IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාතාල නායකයකු වූ ‘‘සිංහල කොටියා’’

2005 වසරේදී  එල්.ටී.ටී.ඊ.යෙන්  සටන් පුහුණුව ලබලා  

 

 

 

පාතාල ලෝකයට සම්බන්ධ බව කියන කෙරුමෙක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය සිකුරාදා කොටුකරගත්තේ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සිටියදීය.ලසන්ත හෙවත් ලසා නමින් හැඳින්වෙන මෙම පාතාල කෙරුමා කාලයක් තිස්සේ පොලිස් ඇසට වැලි ගසමින් සැඟවී සිටි අයෙකි. 


ලසා නමැති මෙම පාතාල කෙරුමා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුවය. 


පොලිසිය මොහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙනි. 
ඝාතනයට ලක්ව තිබුණේ පාතාල නායකයකු ලෙස සැලකෙන චානා නමැත්තාගේ ඥාති සහෝදරයෙකි. 


මුලින්ම වෙඩි තබා ඇත්තේ චානාටය. 


චානාට වෙඩි තැබූ කල්ලිය යතුරුපැදිවලින් පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ චානාගේ ඥාති සහෝදරයා ඇතුළු කිහිප දෙනෙක් චානාට වෙඩි තබා පලා යාමට උත්සාහ කළ කල්ලිය අල්ලා ගැනීමට පැමිණ ඇත. 


චානාගේ ඥාති සහෝදරයා ඇතුළු කණ්ඩායමට වෙඩි තබා ඇත්තේ මේ අවස්ථාවේය. 


වෙඩි ප්‍රහාරයෙන් චානාද බරපතළ තුවාල ලබා සිටි අතර වෙඩි කා තුවාල ලබා සිටි හතර දෙනාව ඇතුළත් කෙරු​ෙණ් කොළඹ ජාතික රෝහල වෙතය. 
චානාට වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේ “ලසා වෙඩි තියන්න එපා” කියා චානා කෑ ගසා ඇති බවද කියති. 


චානාට වෙඩි තබා ඇත්තේ තමාට වෙඩි තියන්න එපා කියා බැගෑපත්වූ අවස්ථාවේදීය. 


2018 වසරේ මාර්තු මාසයේ 08 වැනිදා කොටහේන ප්‍රදේශයේදී මෙය සිදුවී තිබිණි. 


ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින පාතාල නායකයෙක් ලෙස සැලකෙන දිලුක නමැත්තා එරට සිට ලසාට දුරකතනයෙන් කතා කර චානා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බව පැවසේ. 


දිනුක ඩුබායි රටේ සිටියේ දකුණේ ප්‍රබලතලම පාතාල නායකයෙක් ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ්ලා එක්කය. 


මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන්දින සාදය පැවති ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයටද දිනුක පැමිණ සිට ඇත. 


ඩුබායි පොලිසිය සාදය පැවති සුපිරි හෝටලය වටලද්දී එහි සිට පලාගොස් තිබුණේ පාතාල නායකයෙක් ලෙස සැලකෙන අංගොඩ ලොක්කාද සමගය. 


කොටහේනේ සිද්ධියට ලසන්ත හෙවත් ලසා පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන නිසා ඔහු ඩුබායි රටට පලාගොස් තිබේ. 


ඩුබායි රටට පලාගොස් සැඟව සිටි ලසා දිනුකගේ ගෝලයන් කිහිප දෙනෙක් සමග ඩුබායිවලදී ඇතිකරගත් ආරවුලක් මත යළි මෙරටට පැමිණ ඇත. 


බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ලසා අත්අඩංගුවට ගත්තේ ඩුබායි සිට යළි මෙරටට පැමිණ රහසිගත ජීවිතයක් ගත කරද්දීය. 
කොළඹ මහාධිකරණ විනිසුරුවරයාව සිටි සරත් අඹේපිටිය මහතා සහ ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ උපාලි රණසිංහ මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියමින්ද ලසා නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකි. 


රණසිංහ මහතා ඝාතනයට ලක්වීමෙන් පසු සහකාර පොලිස් අධිකාරි නිලයට උසස්වීම ලැබීය. 


මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු ලසා නමැත්තා පසුව රජයේ සාක්කිකාරයෙක් බවට පත්වී තිබේ. 


එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ ලසන්ත හෙවත් ලසා කිලිනොච්චි කොටි කඳවුරකින් තවත් සිංහල ජාතිකයන් තිදෙනෙක් සමග අවි ආයුධ සහ ගරිල්ලා සටන් ක්‍රම පිළිබඳව පුහුණුව ලබා ඇත. 


ඒ 2005 වසරේදීය. 


