2001 සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල කළ ප‍්‍රහාරවලින් මියගිය අය සිහිපත් කිරීම එක්සත් ජනපදයේ හැම විටම ගැඹුරු සංවේදීය සිද්ධියකි. ඇමරිකානු ඉතිහාසයේ එවන් ප‍්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව වීමත් තුන්දහසකට අධික පිරිසක් එක වරම මරණයට පත්වීමත් සෑම වසරකම සිහිපත් කෙළේ එක්සත් ජනපදයේ සුපිරි බලශක්තියට ඉන් කිසිදු හානියක් සිදු නොවූ බව ද සනිටුහන් කරමි. මෙවරද නිව්යෝර්ක් නරගයේ එම මොහොත සිහිපත් කළේ ත‍්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනේ ජයග‍්‍රහණ නැවත මෙනෙහි කරමිනි. එහෙත් මේ වසරේ 9/11 සටහන් වූයේ තවත් ඛේදවාචකයකිනි. ඒ ලිබියාවේ ඇමරිකානු කොන්සියුලර් කාර්යාලයට එල්ල කළ ප‍්‍රහාරයකින් තානාපතිවරයා ඇතුළු තවත් තානාපති නිලධාරීන් තිදෙනකු මරණයට පත්වීමයි. ඊජිප්තුවේ කයිරෝ නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලය දින හතරක් තිස්සේ විරෝධතාකරුවන් විසින් වටලා ගෙන තිබිණි. සතිය අවසන් වනවිට අප‍්‍රිකාව, අරාබිය හා ආසියාවේ සියලූ මුස්ලිම් රටවල ඇමරිකානු තානාපති කාර්යාල විරෝධතාකරුවන්ගේ ඉලක්ක විය. සුඩානයේ මෙම විරෝධය එල්ල වූයේ කාටුම් නගරයේ පිහිටි ජර්මන් තානාපති කාර්යාලයට ය. සතිය අවසන් වනවිට ලොව පුරා පැතිරි විරෝධතා හා උද්ඝෝෂණ නිසා නව දෙනකු මියගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය 9/11 දින සිදු වුව ද ඊට මුල් වූයේ එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සිනමාකරුවකු හෝ අධ්‍යක්‍ෂවරයකු ලෙස කිසිම හැඳින්වීමක් නැති පුද්ගලයකු මොහොමද් තුමාට නින්දා අපහාස වන ආකාරයෙන් විනාඩි 14ක වීඩියෝ පටියක් නිෂ්පාදනය කර එය යූ ටියුබ් හරහා ලොව පුරා බෙදාහැරීම නිසාය. මෙම වීඩියෝ පටය යූ ටියුබ් අඩවියට ඇතුළු කොට මාස ගණනක් තිබුණත් කිසිවෙක් ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැත. සමහර නිරීක්ෂකයන් පවසන ආකාරයට ඩොලර් සියයකටත් වඩා අඩු නිෂ්පාදන වැයක් සහිත එම වීඩියෝ පටය ගණන් ගතයුතු දෙයක් වූයේ ද නැත. එහි අන්තර්ගතය පැහැදිලිවම මුස්ලිම් විරෝධී ස්වරූපයක් ගත් නමුත් එය බොහෝ දෙනකු අතර කතාබහට ලක්වූයේ නැත. එහෙත් 9/11 දින පළමුවෙන්ම කයිරෝ නගරයේත් ඉන් පසුව ලිබියාවේ තවමත් උණුසුම් ප‍්‍රදේශයක් වන බෙන්ගාසි හිත් සුළු පිරිසක් වුවත් හොඳින් සංවිධානය වූ දෙතුන් සිය ගණනක කණ්ඩායමක් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට පෙළඹුනේ මෙම වීඩියෝ පටය නිසාය. එම විරෝධය එක්සත් ජනපද තානාපති කාර්යාලවලට එල්ලවූයේ වීඩියෝ පටය එක්සත් ජනපදයේ නිෂ්පාදනය කොට යූ ටියුබ් නාලිකාවට ඇතුළු කිරීම නිසාය. ඒ අනුව මෙම විරෝධතා