පකිස්තානයේ හිටපු හමුදා පාලකයෙක් වූ සියාවුල් හක් හඳුන්වා දුන් නීතියක් අනුව කුරානයට හෝ ඉස්ලාමීය ආගමට අපහාස කිරීම අධිකරණයෙන් හෝ සමාජයෙන් සමාව නොලැබෙන වරදකි. දීර්ඝ සිර දඬුවමක් හෝ මරණ දඬුවම හිමි විය හැකි මෙම ආගම කෙලෙසීමේ වරදට දඬුවම් ලබන්නේ ඒ පිළිබඳ චෝදනා ලබන පුද්ගලයා පමණක් නොවේ. එම ජන සමූහයටම ඉස්ලාමීය භක්තිකයින්ගේ කෝපය එල්ල වන අතර ඔවුන් ආරක්‍ෂා කිරීමට හෝ එම නීතියේ අසාධාරණය ගැන කතා කිරීමට ඉදිරිපත් වන  ඕනෑම අයෙකු මරා දැමීම ආගමික සමාජයේ ගෞරවයට ලක් වන කාරණයකි. පසුගිය වසරේ මෙම ආගම කෙලෙසීමේ චෝදනාවක් යටතේ සිරගත කර සිටින අසියා බිබි නම් කාන්තාව නිදහස් කරන්නැයි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළ පංජාබ් ප‍්‍රාන්තයේ ආණ්ඩුකාර සල්මන් ටසීර් ඔහුගේ ආරක්‍ෂක භටයෙකු විසින්ම වෙඩි තබා මරා දමනු ලැබිණ. එම ආරක්‍ෂකයා මිනිස් ඝාතන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ විට එම අධිකරණයේ සම්පූර්ණ නීතිඥ මණ්ඩලයම ස්වේච්ඡුාවෙන් ඝාතකයා වෙනුවෙන් පෙනී සිටියහ. ඔහුට දඬුවම් නියම කළ විනිශ්චයකාරවරයා තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමත් සමග රටින් පලා ගියේ සිය ජීවිත ආරක්‍ෂාව ගැන තිබූ බිය නිසාමය. වෙනත් ආගමක් අදහන පුද්ගලයෙකු කුරානයට හෝ ඉස්ලාමීය ආගමට අපහාස කෙළේ යන චෝදනාව එල්ල කළ විට එම පුද්ගලයාගේ ආරක්‍ෂාවට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ ඉස්ලාමීය භක්තිකයින්ගෙන් හා පූජකයින්ගෙන් එල්ල වන තර්ජන නිසාය. අධිකරණයට ඉදිරිපත් වූ විට නීතිඥයින්ගේ සහාය හෝ ලබා ගත නොහැක. පාකිස්තානයේ දැනට පවතින රජයේ සුළුජන කොටස්  පිළිබඳ ඇමති වූ ෂන්බාස් සටී මෙම නීතිය සුළු ජාතිකයින් පීඩාවට ලක් කිරීමට යොදා ගන්නා ‘‘කළු නීතියක්’’ යැයි හැඳින්වූ විට ඔහුට පිළිතුරු ලැබුණේ ද ආගමික අන්තවාදීන්ගේ තුවක්කුවෙනි. ඔහුගේ ආරක්‍ෂාවට පාලන පක්‍ෂයේ කිසිවෙක් හෝ ඉදිරිපත් වූයේ නැත. එම නිසා සිය විරුද්ධවාදියෙකු විනාශ කිරීමට යොදා ගත හැකි වූ පහසුම කි‍්‍රයා මාර්ගය වූයේ එම පුද්ගලයා කුරානය හෝ ආගම කෙලෙසූ බවට චෝදනාවක් ඉදිරිපත් කිරීමය. චෝදනාව ඉදිරිපත් කරන විටම සමාජයෙන් හා අධිකරණයෙන් දඬුවම් නියම වී හමාරය. 2009 වසරේ දී කුරානයට අවමන් කෙළේ යැයි