”මහත්මා ගාන්ධි යළි ඉපදිලා”. ඒ මේ දිනවල විදුලි වේගයෙන් ඉන්දියාව පුරා පැතිරෙන කතාවයි. වන්දනා ගමනක් යන අයුරින් මල් රැගෙන බස්, වෑන් හෝ ලොරි වැනි වාහන සංවිධානය කරගෙන ජනතාව දහස් ගණනින් නවදිල්ලිය බලා පැමිණෙති. ඒ නූතන ගාන්ධි දැකීමටය. වන්දනා කිරීමටය, සහාය පළ කිරීමටය. නූතන ගාන්ධි මේ මොහොතේ වැතිර සිටින්නේ නවදිල්ලියේ රම්ලිලා ක‍්‍රීඩා පිටියේ ඉදිකළ වේදිකාවක් මතයි. 2011 අගෝස්තු 16 දින ඇරඹූ උපවාසය අඛණ්ඩව ඉදිරියට යයි. අගමැති ඇතුළු ආණ්ඩුවේ සියලූම නායකයින්ට එරෙහිව කි‍්‍රයාත්මක කළ හැකි පරිදි යෝජිත දුෂණ විරෝධී පනත සංශෝධනය කළ යුතු බව ඔහුගේ ඉල්ලීමයි. ඔහුගේ කුඩා වේදිකාව අතිශයින්ම කාර්ය බහුලය. වරෙක ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සන වෛද්‍ය කණ්ඩායම වේදිකාව මතය. තවත් අවස්ථාවක බොලිවුඞ් නළු නිළියන්ය. නැතහොත් ලෝක පූජිත ක‍්‍රීඩකයින්ය. ජන භක්තිය දිනූ බමුණන්ය. කෝටිපති ධන කුවේරයන්ය. වේදිකාව වටා කැමරා අටවාගත් මාධ්‍යවේදීන්ය. මේ සියල්ල වටා මලින් කඳුළින් පමණක් නොව ජීවිතයෙන් ද ඔහු පුදන්නට සූදානම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවයි. තරුණියෝ කඳුළු වගුරති. තරුණයෝ තම ජීවිත ඔහුට පුදන බවට මුර ගාති. පාසල් දරුවෝ ඔහු ගත් මග ගන්නා බවට සපථ කරමින් හිස් පටි පලඳිති. දින කිහිපයක් තුළ ඉන්දියාව වෙනස්වී ඇත. නූතන ”ගාන්ධි” ද ඉන්දියාවේ ඔටුනු නොපලන් රජු බවට දැන් පත් වී ඇත. නූතන ගාන්ධි නමින් කිශාන් බාබුරා ඕ හසරේය. නමුත් ලොවම දන්නේ අන්නා හසරේ නමිනි. වයසින් 74 හැවිරිදිය. වෘත්තියෙන් හමුදා සෙබළෙකි. හමුදා ජීවිතයේ දී මරණය සමග කරන ලද හරඹ කිහිපයකින් පසු 1975 දී හේ පූර්ණකාලීන සමාජ සේවකයකු වීමට තීරණ කළේය. ඔහුගේ නායකත්වයෙන් මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ බිහි කළ ”රලේගන් සිද්ධි” ආදර්ශ ගම්මානය හේතුවෙන් ඔහු 1990 දී පද්ම ශ්‍රී සම්මානයෙන් ද 1992 දී පද්ම භූෂණ සම්මානයෙන් ද පුදන ලදී.1991 දී දුෂණ විරෝධී ජනතා ව්‍යාපාරය බිහි කිරීම හසරේගේ ඉරණම වෙනස් කළ සිදුවීමක් විය. ප‍්‍රාදේශීය වශයෙන් රජයේ නිලධාරීන් සිදු කරන දුෂණ සඳහා දඬුවම් කරන මෙන් බල කිරීමෙන් ඇරඹුණු මෙම ව්‍යාපාරය පසුගිය විසි වසර තුළ ඉන්දියාව සිසාරා වැඞී ඇත. 1997 දී මහාරාෂ්ට‍්‍ර සමාජ සේවා ඇමති බබන්රා ඕ ගොලැප් දුෂිතයකු ලෙස චෝදනා කිරීම හේතුවෙන් හසරේට සිර දඬුවම් විඳීමට සිදුවිය. නමුත් ජනතා උද්ඝෝෂණ හමුවේ ඔහුව නිදහස් කිරීමට ආණ්ඩුවට