උණුසුම් වායු බැලුනයකින් පොළොව යටට ගොස් ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉවාන් ට්‍රිෆනොව් නමැති 70 හැවිරිදි පුද්ගලයකු සමත්ව සිටියි. ඔහු ක්‍රොඒෂියාවේ මැමට් කේව් නමැති ගැඹුරු කුහරයකට වායු බැලූනය ආධාරයෙන් ගමන්කැර ඇත. මේ ආගාධය අඩි 675ක් ගැඹුරුය. අඩි 200ක් පළලැති ආගාධ කටින් ඇතුළු වී කුහරය තුළට යාමට ඔහුට ගතවූ කාලය මිනිත්තු 25කි.

මෙය ඔහුගේ පස්වැනි ලෝක වාර්තාවයි. මීට පෙර උත්තරධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය, මධ්‍යධරණී මුහුද හරහා බැලූනයකින් පියාසර කරමින් හා මුහුදක සැතපුම් 12ක් පාවී ගොස් ඔහු ලෝක වාර්තා තබා ඇත.

චාරිකාව සඳහා ට්‍රිෆනොව් විශේෂිත බැලූනයක් භාවිතා කළේය. එය සාමාන්‍ය වායු බැලූනයකට බොහෝ සෙයින් සමාන වුවත් එහි කූඩය වෙනුවට ඇත්තේ යකඩ බට දෙකකින් සාදන ලද ගෑස් සිලින්ඩර් දෙකක් සහිත සැකැස්මකි.

මේ සඳහා ඔහුට අනුග්‍රහය දැක්වූ ක්‍රොඒෂියානු ජාතික සංචාරක මණ්ඩලය පවසන්නේ මෙය ඉතා දුෂ්කර ක්‍රියාවක් බවයි. එයට සුදුසු බැලූනයක්, සුදුසු කාලගුණික තත්ත්වයක්, අවශ්‍යතරම් අනුග්‍රහයක් තිබිය යුතුය යන්න සංචාරක මණ්ඩලය කියයි.