‍යාවක් රැකවරණය පතා බංග්ලා දේශයට යෑමට තැත් කළද බංග්ලාදේශ් රජය දේශ සීමාව වසා දමා එය ව්‍යර්ථ කිරීමට උත්සාහ කළේය. පසුගිය සතියේදී බංග්ලාදේශ් රජය සරණාගත කඳවුරුවල සහන කටයුතුවලින් ඉවත් වන්නැයි අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලීම් කළේද එම අරමුණෙනි. මියන්මාර රජය සඳහන් කරන ආකාරයට රකින් ප‍්‍රදේශයේ මෙම ගැටුම හුදෙක් නීති විරෝධී සංක‍්‍රමණිකයින් පිළිබඳ ප‍්‍රශ්නයකි. රොහින්ගියා ජන කොටසට මියන්මාරයේ පුරවැසිභාවයක් හිමි නොවේ. 1982 දී හමුදා රජයෙන් පැනවූ නීතියක් අනුව ඔවුන් රටක් නැති ජනකොටසකි. අනෙක් අතට බංග්ලාදේශයද මෙම ජන කොටස තම රටවැසියන් ලෙස භාර ගැනීමට සූදානම් නැත. බංග්ලාදේශය හා රොහින්ගියා ජන කොටස අතර ඇති අනන්‍යතාව වන්නේ ඔවුන් එකම ආගමක් එනම් ඉස්ලාම් භක්තිකයින් වීමය. මෙම ජන කොටස සුළුතර ජන කණ්ඩායමක් ලෙස පිළිනොගන්නා නිසා එක්සත් ජාතීන් වැනි ජාත්‍යන්තර සංවිධානද මෙම ගැටලූව සම්බන්ධයෙන් මැදිහත් වීමකට සූදානම් නැත. දැනට සරණාගත කඳවුරුවල රොහින්ගියා ජන කොටසට අයත් පුද්ගලයින් 27,000 ක් පමණ සිටින්නේ යැයි නිල වාර්තාවල සඳහන් වුවද ඔවුන්ගේ සුබ සාධන කටයුතු හෝ නැවත පදිංචි කරවීම පිළිබඳව වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට රජය සූදානම් නැත. මියන්මාරයේ උතුරු ප‍්‍රදේශයේ ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා සටන් කරන කචින් ගෝත‍්‍රික සරණාගතයින්ගේ සංඛ්‍යාව 50,000 කි. රකින් ප‍්‍රදේශයේ රොහින්ගියා හා බෞද්ධ ජනකොටස් අතර පැන නැගී ඇති මෙම ගැටුම ඇත්ත වශයෙන්ම මියන්මාරය සුළුතර ජනවාර්ගික කණ්ඩායම්වල දේශපාලන අයිතිය පිළිගන්නේද යන්න පිළිබඳ ප‍්‍රශ්නයකි. එවකට බුරුමය නමින් හැඳින්වෙන මියන්මාරයේ හමුදා පාලකයෝ විශේෂයෙන්ම සුළුතර ජන කොටස්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පිළි නොගත්හ. එහි ප‍්‍රතිඵලයක් වහයෙන් කචින් හා කරෙන් වැනි ජන කොටස් ස්වාධීන රාජ්‍ය පතා අවිගත්හ. මියන්මාරයේ බහුතරය ඇතුළු සියලූ ජන කොටස්වල මූලික අයිතිවාසිකම් කිසිත් ගරු නොකළ හමුදා පාලනය මේ ගැටුම් ශක්තිය වඩාත් තර කර ගැනීමට යොදා ගත්තේය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ව්‍යුහයකට පිවිසෙන්නේ නම් මේ තත්ත්වය වෙනස් විය යුතුය. නිවාස අඩස්සියෙන් නිදහස් වූ අවුන්ග් සාන් සුකී තායිලන්තයට ගිය විට එහි තායි මියන්මාර් දේශ සීමා ප‍්‍රදේශයේ පිහිටුවා ඇති කරෙන් සරණාගත කඳවුරුවලටද ගියාය. එම