ව්‍යාපාරය 9/11 හා සම්බන්ධයක් නැත. කුරානයටත් මොහොමද් තුමාටත් අපහාස කිරීම මුස්ලිම් ලෝකය හැම විටම ගිනියම් කළ සාධකයක් වූ බව සැබවි. ප‍්‍රකට නවකතාකරුවකු වූ සල්මන් රුෂ්ඩිට මරණ දඬුවම් ලබාදිය යුතු යැයි ෂාරෙවා නියෝගයක් නිකුත් කළේ ඉස්ලාමීය ආගම හෑල්ලූවට ලක් කරන්නේ යැයි කියන ”සැටනික් වර්සස්” නම් කෘතියක් ප‍්‍රකාශයට පත්කිරීම නිසාය. ඉන්පසු මොහොමද් තුමා හාස්‍යයට ලක් කරන කාටුන් චිත‍්‍රයක් ලන්දේසි පුවත්පතක පළවීම එම පුවත්පතටත් චිත‍්‍ර ශිල්පියාටත් එරෙහිව ෂාරෙවා නියෝගයක් නිකුත් කිරීමට හේතු විය.  දින ගණනක් ලොව පුරා මුස්ලිම් නගරවල උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්විණි. ඉන්පසු 9/11 හි නව වැනි සංවත්සරයේ දී එක්සත් ජනපදයේ ප්ලොරිඩා ප‍්‍රාන්තයේ ක‍්‍රිස්තියානි පූජකවරයෙක් කුරානය ගිනිබත් කිරීමට සූදානම් වීම තවත් උද්ඝෝෂණ වටයක ආරම්භයක් විය. එවැනි සිද්ධියකින් සිදුවිය හැකි බරතළ තත්ත්වය තේරුම් ගත් එක්සත් ජනපද රාජ්‍යය එය වැළැක්වීමට පියවර ගත්තේය. ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ ඇමරිකානු කඳවුරක සොල්දාදුවෙකු කුරාණ පොතක් ගිනිබත් කරන බවට ආරංචියක් පැතිර යෑම දහස් ගණන් ජනතාව වීදි බැසීමට හේතු විය. මේ හැම අවස්ථාවකම පොදුවේ බටහිර රටවල් විශේෂයෙන් එක්සත් ජනපදය මුස්ලිම් ආගමික විරෝධතාකරුවන්ගේ ඉලක්කය විය. ඉන් හැඟවුන වැදගත් කරුණක් වූයේ බටහිර ලෝකය පොදුවේ ඉස්ලාම් විරෝධී ස්ථාවරයක සිටින්නේය යන්නයි. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ යුද්ධ ත‍්‍රස්තවාදයට සහාය දෙන ඒකාධිපති පාලකයන්ට එරෙහි යුද්ධයකට වඩා මුස්ලිම් ආගමිකයින්ට එරෙහි යුද්ධයකි යන මතය මුස්ලිම් ලෝකයේ ගැඹුරින් සටහන්ව ඇති බවක් පෙනිණි. කුරිරු පාලකයන්ගෙන් අහිංසක ජනතාව මුදාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපනය කිරීමට එක්සත් ජනපදය ප‍්‍රමුඛ රටවල් සටන් කරන හැම තැනම ගැඹුරු ඇමරිකන් විරෝධයක් පවතින බව නොයෙකුත් ජනමත විමසුම්වලින් නැවත නැවතත් තහවුරු විය. මේනිසා පසුගිය සතියේ හටගෙන මේ සතියේත් පවතින එක්සත් ජනපද විරෝධී ව්‍යාපාරයේ ස්වරූපය කුමක්ද යන්න ගැන එක්සත් ජනපද පාලකයින් අතරම විවිධ මත පවතින බව පෙනේ. එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති නිලධාරිනි සුසාන් රයිස් පවසන ආකාරයට මෙම විරෝධතාවලට හේතු වන්නේ වීඩියෝ පටය නිසා මුස්ලිම් භක්තිකයන් තුළ ඇතිවූ කෝපයයි. එය සැලසුම් සහගත ක‍්‍රියාවක් නොවේ. එක්සත් ජනපදයේ පවතින ප‍්‍රකාශන නිදහස අයුතු ලෙස යොදා ගැනීමෙන් ඇතිවූ අනිටු පලයකි. එක්සත් ජනපදය ආරක්ෂක ලේකම් ලියෝන් පැනේටා සඳහන් කරන ආකාරයට මෙම විරෝධය දින කීපයකින් නිවී යා හැකි