එල්ටීටීඊයෙන් සටන් පුහුණුව ලබා පැමිණ සිටි ලසා ටී. 56 ස්වයංක්‍රීය ගිනි අවියක්, ටී 56 උණ්ඩ 49 ක් හා මැගසින් එකක්ද සමග 2008 වසරේ දෙසැම්බර් මාසයේ 06 වැනිදා අත්අඩංගුවට ගනු ලබන්නේද බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසිනි. 


කිලිනොච්චියේ සිට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට අයත් බව කියන වාහනයක සඟවාගෙන ටී. 56 අවිය හා උණ්ඩ තොගය කොළඹට ගෙනවිත් ලසා අතට පත් කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. 


ලසා නමැති සිංහල කොටියාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත ඔහු සමග කිලිනොච්චියේ කොටි කඳවුරකින් පුහුණුව ලැබූ තවත් සිංහල කොටි තිදෙනෙක් ද ඒ වකවානුවේම (2005 වසරේදී) අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේද බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසිනි. 


ඒ සිංහල කොටි තිදෙනාගෙන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ ද අනෙකා මොරටුව ප්‍රදේශයේද පදිංචිකරුවන්ය. 


මොරටුව ප්‍රදේශයේ පදිංචිකරු යුද හමුදාවෙන් පළාගොස් සිටි සෙබළෙකි. 
හමුදා පුහුණුව ලබාගෙන තිබුණත් ඔහුටද කොටින් ගිනි අවි පරිහරණය හා ගරිල්ලා සටන්ක්‍රම පිළිබඳව පුහුණුවක් ලබාදී ඇත. 
හමුදා සෙබළාගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ බව පොලිසිය හෙළිකරගෙන තිබිණි. 


කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් තවත් සිංහල කොටියෙක් ළඟ තිබුණ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද මැගසින් එකක්ද බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් 2005 වසරේදී සොයාගත්තේය. 


මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය එම සිංහල කොටියාට ලබාදී ඇත්තේ එල්ටීටීඊ සංවිධානය විසින් බව පොලිසිය හෙලිකරගත්තේ ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලිනි. 


සිංහල ජාතිකයන් සමග එදා කිලිනොච්චියේ කොටි කඳවුරකින් පුහුණුව ලැබූවන් අතර මුස්ලිම් ජාතික තරුණයන්ද සිට ඇති අතර සිංහල ​ෙකාටින් හා  මුස්ලිම් කොටින්ද ඇතුළත් කර වෙනම කණ්ඩායමක් සාදා එම කණ්ඩායම කොටි නායකයන් හඳුන්වා ඇත්තේ අබ්දුල්ලා කණ්ඩායම යනුවෙන් බව පොලිසිය කියයි. 


කෙසෙල්වත්ත පොලිසියේ එවකට ස්ථානාධිපතිවරයාව සිටි පසුව සහකාර පොලිස් අධිකාරි නිලයට උසස්වීම ලබා විශ්‍රාම ලබා සිටින එච්.එම්. චන්ද්‍රතිලක මහතාගෙන්ද මේ පරීක්‍ෂණ සඳහා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට විශේෂ සහායක් ලැබී ඇත. 


පුහුණුව ලැබීමෙන් පසු විසිර යාමේ උත්සවයට පැමිණ ඇත්තේ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. 


සිංහල කොටින්ට හා මුස්ලිම් කොටින්ට එදා ප්‍රභාකරන් අතට අත දී සුබ පතා ඇත්තේ ඔවුන් වෙනත් ජාතීන්ට අයත් නිසා විශේෂත්වයක් දැක්වීමක් වශයෙනි. 


කොළඹට පැමිණි පසුව ඔවුන්ට කළ යුතු කාර්යයන්ද කොටි බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් විසින් පවරා තිබී ඇත. 


“රමේෂ් කියා කෙනෙක් ඒ කාලයේ කෙසෙල්වත්තේ හිටියා. ඔහු එල්ටීටීඊ එකට සම්බන්ධ කෙනෙක්. ඔහුගේ මාර්ගයෙන් තමා අපි තුන්දෙනා එල්ටීටීඊ එකෙන් පුහුණුවීම් ලබාගන්න කිලිනොච්චියට ගියේ. අපි තුන්දෙනාව කිලිනොච්චියට එක්කගෙන ගියේ රමේෂ්. මොරටුව ප්‍රදේශයේ සිංහල ජාතිකයෙක්ද එහිදී අපිට මුණගැසුණා. ඔහු හමුදාවේ හිටපු සෙබළෙක් බව පසුව දැන ගැනීමට ලැබුණා. මොරටුව ඉඳලා ලී බඩු විකුණන්න කිලිනොච්චියට ආපු අවස්ථාවල ඔහු කොටි නායකයන් දැන හඳුනාගෙන කතාබස් කරලා එල්ටීටීඊ එකට එකතු වූ බව අපිත් එක්ක කිව්වා. ඒ වෙනකොට රජය සහ කොටි සංවිධානය අතර සාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. 


