මහාද්වීප සියල්ල එක්ව පැවති ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ලෝකයේ ආදි කාලීන නිවර්තන වැසි වනාන්තර අතරට ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ හදවත ලෙස හැඳින්වෙන සිංහරාජ වනාන්තරයට මුල් තැනක් හිමි වේ.මෙය ලෝකයේ දැනට ඉතිරිව පවත්නා නොඉඳුල් නිවර්තන වැසි වනාන්තර පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය.

 

 
සිංහරාජ වනයේ ප්‍රධාන ගංගා ලෙස නාපළ දොළ, ගං ගඟ, කුඩාව ගඟ, මහා දොළ ගඟ, කළු ගඟ හා වඟුරු ගඟ හැඳින්විය හැක. සිංහරාජ වනාන්තරයේ දකුණු බෑවුමේ පිහිටි මඟුරු ගඟ මෙහි ප්‍රධානත්වයක් උසුලනු ලබයි.බදුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම් වන සේ මඟුරු ගඟ පිහිටා තිබේ. පසුගිය වැසි සමයේ ආපදා වශයෙන් විශාල ලෙස හානියට පත් ප්‍රදේශයක් ලෙස මෙම කලාපය හැඳින්විය හැකිය. ආපදා නාය යෑම් හා ජල ගැලීම් නිසා දේපළ විශාල ප්‍රමාණයක් ද විනාශයට පත් විය.  

 


සිංහරාජ වනාන්තරය දකුණු බෑවුමේ පිහිටි ගිණියාගල වේපනාව ප්‍රදේශයේ බට​ෙගාඩ විල කන්ද නාය යෑමෙන් මඟුරු ගංගාව රක්ෂිතය තුළ සම්පූර්ණයෙන් අවහිර වූ නිසා ගඟ ඉහළ කොටසේ ස්වභාවික ජලාශයක් වර්තමානයේ නිර්මාණය වී ඇත. මෙම හේතුවෙන් බටගොඩවිල ග්‍රාම නිලධාරී වසමේ දික්හේන, පල්ලේකුඹුර ආදී ගම්මානවල පවුල් විශාල ප්‍රමාණයක් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.   


සිංහරාජ ඝන වනාන්තරයේ දකුණු බෑවුමේ පිහිටි මඟුරු ගඟ අවහිර වී ඇති මෙම ප්‍රදේශයට ළඟා වීමට තරමක් අසීරුය. ප්‍රදේශයට ළඟා වීමට ඇති කෙටිම මාර්ගය බදුරලිය හැඩිගල්ලේ සිට ඝන වනාන්තරය මැදින් වැටී ඇත. එය ඉතා දුෂ්කර කටයුත්තකි. නාය යාමට පත් වූ ප්‍රදේශයට යෑමට රක්ෂිත වනාන්තරය තුළින් ගඟට සමාන්තරව ගමන් කළ යුතු දුර කිලෝ මීටර් 02ක් පමණ වේ.

  
අවහිර වී ඇති පස් කන්ද ඉවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වනවිට විශාල මෙහෙයුමක් දියත් කොට ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මෙහිදී මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන අභියෝගය වන්නේ දැවැන්ත යන්ත්‍ර සූත්‍ර දැඩි දුෂ්කර මාර්ගයක් ඔස්සේ අදාළ ස්ථානයට ගෙන යාම බව වාරි ඉංජිනේරුවරු පවසති.   


මෙම ක්‍රියාන්විතය දැක බලා ගැනීම සඳහා මාධ්‍ය සහෘදයන් පිරිසක් සමග ඉකුත් දා එම ස්ථානයට අප ගමන් කළෙමු. මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා එක් වීමද විශේෂයක් ලෙස හැඳින්විය හැකිය.   
අප හැඩිගල්ලට රථවාහනවලින් ගමන් ගත් අතර හැඩිගල්ලේ සිට වනයට අවතීර්ණ වීමු.   

 


වනාන්තරය තුළින් ඉතා දුෂ්කර ගමනක් ගෙවා දමමින් අප එම ස්ථානයට ළඟා වූ අතර මෙම ක්‍රියාන්විතය පිළිබඳ අදහස් දැක් වූ කොළඹ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු (ජී​.කේ. පද්මකීර්ති මහතා)   


අපි මේ රැඳී සිටින්නේ බාහිට් කන්ද නාය ගිය ස්ථානයේ. මේ බාහිට් කන්ද නාය යෑම මගින් මඟුරු ගඟ මෙම ස්ථානයෙන් අවහිර වෙලා තියෙනවා. ඇත්තටම අපි මේ ඉන්නේ මඟුරු ගඟේ අවහිර වෙච්ච ස්ථානයේ. මේ මඟුරු ගඟ ඊට ටිකක් දෙපසින් තමයි ගලාගෙන යන්නේ. නමුත් අපිට ඒ ස්ථානය මීට වඩා ගැඹුරු කරන්න බැරි නිසාත් අඩි 40ක පමණ පස් කන්දක් අපිට ඉවත් කරන්න සිදු වෙලා තියෙනවා. කළුතර වාරි ඉංජිනේරු කාර්යාලය යටතේ තමයි මෙම කාර්යය සිදු වෙන්නේ. නාය යෑමෙන් දින 03ට පසු අපි මෙහි පැමිණියා. මේක ඉතාමත් අපහසු කාර්යයක්. එක පැත්තකින් සිංහරාජ වනාන්තරය. අනික් පැත්තෙන් රක්ෂිත වනාන්තර ප්‍රදේශයක් තියෙන්නේ.   