ගොජ්රා ප‍්‍රදේශයේ පැතිර ගිය කට කතාවක් නිසා එහි කි‍්‍රස්තියානු ආගමිකයින්ගේ ගෙවල් ගණනාවක් විනාශ කොට පුද්ගලයින් 8 දෙනෙකු පණපිටින්ම පුළුස්සා දමන ලදී. මෙම අනතුර පවතින්නේ පාකිස්තානයේ මුළු ජන සංඛ්‍යාවෙන් සියයට එකක් පමණ වන ක‍්‍රිස්තියානි භක්තිකයින්ට පමණක් නොවේ. සුන්නි නොවන ෂියා හා අහමඞ් යන මුස්ලිම් නිකායවලට අයත් පුද්ගලයින්ට ද මෙවැනිම තර්ජන නිතර එල්ල වේ. සමහර විට ෂියා මුස්ලිම් පල්ලිවල ආගමික මෙහෙයන් පැවැත්වෙන විට එල්ල කරන ප‍්‍රහාරවලින් සිය ගණන් මිය යති. පසුගිය වසර තුළ එවැනි ප‍්‍රහාරවලින් 2000කට අධික පිරිසක් මිය ගිය බව පාකිස්ථානු ජනමාධ්‍ය වාර්තා කරයි. 1947 අගෝස්තු මාසයේ දී ඉන්දියාවෙන් වෙන් වී පාකිස්තානු රජ්‍යය ප‍්‍රකාශයට පත් කරන ඓතිහාසික අවස්ථාවේ මොහොමඞ් අල් ජින්නා ප‍්‍රතිඥා දුන්නේ, ”ඔබ කුමන ප‍්‍රජාවට අයත් වුවත් එය නොසලකා අපි සියලූ දෙනාම සමාන අයිතිවාසිකම්, වරප‍්‍රසාද හා යුතුකම් හිමි වැසියන් වෙමු” යනුවෙනි. එහෙත් ජින්නාගෙන් පසුව පාකිස්තානයේ බලයට පැමිණි බොහෝ දෙනෙක් එය ආදර්ශ කරගත්තේ නැත. එහි උච්ඡතම අවස්ථාව වූයේ හමුදා කුමන්ත‍්‍රණයකින් බලය පැහැරගත් සියාවුල් හක් කුරානයට හා ඉස්ලාමීය ආගමට අපහාස කිරීම පිළිබඳ නීතියක් ව්‍යවස්ථාගත කිරීමයි. එහෙත් මෙම අන්තවාදී තත්ත්වය වෙනස් වන බවට ඉඟියක් පසුගිය සතියේ දක්නට ලැබිණ. ඉස්ලාමාබාද් නගරයේ මුඩුක්කු ප‍්‍රදේශයක ජීවත් වන 11 හැවිරිදි රිමාෂා නම් ක‍්‍රිස්තියානි පවුලකට අයත් දැරිය කුරානයේ පාඨ අඩංගු කොටසක් පුළුස්සා දැමී යැයි චෝදනා ඉදිරිපත් කොට සිරභාරයට පත් කෙරිණ. එම චෝදනා ඉදිරිපත් කර තිබුණේ එම ප‍්‍රදේශයේ මුස්ලිම් පූජකවරයෙකු විසිනි. මන්දබුද්ධික දැරියක් වූ රිමාෂා පිළිබඳ සිද්ධිය පාකිස්තානයේත් සෙසු රටවලත් උණුසුම් ප‍්‍රවෘත්තියක් විය. කියවීමට නොදත් නිසා කුරානයේ පාඨ සඳහන් කඩදාසි මොනවාද යන්න තේරුම් බේරා ගැනීමේ හැකියාවක් ඇයට තිබුණේ නැත. දෙවැනිව මන්දබුද්ධිකයෙක් වන නිසා ඇය සිතාමතා අපරාධයක් කළා යැයි කිව නොහැකිය. එම නිසා ඇය  චෝදනාවලින් නිදහස් කිරීමටත් සිරභාරයෙන් නිදහස් කිරීමටත් විවිධ අංශවලින් ඉල්ලීම් කෙරිණ. වඩාත් අනුවේදනීය කතා පුවත වූයේ රිමාෂාට චෝදනා එල්ල කළ පූජකයා කුරාන් පාඨ සඳහන් කඩදාසිය පුළුස්සා