නමුත් ඉන් ඇතිවූ කෝපය ඊට වඩා වැඩි කාලයක් පවතිනු ඇත. ඇමරිකානු තානාපති ක‍්‍රිස්ටෝපර් ස්ටීවන්ස් ඝාතනයට ලක්වූ ලිබියාවේ රාජ්‍ය නායක මොහොමඞ් මගාරිෆ් මෙය අන්තවාදී සුළු පිරිසකගේ සාහසික ක‍්‍රියාවක් ලෙස හැඳින් වූයේය. ගඩාෆි වැනි අත්තනෝමතික පාලකයකුගේ ග‍්‍රහණයෙන් රට මුදවා ගැනීමට එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර රටවලින් ලැබුණ ආධාරය ලිබියානු ජනතාව අගය කරති. මුස්ලිම් සහෝදරත්වයේ පාලනය පවතින ඊජිප්තුවේ ද කයිරෝ නගරයේ පවතින විරෝධතා ඉක්මනින් අවසන් කොට ඇමරිකානු තානාපති නිලධාරීන්ට සම්පූර්ණ ආරක්‍ෂාව සපයන බවට පොරොන්දු විය. එහෙත් පසුගිය සතියේ ඉරාකය, ඉරානය, බහරේනය, ඇෆ්ගනිස්ථානය, යේමනය, ඊජිප්තුව, ජෙරුසලම, බටහිර ඉවුර, ටියුනීසියාව, සුඩානය, කාශ්මීරය, ඉන්දුනීසියාව හා මැලේසියාව යන රටවල පැවති විරෝධවලට එකම හේතුව වන්නේ මෙම වීඩියෝ පටය ද යන්න විමසිය යුතු කාරණයකි. කුරාණයට හා මොහොමද් තුමාට අපහාස කිරීම මුස්ලිම් ආගමිකයින් තුළ කෝපයක් දැනවීමට හේතුවන බව පැහැදිලිය. ඒ සමගම ප‍්‍රකාශයට පත්වන තවත් කරුණක් වන්නේ මේ රටවල් සියල්ලේම පාහේ දැඩි ඇමරිකන් විරෝධයක් පැවතීමයි. අරාබි වසන්තය යනුවෙන් හැඳින්වෙන දේශපාලන නැගිටීම් මූලික වශයෙන් එල්ල වූයේ ඇමරිකානු සහාය මත බලයේ රැඳී සිටි ඒකාධිපති පාලකයන්ට එරෙහිවය. ටියුනීසියාව, ඊජිප්තුව, යේමනය, බහරේනය පමණක් නොව ලිබියාව සම්බන්ධයෙන් ද මෙය සත්‍යයකි. ලිබියාවේ ගඩාෆි මුල් අවධියේ දී ඇමරිකන් විරෝධී ස්ථාවරයක සිටිය ද පසුගිය වසර කීපය තුළ එක්සත් ජනපදය හා බටහිර රටවල් සමග සබඳතා ගොඩනගා ගනිමින් සිටියේය. බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශ තෙල් සමාගම්වලට ලිබියාවේ ආයෝජන අවස්ථා විවෘත කර දුන්නේය. මේ හැම රටකම පසුගිය වසරේ ආණ්ඩු විරෝධී ජන අරගල ඇරඹෙත්ම එක්සත් ජනපදය සිටියේ පාලකයින්ගේ පැත්තේය. එම ස්ථාවරය වෙනස් වූයේ මේ මිතුරු ඒකාධිපති පාලකයින්ට බලයේ රැඳී සිටීම අසීරු බව හෙළිවීමත් සමගය. එමනිසා එක්සත් ජනපදයට එරෙහිව හඬක් නැගීමට ලැබෙන කිසිම අවස්ථාවක් අතහැරීමට මුස්ලිම් ලෝකය සූදානම් නැත. අනිත් අතට ඒකාධිපති පාලකයින් පන්නා දමා නව පාලනයක් ස්ථාපිත කිරීමේ උත්සාහයක් ගත් රටවල පවා ජනතා අපේක්ෂා මල්පල ගැන්වූ බවක් නොපෙනේ. ටියුනීසියාව, ලිබියාව, ඊජිප්තුව හා යේමනය යන රටවල පැරණි පාලකයින් වෙනස් වුවද අලූතින් බිහිවූ පාලන ක‍්‍රමයෙන් පවා පැරණි පාලකයින්ට අනුබද්ධිතව සිටි සමහර කොටස්වල වුවමනාවන්ට හානියක් සිදු වන්නේ නැත. ටියුනීසියාවේ ඡන්ද විමසීම් පවත්වා නව පාලකයින් පත්කර ගත් නමුත් ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න වූ ජීවන වියදම, විරැකියා, සෞඛ්‍ය