එම දිනවල මේ කාර්යය සඳහා යොමු වෙන්න හැකියාවක් තිබුණෙ නෑ. මොකද මේ වෙනකොටත් යම් යම් නායයෑම් අවදානමක් තිබ්බා. දැනට දින 15ක් පමණ අප ගමන් කරලා තියෙනවා. තවත් දින 10ක් පමණ කාලයක් යයි අපට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙම ස්ථානයට ගෙනියන්න. ගංගාවේ ගමන් මඟ වෙනත් දිශානතියකට යොමු වෙන්නත් පුළුවන්. අපි ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරගෙන ප්‍රමාද නොවී මේ කටයුතු කරනවා.   


මඟුරු ගඟ අවහිර වීම නිසා ගඟ ඉහළ කොටසේ මේ වනවිට ස්වභාවික විශාල ජලාශයක් නිර්මාණය වී තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහනයට යොදවා තිබූ කුඩා බෝට්ටුවක ආධාරයෙන් මාධ්‍ය සහෘද පිරිස් සමගින් මෙම ජලාශය වටා යාත්‍රා කිරීමට සිදු වූ අතර එහිදී මෙම ජල ගැලීමෙන් හානියට පත් වූ විශාල තේ වතු සහ ගම්මිරිස් වතු කිහිපයකට උඩින් අප ගමන් කළෙමු.   
අක්කර 25 පමණ තේ වගාව ද විනාශයට පත් ව තිබේ.


මෙවැනි සිදුවීමක් මෙයට පෙර වාරි ඉතිහාසයේ සඳහන් වී නොමැති අතර මෙම සිදුවීම නිසා මඟුරු ගංගාවේ දිශානතිය යම් හෙයකින් වෙනස් වුවහොත් අනාගතයේ විශාල ප්‍රශ්න ඇති විය හැකි බව වාරි ඉංජිනේරුවන් ‘ඉරිදා ලංකාදීපයට’ පැවසුවා. මෙම දැවැන්ත මෙහෙයුම පිළිබඳ වාරිමාර්ග අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා මෙසේ පැවසුවා.   


පසුගිය ගංවතුරේදී විශේෂයෙන්ම මඟුරු ගඟ විශේෂයෙන් කළු ගඟේ අතු ගංගාවක් මේ ගඟේ නාය යෑමක් සිදු වෙලා ගංගාව සම්පූර්ණයෙන්ම ඇහිරිලා තියෙන්නේ. ඒ නිසා පාරින්ද නුවර ප්‍රා​ෙද්ශීය ලේකම් කොට්ඨාසයට බාහෙට්ටියා කන්ද ගමට යන පාරවල් ඒ වගේම ඒ අයගේ වගාවන් විශාල ප්‍රමාණයක් ගංවතුරට යට වෙලා තියෙන්නේ. නමුත් ගඟේ වතුර මේ ප්‍රදේශයට තමයි ගලා ගෙන එන්නේ. පොඩි වැස්සක් හරි වැස්සොත් මේ තත්ත්වය තවත් භයානක වෙනවා. ඒ තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා අපි දැන් බාහෙට්ටි කන්දට අවම හානියක් වන ලෙස මාර්ගය කපා ගෙන අපේ මැෂින්ස් ගෙනියලා අපි බලනවා මේ යෝධ ගල් පුපුරවා හැරලා කොහොමද මේක ගඟේ නියමිත මාර්ගයේම ගඟ ගමන් කරවන්නේ කියලා.  

 


ගංවතුර ගැන මතකය අමතක වෙලා තියෙන වෙලාවක වුණත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ සඳහා මැදිහත් වෙලා විශේෂයෙන් මේක සිංහරාජ පරිවාර රක්ෂිතයක් ලෙස ගණන් ගැනෙන්නේ. ඉතින් අපි අවම පරිසර හානියක් වෙන ආකාරයට මෙම මාර්ගය සකස් කරගෙන ඉදිරියට ගමන් කරලා මේක සම්පූර්ණයෙන්ම හා ඉක්මණින් විසඳන්න බලාපොරොත්තු වෙනවා යයි හේ පැවසීය.

 

සංචාරක සටහන  

නයන තෙන්නකෝන්

 

 

වාරිමාර්ග අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා 

 

ජී.ෙක්. පද්මකීර්ති