ඇය අත තිබූ බෑගයකට දමන ලදැයි පූජකයාගේ සහායකයෙකු ප‍්‍රකාශ කිරීමය. ඒ අනුව රිමාෂාට චෝදනා එල්ල කළ පූජකයා ද අත්අඩංගුවට ගෙන සිරභාරයට පත් කර ඇත. වඩාත් වැදගත් වන්නේ මුස්ලිම් පූජකයින්ගේ හා බුද්ධිමතුන්ගේ සමස්ත පාකිස්තානු උලෙමා මණ්ඩලය මෙම සිද්ධිය හෙළා දැකීමය. අන්තවාදී මත දරන්නේ යැයි ප‍්‍රකට මෙම සංවිධානය ප‍්‍රකාශයක් නිකුත් කරමින්, ”කිසිවෙකුටත් අසාධාරණයක් සිදු වනු දැකීමට අපි නොකැමැත්තෙමු. බියජනක තත්ත්වය අවසන් කළ යුතු යැයි අපි සිතමු,” යැයි සඳහන් කෙළේය. තවත් ප‍්‍රබල ආගමික සංවිධානයක් වූ උලෙමා මණ්ඩලයේ සභාපති හෂීස් මොහොමඞ් ෆෙරි පසුගිය සඳුදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් රිමාෂා ජාතියේ දියණියක් යැයි කීවේය. සිරභාරයෙන් නිදහස් කරන්නේ නම් ඇයට ආරක්‍ෂාව සැලසීමට තමා ඉදිරිපත් වන බව ද ඔහු සඳහන් කෙළේය. ක‍්‍රිස්තියානි භක්තිකයින් පලවා හැර එම ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදි කිරීමේ අරමුණෙන් මෙම චෝදනාව ඉදිරිපත් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද සඳහන් කළ ඔහු එවැන්නකට තම සංවිධානය කිසි සේත් ඉඩ නොදෙන බවට ද අවධාරණය කෙළේය. බාල වයස්කාරියක වන රිමාෂාට ඇප ලබා දෙන ලෙස කළ අයැදුම්පත සලකා බැලීම කල් දැමීමට අධිකරණය තීරණය කළ ද පාකිස්තානු ජන සමාජයේ විවිධ කොටස්වලින් පළවන සහාය කැපී පෙනෙන ප‍්‍රවණතාවකි. හෂීස් මොහොමඞ් ආගමට අපහාස කිරීමේ නීතිය ඉවත් කළ යුතු යැයි කියන්නේ නැති වුව ද එය වැරදි ලෙස ක‍්‍රියාත්මක කිරීම වැළැක්විය යුතු බව පෙන්වා දේ. ෂාරියා නීතිය පදනම් කරගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු යැයි ප‍්‍රබල මතයක් පැවති සමාජයක 11 හැවිරිදි දුප්පත් දැරියක වන රිමාෂා වෙනුවෙන් මෙවැනි හඬක් නැගීම එක අතකින් අගය කළ යුතු මෙන්ම පුදුමයට ද කරුණකි. මුස්ලිම් ආගමික ධුරාවලියේ පවතින ආධිපත්‍යය නිසා පාකිස්තානයේ දේශපාලන නායකයින් ද මෙවැනි ප‍්‍රශ්න ගැන ප‍්‍රසිද්ධියේ මත ප‍්‍රකාශ කරන්නේ නැත. එහෙත් මෙම සිද්ධියත් සමග කේ.