සිදුවිය. 2003.08.09 දින හසරේ සිය දුෂණ විරෝධී කුළුඳුල් උපවාසය ඇරඹුවේ මහරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ ඇමැතිවරුන් හතර දෙනකුට එරෙහිව පරීක්ෂණ පවත්වන මෙන් බල කරමිනි. අගෝස්තු 17 දින ඔහු සිය උපවාසය ජයග‍්‍රාහීව අවසන් කළේ මහ ඇමතිවරයා විසින් එකී දුෂණ චෝදනා විමසීමට කොමිසමක් පත් කිරීමෙන් පසුය. එලෙසම තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පනතක් සම්මත කර ගැනීමට ද හසරේට හැකිවිය. පසුගිය අපේ‍්‍රල් 5 වැනි දින දැඩි දුෂණ විරෝධී නීති පනවන මෙන් ඉල්ලමින් ඔහු උපවාසයක් ඇරඹීය. ඔහුගේ ඉල්ලීම වූයේ සියලූම ආණ්ඩුවේ නිලධාරීන්ට එරෙහිව චෝදනා විමර්ශනය කළ හැකි මහජන දුක්ගන්නාරාල කෙනෙකු පත් කරන පනතක් ගෙනෙන ලෙසයි. එය හින්දි බසින් හැඳින්වූයේ ”ජන් ලෝක්පාල් පනත” ලෙසිනි. උපවාසයත් සමගම රට පුරා එකී උපවාසයට සහාය පළ කෙරෙන උද්ඝෝෂණ ඇරඹිණි. පැය 36ක් ඇතුළත ලක්ෂ 65ක් දෙනා උපවාසයට සහාය පළ කරන පෙත්සමකට ෆේස්බුක් හරහා අත්සන් තැබූහ. ආණ්ඩුව අන්නාගේ පීඩනයට යටත් වී 2011.08.15 දිනට පෙර එවැනි පනතක් ගෙන ඒමට පොරොන්දු වීමෙන් අපේ‍්‍රල් 9 දින උපවාසය නැවතිණි. නමුත් ආණ්ඩුව ගෙනා දුෂණ විරෝධී පනත් කෙටුම්පත හාල්මැස්සන් පමණක් හසුවෙන තෝරුන් සහ මෝරුන්ට කපාගෙන යා හැකි දැලකි. එකී පනතින් දුෂණ පිළිබඳ දුක්ගන්නාරාලගේ විෂය පථයෙන් අගමැති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහාධිකරණයේ විනිසුරුවන් බැහැර කර තිබිණි. එය එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී ප‍්‍රඥප්තියේ ප‍්‍රතිපාදනයන්ට පටහැනි බව හසරේ ඇතුළු සමාජ කි‍්‍රයාකාරීන්ගේ මතයයි. ආණ්ඩුවේ ප‍්‍රබලයන්ට ද කි‍්‍රයාත්මක කළ හැකි පරිදි පනත් කෙටුම්පත සංශෝධනය කරන මෙන් ඉල්ලමින් ඔහු අගෝස්තු 16 දින මාරාන්තික උපවාසයක් අරඹන බැව් ප‍්‍රකාශ කළේය. එම උපවාසයට ඉන්දියාව පුරාම සහාය පළ විය. ඒ සමගම ඔහුගේ උපවාසයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඔහුව පොලිසිය අත්අඩංගුවට ගැනිණි. නමුත් එයට එරෙහිව රට පුරා පැන නැගුණු උද්ඝෝෂණ හේතුවෙන් දින හතරක් ඇතුළත ඔහුව නිදහස් කිරීමට ආණ්ඩුවට සිදුවිය. ඔහු සිර ගෙදර කළ උපවාසය දැන් නවදිල්ලියේ රම්ලිලා ක‍්‍රීඩාපිටියේ පැවැත්වේ. එය ගාන්ධි යුගයෙන් පසු ඉන්දියාව වෙනස් කරන උපවාසය බවට පත් වෙමින් තිබේ. අගෝස්තු 25 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කළ අගමැති මන් මෝහන් සිං මහතා හසරේ කණ්ඩායම