පහසුකම් මෙන්ම මූලික නිදහස තහවුරු කිරීම වැනි කරුණුවලින් ප‍්‍රගතියක් අත්කර ගත් බවක් නොපෙනේ. එවැනි ජන කොටස් රජයටත් ඊට අනුග‍්‍රහය දක්වන්නන්ටත් මෙම අවස්ථාව උපයෝගී කරගත් බව ද සැලකිල්ලට ගත යුතුය. බහරේනය විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගෙන ඇත්තේ එරට පාලකයාට එරෙහිව පසුගිය වසරේ වීදි බට ජනතාව ම ය. ලෙබනනයේ ඇමරිකන් විරෝධී ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ හිස්බුල්ලා නායකත්වයයි. එක්සත් ජනපදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය හා මානව අයිතිවාසිකම් සිය විදේශ ප‍්‍රතිපත්තිය මුල්ගල බවට ප‍්‍රකාශ කළ ද ක‍්‍රියාවෙන් පෙන්වන්නේ වෙනස් දෙයකි. සිරියාවේ අසාඞ්ගේ පාලනය හෙළා දකින එක්සත් ජනපදය බහරේන පාලකයා එහි ෂියා ආගමිකයින් දැඩි මර්දනයට ලක්කිරීම සැලකිල්ලට ගන්නේ නැත. එමෙන්ම තමන් අකමැති පාලකයින් පළවා හැරීමට කවරෙකුගෙන් හෝ සහාය ලබා ගැනීමට ද එක්සත් ජනපදය පසුබට වන්නේ නැත. ලිබියාවේ ගඩාෆිට එරෙහි සටනේ දී අල්-කයිඩා සමග සම්බන්ධතා පවත්වන කණ්ඩායම්වලට අවි ආයුධ හා මුදල් ලබා දීමට ද ඇමරිකානු ආයතන ඉදිරිපත් වුණා. දැනට සිරියාවේ අසාඞ්ගේ පාලනය පෙරළා දැමීමට සමත් අල්-කයිඩා සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් සමග වැඩ කිරීම සී.අයි.ඒ. ආයතනයට ගැටලූවක් නැත. බෙන්ගාසිහි ඇමරිකානු කොන්සියුලර් කාර්යාලයට පහර දී තානාපතිවරයා ඝාතනය කර ඇත්තේ ද ලිබියානු සටනේ දී සී.අයි.ඒ. සහාය ලත් අන්සාර් අල් පාරියා කණ්ඩායම බව බොහෝ නිරීක්ෂකයෝ පවසති. මේ අනුව මුස්ලිම්  ලෝකයේ  පවතින එක්සත් ජනපද විරෝධය මතුපිටින් දක්නට ඇති තත්ත්වයට වඩා ගැඹුරු විභේදයක් බවට සැකයක් නැත. එක්සත් ජනපදය මැද පෙරදිග ගැන උනන්දුවන්නේ එහි ජනතා අයිතිය තහවුරු කිරීමට නොව සම්පත් විශේෂයෙන් තෙල් පිළිබඳ අයිතිය හා පරිහරණය සුරක්ෂිත කිරීමට බව පැහැදිලිව දක්නට ලැබෙන සත්‍යයයි. ඊට හොඳම නිදසුන වන්නේ ඊශ‍්‍රායලය ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයයි. ඉරානය සමග යුද්ධයකට අර අදින්නේ එහි සමූහ ඝාතන අවි නිෂ්පාදනයට වඩා ඉරානයෙන් ඊශ‍්‍රායලයට එල්ල විය හැකි තර්ජනය නිසාය. එවන් පසුබිමක කුමන හෝ සිද්ධියක් මුල් කරගෙන එක්සත් ජනපද  විරෝධී ජනතා ව්‍යාපාර මුස්ලිම් ලෝකයේ හට ගැනීම පුදුමයට කරුණක් නොවේ.
සටහන: මහින්ද හත්තක
අල්කයිඩා ත‍්‍රස්තවාදීන් බංගලාදේශයේ ඇමෙරිකානු විරෝධතාවක් තානාපති කාර්යාලයට එල්ලවූ ප‍්‍රහාරයෙන් මියගිය  පුද්ගලයන්ගේ සිරුරු ඇමෙරිකාවට රැගෙන ආ අවස්ථාව ඔබාමා එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපති නිලධාරිනි සුසාන් රයිස් ලිබියාවේ පැවති ඇමෙරිකා විරෝධතාවක්