උතුරු කොරියානුවන් ප‍්‍රකෝප කිරීමට සමත් වූ, ‘ෆොල් ඊගල්’ නමැති යුද අභ්‍යාසය අත්හැර දැමීමට තමන් තීරණය කළේ යැයි ඇමෙරිකාවත් දකුණු කොරියාවත් ඊයේ (30) නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ සමඟ කොරියානු අර්ධ ද්වීපයේ හටගත් යුද උණුසුම ද පහවන ලකුණු පෙන්නුම් කළ බව දේශපාලන විචාරකයෝ පැවැසූහ. යුද අභ්‍යාසය පැවැත්වීමට සූදානම් වූයේ කොරියා අර්ධද්වීපයට අයත් චීන මුහුදේය.
උතුරු කොරියාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එය තෙවැනි ලෝක යුද්ධය තෙක්, එසේත් නැතිනම් න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යාවි යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් පවා බිය පළ කර තිබුණි.
ඇමෙරිකාවටත් දකුණු කොරියාවටත් පහර දෙන බවට උතුරු කොරියා රජය සහ එහි ලාබාල නායක කිම් ජොං උන් අනතුරු ඇඟවූයේ ඉකුත් මාර්තු මස 30 වැනිදා ය.