කිලිනොච්චියේ කොටි කඳවුරකදී අපිට මාස එකහමාරක විතර කාලයක් ගිනි අවි පරිහරණය ගැන වගේම ගරිල්ලා සටන් ක්‍රම ගැනත් පුහුණුවීම් ලබා දුන්නා. දෙමළ අයට අමතරව මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙක්ද අපි හතර දෙනා එක්ක පුහුණුවීම් ලබා ගත්තා. තිස්පස් දෙනෙක් විතර අපේ කණ්ඩායමට ඇතුළත්ව සිටියා. විසිර යන දවසේ ඒ උත්සවයට ප්‍රධාන අමුත්තා වශයෙන් ආවේ ප්‍රභාකරන්. ඔහු අපිට අතට අත දීලා සුබ පැතුවා’’ 


පොලිස් අත්අඩංගුවට පත්වූ ලසා එදා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එසේ පවසා ඇති බව දැන ගැනීමට ඇත. 


‘පුහුණුවීම්වලින් පස්සේ අපි කොළඹ ආවා. ඊට පස්සේ දවසක ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට අයත් වාහනයක දොරක් අස්සේ සඟවාගෙන ගෙනා ටී 56 අවියක් හා උණ්ඩ තොගයක් කොළඹදී මට බාර දුන්නා. ඒ වාහනයේ ඇවිත් තිබුණේ කොටි නියෝජිතයෙක්. ඔහුගේ නම කියන්න මම දන්නේ නැහැ. 


යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ගැන ​ෙතාරතුරු සොයා බලා ඔවුන් ඝාතනය කිරීමට හමුදාවට කෑම බීම සැපයීමේ කොන්ත්‍රාත්තු බාරගෙන සිටින ව්‍යාපාරිකයන් ඝාතනය කරන්න වගේම කොළඹ ඉන්න ලොකු ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගිහින් කප්පම් මුදල් ලබා ගැනීමට අපට පවරා තිබුණා. නමුත් අපිට කරන්න ඉඩ ලැබුණේ ලොකු ව්‍යාපාරිකයන් පැහැරගෙන ගිහින් කප්පම් මුදල් ලබාගන්න එක විතරයි. කප්පම් වශයෙන් ලබාගන්නා සල්ලිවලින් භාගයක් කොටින්ට දෙන්න ඕනෑ. හමුදාවට කෑම සප්ලයි කරන කෙනෙක් මාලිගාවත්ත ප්‍රදේශයේ හිටියා. ඔහු මරන්න අවස්ථා හයක් විතර ඒ ගෙදරට ගියත් ඒ වැඩේ කරන්න බැරිව ගියා. හමුදාවේ බුද්ධි නිලධාරීන් මරන්නත් බැරිව ගියා.’ 


කෙසෙල්වත්ත සිංහල ජාතිකයන් තිදෙනා කිලිනොච්චියට කැඳවාගෙන ගොස් පුහුණුවීම් ලබාදීමට කටයුතු කළ රමේෂ් නමැත්තා අල්ලා ගැනීමටද බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය පරීක්‍ෂණ ආරම්භ කර ඇතත් එහි නිලධාරීන්ට දැනගැනීමට ලැබී ඇත්තේ ඔහු (රමේෂ්) ඕස්ට්‍රේලියාවට පලාගොස් ඇති බවය. 


එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ කාලයේ එහි සාමාජික සාමාජිකාවන් අත්අඩංගුවට ගැනීමටද පාතාල ප්‍රබලයන් අල්ලා ගැනීමටද ඊට පසුව අන්තවාදී මුස්ලිම් කල්ලි සාමාජිකයන් අල්ලා ගැනීමටද බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විශාල මෙහෙයක් ඉටුකර තිබේ. 


මේ නිසා සිදුවීමට ගිය මහත් විනාශකාරි ක්‍රියා රැසක්ම වළක්වා ගැනීමට ද හැකිවී ඇත. 


එවැනි සුවිශේෂී කාර්යයක් ඉටු කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් දිරිමත් කිරීම වගකිවයුතු බලධාරින්ගේ සත්කාර්යයකි. 
නමුත් නිසියාකාරව සිදුවී නොමැත්තේද එයම බව මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. 


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ විශේෂ උපදෙස් යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිහාල් පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්‍ෂක අජිත් කුමාර, පොලිස් සැරයන් ගාමිණී (9574), පොලිස් කොස්තාපල්වරුන්වන ලසන්ත (72240) සහ බණ්ඩාර (84232) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකාර ලසා සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණ පවත්වා වැඩිදුර පරීක්‍ෂණ සඳහා කොටහේන පොලිසියට බාර දී ඇත. 

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

පාතාල නායකයකු වූ ‘‘සිංහල කොටියා’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site