අඟහරු යැවූ ‘කියුරියෝසිටි’ රොබෝ යානය පෘථිවියට එවූ එක් ඡායාරූපයක ‘සපත්තුවක්’ වැනි යමක් තිබීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇති අතර ඇමෙරිකාවේ නාසා විද්‍යඥන් පවසන්නේ එය අසාමාන්‍ය පාෂාණ පිහිටීමක් විය හැකි බවය. ඉතා සංකීර්ණ මෙන්ම අවදානම් ක‍්‍රමවේදයකට අඟහරුගේ ගේල් නමැති ආවාටයට පතිත කරනු ලැබූ ‘කියුරියෝසිටි’ (කුතුහලය) රොබෝ රෝවරය, මේ වනවිට එහෙ මෙහෙ යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් දත්ත ලබා ගැනීම සිදු කරයි. ඒ අතරතුරේ අවට ඇති සියලූම දේ ඡායාරූප ගත කිරීම ද සිදු කරයි. සපත්තුවක් වැනි එම අසාමාන්‍ය වස්තුව විද්‍යාඥයන්ට දකින්න ලැබුණේ කියුරියෝසිටි යානය එසේ ගත් ඡායාරූපයක තිබියදීය. එය කුමක්දැයි මේ වනවිට නිශ්චිතව හඳුනාගෙන නැත. එම වස්තුව බැලූ බැල්මට ඉවත දැමූ බූට් සපත්තුවක් ලෙස පෙනෙන බව නාසා විද්‍යාඥයෝද පිළිගනිති.