සරණාගතයින් ඇමතූ සුකී ඔවුන් බුරුම ජනතාවම වන නිසා ඔවුන්ගේ ගැටලූවලට සාධාරණ විසඳුම් සෙවීම තම යුතුකමක් බව අවධාරණය කළාය. එහෙත් ඇය රකින් ප‍්‍රදේශයේ පවතින අර්බුදය ගැන ප‍්‍රකාශයක් මෙතෙක් නොකිරීම බොහෝ දෙනාගේ විමතියට ලක්වූ කරුණකි. දශ ලක්ෂ 60 ක ජන සංඛ්‍යාවක් සිටින මියන්මාරයේ බෞද්ධයින්ගේ ප‍්‍රතිශතය සියයට 89 කි. ඉතිරි සියලූ දෙනා වාර්ගික කණ්ඩායම් 135 කට බෙදී යයි. වැදගත් වන්නේ මෙම සංඛ්‍යාව නොව ඔවුන්ට සෙසු ජන කොටස් සමග සමානාත්මතාවෙන් හා අන්‍යෙන්‍ය ගරුත්වයකින් ජීවත් වීමට අවකාශයක් පවතින්නේද යන්නයි. දැඩි මර්දනකාරී හමුදා පාලනයක් යටතේ කිසිම ජන කොටසක සාධාරණ අයිතිවාසිකම්වලට ගරු කිරීමක් නොතිබූ බව සත්‍යයකි. එහෙත් සැබැවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් කරා යොමු වන්නේ නම් මෙවැනි සුළුතර ජන කොටස්වල සාමූහික අයිතිය මෙන්ම පුද්ගල නිදහස හා සමානාත්මතාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. එය නොසලකන්නේ නම් වෙනත් වඩාත් හානිකර ප‍්‍රවණතාවක් වර්ධනය වීම වැළැක්විය නොහැක. දැනටමත් බංග්ලාදේශයේ ඉස්ලාමීය ජමාත්-ඊ-ඉස්ලාම් වැනි අන්තවාදී කණ්ඩායම් රොහින්ගියා ප‍්‍රශ්නය සිය දේශපාලන න්‍යාය පත‍්‍රයට අනුකූලව හැඩ ගසා ගැනීමට උත්සාහ ගනී. ඊට අමතරව අල් කයිඩා වැනි සටන් කණ්ඩායම්ද රකින් ප‍්‍රදේශයේ ගැටුම ජාත්‍යන්තර ඉස්ලාමීය අරගලයේ කොටසක් කර ගැනීමටත් එම තරුණයින් මේ අන්තවාදී වැඩ කටයුතුවලට සම්බන්ධ කර ගැනීමටත් අර අඳින බවද වාර්තාවේ. එම නිසා රකින් ප‍්‍රදේශයේ රොහින්ගියා අර්බුදය මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා නිදහස සුරක්ෂිත කිරීමේ අරගලයේම කොටසක් බව පැහැදිලිය. අවුන්ග් සාන් සුකී වැනි ජාත්‍යන්තර කීර්තියට පත් චරිතවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් භුක්ති විඳීමේ අයිතියක් ලබාදී ඇති නමුත් නිල අඳුම් ගලවා දමා රාජ්‍ය පාලනයේ යෙදෙන හමුදා නායකත්වය තවමත් තම ග‍්‍රහණය සම්පූර්ණයෙන් අත්හැර දමා නැත. ඊට නිදසුනක් වන්නේ පසුගිය සතියේදී මියන්මාරයේ පළ වන ප‍්‍රධාන ප‍්‍රකාශන දෙකක් වන ද වොයිස් වීක්ලි හා එන්වොයි යන ප‍්‍රකාශන දෙක අත්හිටුවීමට රජය ගත් තීරණයයි. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ වාරණයක් ක‍්‍රියාත්මක නොවන නමුත් එම ප‍්‍රකාශන දෙක තම පිටපත් මුද්‍රණයෙන් පිට කිරීමට පෙර බලධාරීන්ට ඉදිරිපත් කිරීමට  අපොහොසත් වීමය. ඊට එරෙහිව ජනමාධ්‍ය කරුවන් හා ජනතාව වීදි බැස පෙළපාලි පැවැත්වීමට එළඹීම අලූත් වාතාවරණය පිළිබඳ නිදසුනක් වුවද එය තවමත් අනතුරුදායක තත්ත්වයක් පවතින බවට ඉඟියකි. කෙසේ වුවත් පසුව එම ප‍්‍රකාශ දෙකේ තහනම ඉවත් කිරීමට රජයට සිදුවිය. අනෙක් කාරණය වන්නේ ආර්ථිකය විදේශීය ආයෝජනයට විවෘත කිරීමත් සමග ඇති විය හැකි ගැටලූය. ස්වභාවික සම්පත්වලින් පොහොසත් මියන්මාරය මෙතෙක් විවෘත වූයේ චීන ආයෝජනවලට පමණි. බටහිර රටවල් පනවා තිබූ සම්බාධක නිසා එම සමාගම්වලට මියන්මාරයේ ආයෝජනය කිරීමට අවස්ථාවක් ලැබුණේද නැත. එහෙත් දැන් විදේශීය ආයෝජන විශේෂයෙන්ම චීනය තම ප‍්‍රතිවාදියා ලෙස දකින එක්සත් ජනපදය තම සමාගම්වලට මියන්මාරයේ ආයෝජනය කිරීම දිරිගන්වයි. මෙම ආයෝජකයින්ට මියන්මාර රජයෙන් පැනවෙන කොන්දේසිය වන්නේ ආරම්භයේදී ශ‍්‍රමිකයින්ගෙන් සියයට 25 ක් රටේ වැසියන් සේවයට යොදා ගැනීම හා එය අනුක‍්‍රමයෙන් සියයට 75 දක්වා වැඩි කිරීමය. චීන ව්‍යාපෘති වල ශ‍්‍රමිකයින් වූයේ චීන ජාතිකයින්ය. විදේශීය ආයෝජකයින්ට ඉඩ සැලසීමට මියන්මාර රජය ගෙන ඇති තවත් පියවරක් වන්නේ එහි මුදල් ඒකකය වන කියාට් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පාවීමට ඉඩසැලසීමය. ආරම්භයේදී කියාට් 6 කට ඩොලර් එක යන අනුපාතය පැවතියද දින කීපයක් ඇතුළත එම අනුපාතය කියාට් 800 ට ඩොලර් 1 දක්වා පහත වැටිණ. එහි ප‍්‍රතිඵලය වන්නේ මියන්මාරය තුළ උද්ධමනය ශීඝ‍්‍රයෙන් ඉහළ යෑමය. මුළු ජන සංඛ්‍යාවෙන් අඩකට වඩා දරිද්‍රතා රේඛවෙන් පහත සිටින මියන්මාරය මෙම උද්ධමනකාරී තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්න තීරණාත්මක සාධකයක් විය හැකිය. අවුන්ග් සාන් සුකී සිය තායිලන්ත හා යුරෝපා සංචාරයේදී අවධාරණය කළ ආකාරයට සම්පත් සූරාකෑමට හා වෙළෙඳපොළ ජය ගැනීමට පැමිණෙන ආයෝජකයින්ගෙන් මියන්මාරයේ ජන කොටස්වල මූලික අයිතිවාසිකම් තහවුරු වන්නේ යැයි අපේක්ෂා කළ නොහැකිය. දීර්ඝ කාලයක් තිස්සේ හමුදාවේ මර්දනකාරී පාලනයෙන් පීඩා විඳි ජනතාවට ශ‍්‍රමය අඩු මිලකට විකිණීමෙන් හා රටේ සම්පත් බහුජාතික සමාගම්වල ලාබය සඳහා කැප කිරීමෙන් වැඩි සෙතක් සැලසෙන්නේ නැත. එවිට විය හැකි වන්නේ රකින් ප‍්‍රදේශයේ මෙන් වාර්ගික ආගමික ගැටුම් උත්සන්න වීමෙන් ජන ජීවිතය වඩාත් අනාරක්ෂිත වීමය.
සටහන - මහින්ද හත්තක
මියන්මාරයේ වාර්ගික ගැටුම්වලට එරෙහි විරෝධතා මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් (දකුණේ) අසල්වැසි තායිලන්තයේ සංචාරයක යෙදෙමින් අවුන්ග් සාන් සූ කී