පී. හා බැලොකිස්ථාන ප‍්‍රාන්තවල ෂියා ආගමිකයින් ඉලක්ක කරගත් ප‍්‍රහාර ගැන අධිකරණ විභාගයක් පැවැත්විය යුතු යැයි තෙහ්රික් ඊ. ඉන්සාෂ් පක්‍ෂයේ නායක ඉම්රාන් ඛාන් පැවසුවේය. පාකිස්තානයේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක වන පාලක පාකිස්තානු ජනතා පක්‍ෂයත් විපක්‍ෂයේ පාකිස්තාන මුස්ලිම් ලීගයත් මෙතෙක් කණ්ඩායම්වාදී ගැටුම ගැන ප‍්‍රකාශ කර නිකුත් කර නොමැති වුවත් අලූත් දේශපාලන එකතුවක නායකයා වන ඉම්රාන් ඛාන්ගේ මෙම ස්ථාවරය ඉතා වැදගත්ය. එමෙන්ම සින්ද් ප‍්‍රදේශය පදනම්ව ක‍්‍රියාත්මක වන ඇම්කිවුඇම් පක්‍ෂයේ නායක අල්ටාෂ් හුසේන් ද කණ්ඩායම්වාදී ගැටුම් අවසන් කිරීමට පියවර ගත යුතු යැයි රජයට යෝජනා කරයි. මන්දබුද්ධික අකුරු නොදන් රිමාෂා දැරියගේ සිද්ධිය දැඩි මූලධර්මවාදී ආගමිග ග‍්‍රහණයකට හසුව ඇති පාකිස්තානයේ හදිසි වෙනසකට මුල් වන්නේ යැයි කිව නොහැකිය. එහෙත් එවැනි මූලධර්මවාදීන් යැයි හැඳින්වෙන ඉස්ලාමීය නායකයින් එම දැරියගේ ආරක්‍ෂාවට ඉදිරිපත් වීමත් බොරු චෝදනා කළ පූජකයාට එරෙහිව සිටීමත් බලාපොරොත්තු සහගත තත්ත්වයකි. අන් ආගම් නොඉවසීම හා කණ්ඩායම්වාදී ගැටුම් පාකිස්තානයේ මෙන්ම සෙසු දකුණු ආසියානු රටවල ද දක්නට ලැබෙන බරපතළ සමාජ ව්‍යාධියකි. ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමිකයින් හා බොඩෝ වාර්ගිකයින් අතර ගැටුම් ඇති වූයේ ද ආගමික නොඉවසීම නිසාය. මියන්මාරයේ රකන් ප‍්‍රදේශයේ රොහන්ගියා ඉස්ලාම් ආගමික කොටස් හා බෞද්ධයින් අතර ගැටුම් හට ගත්තේ ද එවැනිම හේතූන් නිසාය. එවැනි පසුබිමක ආගමික අන්තවාදීන්ගේ බලපෑමට හසුව ඇතැයි සැලකෙන පාකිස්තානයෙන් මෙවැනි ආදර්ශයක් වාර්තා වීම ඇත්තෙන්ම අගය කළ යුතු ප‍්‍රවණතාවකි. අන්තවාදීන් යැයි හංවඩු ගසා ඇති ඉස්ලාමීය ආගමික නායකයින් මෙම දැරියගේ ආරක්‍ෂාවට ඉදිරිපත් වීම අහඹු සිද්ධියකට වඩා අවබෝධයෙන් ගත් පියවරක් වන්නේ නම් එය පාකිස්තානයේ පවතින වියවුල්කාරී සංකීර්ණ දේශපාලන තත්ත්වයට සාමකාමී සහජීවන දේශපාලන මාර්ගයක් හෙළි පෙහෙළි කරගැනීමේ ආරම්භයක් මෙන්ම කලාපයේ සෙසු රටවලට ආදර්ශයක් ද වන්නේය. වැදගත්ම ආදර්ශය වන්නේ දේශපාලන නායකත්වයට වඩා ඉදිරියෙන් ඔවුන් සිටීමය.

සටහන: - මහින්ද හත්තක
ඉස්ලාම් පූජකවරයකු අත්අඩංගුවට ගත් අවස්ථාව ක‍්‍රිස්තියානි ක‍්‍රියාකාරීන්ගේ උද්ඝෝෂණයක් ක‍්‍රිස්තියානි ගැහැනු ළමයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ තහීර් නවීඞ් සර්දාරි පකිස්තානයේ නිර්මාතෘ  මොහොමඞ් අලි ජින්නා