ඇතුළු විවිධ සමාජ කණ්ඩායම් ඉදිරිපත් කර ඇති ”ජන් ලෝක්පාල්” පනත් කෙටුම්පත සාකච්ඡවට බඳුන් කිරීමට සූදානම් බවත් එහෙයින් වහාම උපවාසය නවතන මෙන් ඉල්ලීය. සියලූම දේශපාලන භේද පසෙක තබා සමස්ත පාර්ලිමේන්තුවම උපවාසය අවසන් කරන මෙන් ආයාචනාවක් ඒකමතිකව සම්මත කළහ. 25 වැනි දින රාති‍්‍රයේ රූපවාහිනිය ඉදිරියට පැමිණියේ කීර්තිමත් හිටපු අගවිනිසුරු ජේ.එස්. වර්මාය. ඔහු උපවාසය නවතන මෙන් අන්නා හසරේට ආයාචනා කරන ලද්දේ 1947 දී නේරු විසින් මහත්මා ගාන්ධිට කළ ආයාචනය සිහිපත් කරමිනි. ”ඔබට මිය ගොස් කළ හැකි දේට වඩා ජීවත් වී කළ හැකි දේ බොහෝය” එම ආයාචනයෙන් කියැවිණි. ගතින් බොහෝ දුබල වුවත් හසරේ සිතින් තවම සවිමත්ය. මේ සියලූ ආයාචනා හමුවේ ඔහු පවසන්නේ සරල යථාර්ථයකි. ”මම මරණයට බය නෑ. ඒත් බොරු පොරොන්දුවලට බයයි. ඒ නිසා පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන තුරු මම උපවාසය නවතන්නේ නෑ”. මා මේ ලිපිය අවසන් කරමින් සිටින්නේ 26 වැනි දින උදෑසනයි. කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් කඳුළු ගංගාවක් ගිල්වමින් උපවාසය ඉදිරියට යමින් පවතියි. ඉන්දියාව නමැති දැවැන්ත යන්ත‍්‍රය අද නැවතී ඇත. සියල්ලගේම නෙත් යොමු වී ඇත්තේ රම්ලිලා ක‍්‍රීඩාපිටිය වෙතයි. කි‍්‍රකට් ක‍්‍රීඩකයින්ට හෝ බොලිවුඞ් තාරකාවන්ට දිනාගත නොහැකි වූ අවධානයක් මේ වියපත් මහල්ලා දිනාගෙන ඇත. බොහෝ විට පාර්ලිමේන්තු පනත සම්මත කිරීමෙන් මෙම උපවාසය අවසන් වීමට පුළුවන. සමහර විට හසරේ සිහිසුන් වූ පසු රෝහල් ගත කිරීම මෙන්ම හසරේගේ දිවි පිදීම ද සිදුවිය හැක. අවසානය කුමක් වුවත් හසරේ සිංහයකු වී ඉන්දියානු ආණ්ඩුව එම සිංහයාගේ ලේ උරා බොන කුඩා මැක්කකු බවට නම් පත් වී ඇත. මෙම උපවාසය ලෝකයට පාඩම් දෙකක් කියා දෙයි. පළමු පාඩම වන්නේ අහිංසාවාදය පසුගිය සියවසේ මෙන්ම අදටත් වලංගු බවයි. වසර මුල අරාබියේ අවි දරා ලේ හලා සිදුවුණු විප්ලවය ඉන්දියාව තුළ ඉතාම අවිහිංසකව සිදු වී ඇත. දෙවැනි පාඩම වන්නේ ආණ්ඩු විරෝධී සටනක් සඳහා සවිමත් විපක්ෂයක අවශ්‍යතාව අතීතයට අයිති කරුණක් බවයි. ෆේස් බුක්, ටිවිටර් සහ මයි ස්පේස් වැනි අන්තර්ජාලයේ සමාජ ජාල හරහා කුඩා කණ්ඩායමකටද ආණ්ඩු විරෝධී සටනක් සාර්ථකව මෙහෙයවීමට පුළුවන. වසර මුල අරාබිය සිසාරා හමා ගිය ආණ්ඩු පෙරළන ජන රැල්ලේ ද සැඟවුණු බලය වුණේ මෙම සමාජ ජාලයි. එබැවින් පාලකයන්ට ආණ්ඩු විරෝධී සටන් දෙස අලූත් ඇසකින් බැලීමට මරණ මංචකයේ සිටිමින් අන්නා හසරේ බල කර තිබේ.