ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ නව සම්බාධක රුසියාවට එරෙහිව මහා පරිමාණ වෙළෙඳ යුද්ධයක් ප්‍රකාශ කිරීමක් යැයි එරට අගමැති දිමිත්‍රි මෙද්වදෙව් ප්‍රකාශ කරයි.
 
ඇමෙරිකා එක්සත් ජනපදය කොංග්‍රසය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසලකා හරිමින් රුසියාවට සම්බාධක පැනවීමේ පනත ගෙනා බවත් එයින් ට්‍රම්ප් ජනාධිපතිවරයාට අවමානයක් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදෙව් පැවැසීය.
 
ව්‍යවස්ථාව ඉක්මවා යමින් කටයුතු කරන බවට ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක් අවස්ථාවකදී කොංග්‍රසයට චෝදනා ද එල්ල කළේය.
 
ඉකුත් 2016 වසරේ පැවැති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට කෙරෙන චෝදනා සහ රුසියාව යුක්රේනය තුළ කරන මැදිහත්වීම් යන කරුණු සැලකිල්ලට ගනිමින් ඇමෙරිකාව රුසියාවට එරෙහිව මෙලෙස සම්බාධක පැනවීය. මීට අමතරව ඇමෙරිකාව ඉරානයට සහ උතුරු කොරියාවට ද සම්බාධක පනවා තිබේ.
 
නව සම්බාධක සමඟ න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝණය වන බව ඉරානය ඇමෙරිකාවට චෝදනා කර තිබේ. ඇමෙරිකාව පැනවූ සම්බාධක සම්බන්ධයෙන් සුදුසු පියවර ගනිමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව ද ඉරානය ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
 
ඒ.එෆ්.පී/රොයිටර් 055