සිරියාවේ ඩැමස්කස් නුවර සමීපයේ විසවායුව සහිත බෝම්බ හෙළා කුඩා දරුවන් සහ කාන්තාවන් ඇතුළු දහස්ගනනක් මරාදැමීම ගැන සිරියා පාලකයින්හට චෝදනා නඟන ඇමෙරිකාව කොයි මොහොතක හෝ සිරියා හමුදා වෙත ප්‍රහාර එල්ලකිරීමේ උත්සාහයක නිරතව සිටී.

සමහරවිට මෙම වාර්තාව පළවන අවස්ථාව වනවිටත් ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා සිරියා රජයට එරෙහි හමුදා මෙහෙයුම් ආරම්භකර තිබෙන්නටත් බැරි නැත.

අද සිරියාවේ විස බෝම්බ ප්‍රහාර හෙළා දකින ඇමෙරිකාව මීට ටික කාලයකට කලින් ඉරාකයේ බලසම්පන්න පාලකයාව සිටි එවකට ඇමෙරිකාවේ අඹ යහළුවකුවූ සදාම් හුසේන් ඉරානයට එරෙහිව ඇරැඹු යුද්ධයේ තීරණාත්මක අවස්ථාවකදී රසායනික විස බෝම්බ ප්‍රහාරයන් එල්ලකිරීම සඳහා උඩගෙඩි දුන් බව ඇමෙරිකාවේ පළ කැරෙන " ‘ෆොරින් පොලිසි" සඟරාව කියා සිටී. 

එම වාර්තාව පෙන්වාදී ඇත්තේ 1980-1988 දී ඉරානයට එරෙහිව සදාම් හුසේන් යොදාගත් රසායනික විස බෝම්බ අද සිරියානු හමුදාවන් සතු විෂ බෝම්බ වලට වඩා දහස් ගුණයකින් බලසම්පන්න බවයි.

1988 ඇවිළිගිය ඉරාන ඉරාක යුද්ධයේදී ඇමෙරිකාව සිටියේ සදාම් හුසේන්ගේ පැත්තේය. යුද්ධය තීරණාත්මක අවස්ථාවකට පත්වසිටි අවස්ථාවක ඇමෙරිකා රහස් ඔත්තුසේවා චන්ද්‍රිකා මඟින් ලබාගත් තොරතුරු නිරීක්ෂණය කිරීමේදී ඉරාණ හමුදාවන් උපායශීලීව විශාල ඉරාක හමුදා කණ්ඩායමක් කොටුකරගැනීමට ගන්නාලද උත්සාහයක් සොයාගැනීමට සමත්වී ඇත.

ක්ෂණයකින් ඇමෙරිකා රහස් ඔත්තු සේවාව මෙම තොරතුරු ඉරාක හමුදානායකයින්හට ලබා දුන්නේ ඉරාක හමුදාවන්ට එම උගුලෙන් ගැලවිය හැකි එකම මාර්ගය විස බෝම්බ පාවිච්චි කිරීම බව හොඳින්ම දැන දැනම බව එම සඟරාව ඉස්මතුකර දක්වා ඇත.

ඇමෙරිකා රහස් ඔත්තුසේවා ඉරාක හමුදා නායකයින්වෙත සපයනලද සවිස්තරාත්මක තොරතුරුවලට ඉරාන ගුවන් හමුදා ක්‍රියාකාරකම්, පාබල හමුදා, යුධ ටැංකි සහ කාලතුවක්කු ඇති ස්ථාන,පණිවුඩ හුවමාරු මෙන්ම ගුවන් ඡායාරුප සහ සිතියම් ඇතුලත්විය.

මෙම තොරතුරු ලැබුණු විගසින් ඒවායේ දැක්වෙන සියලුම ඉරාණ හමුදා ස්ථාන වලට රසායනික විස බෝම්බ දැමීමට සදාම් හුසේන් අනුමැතිය දුන්නේය. ඇමෙරිකාව දැනසිටි, ඇමෙරිකා ඔත්තු භාවිතාකර ක්‍රියාත්මක කරන ලද  ඉරාක රසායනික විෂ බෝම්බ ප්‍රහාර නිසා ඉරාන හමුදා භටයෝ 20,000 කට වැඩි සංඛාවක් ජීවිතක්ෂයට පත්වුහ.

එම සිද්ධියෙන් පසු නම්බුව රැකගෙන සාකච්ඡා මාර්ගයකින් මෙම ගැටලුව විසඳාගැනීම සඳහා කැමත්ත දීමට ඉරාණ රජයට සිදුවිය. 

ඇමෙරිකා රහස් ඔත්තු සේවය 1983 සිට සදාම් හුසේන්ගේ හමුදාවන් රසායනික විෂ බෝම්බ භාවිතා කරන ලද බව දැනගෙන සිට ඇති බවද එම වාර්තාවේ සඳහන්වෙයි. මේ පිළිබඳව ඉරාන රජය එක්සත් ජාතීන්ගේ මහ සමුළුව වෙතද තොරතුරු ඉදිරිපත් කිරීමට උත්සාහ ගෙන ඇත.