ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

 

අන්තර්ජාලයේ තිබෙන වෙබ් පිටුවලින් අවශ්‍ය දේ සොයාගැනීම සඳහා අද ලෝකයේ බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ‘‘ගූගල්’’ හරහා එම සෙවුම් - බැලුම් කිරීමටය. මෙම ගූගල් යනු මෘදුකාංගයක් හෙවත් පරිගණක වැඩසටහනකි. මෙලෙසින් සෙවුම් බැලුම් කරන පරිගණක වැඩසටහන් හැඳින්වෙන්නේ සර්ච් එන්ජින් නමිනි. සිංහල භාෂාවට අනුව නම් සර්ච් එන්ජින් යන්නෙහි. තේරුම ‘‘වෙබ් අතරික්සු’’ යන්නය. අපට හුරු විදියට සෙවුම් යන්ත්‍ර ලෙස හැඳින්වීමද වරදක් නොවේ. මෙවැනි සෙවුම් යන්ත්‍ර කීපයක් වේ. ඒ අතරින් අද ලොව වැඩි දෙනා පුරුදුව සිටින්නේ මෙම ගූගල් වෙත පිවිස එම සෙවුම් බැලුම් කිරීමටය. එලෙසින් වෙබ් පිටු සොයා යාමේදී, විධානය ලබාදෙන්නේ මෙම සර්ච් එන්ජින් හෙවත් වෙබ් අතරික්සුය. සෙවීම් කරනු ලබන්නේ ඊට අදාළ වෙබ් බ්‍රවුසරය හරහාය. ගූගල් සතු වෙබ් බ්‍රවුසරය වෙන්නේ ක්‍රෝම්ය. එනම් ගූගල් ක්‍රෝම්ය. මෙම ‘‘ගූගල්’’ අයත් වෙන්නේ ඇල්ෆාබෙට් (Alphabet) නම් ව්‍යාපාර ගණනාවකින් යුතු මහා පරිමාණ බහු ජාතික සමාගමකටය. බොහෝ දෙනා සිතා සිටින්නේ ගූගල් යනු එක් සමාගමක් ලෙසය. එහෙත් ‘ගූගල්’ යනු මෙම ඇල්ෆාබෙට් නම් ව්‍යාපාර සමූහය සතු තවත් එක් ආයතනයක් පමණි. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කරන්නේ "Alphabet" සමාගම ගැන සහ එය සතු ‘‘ගූගල්’’ ගැනය.   


ඇරඹුමක අරුමය   


ගූගල් යනු අද එක් අතකට මහ මුහුද මෙන් වූ තෝතැන්නකි. සෑම දිනකම පරිගණක තිරය ඔස්සේ බොහෝ දෙනා මෙම ලාංඡනය දකින අතර පෙර කී විදියට සෙවුම් - බැලුම් කරන්නේ ගූගල් ඔස්සේය. මේ සියල්ල සංකීර්ණ කර නොගෙන අපි කෙළින්ම ‘‘ගූගල්’’ ලෙස අමතමු. ගූගල්හි සම ආරම්භකයින් වෙන්නේ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින්ය. ලෝරන්ස් එඩ්වඩ් පේජ් හෙවත් ලැරි පේජ් උපන්නේ 1973 මාර්තු 26වැනිදා ඇමෙරිකාවේ මිචගන් ප්‍රාන්තයේ ලාන්සින් හිදීය. මිචිගන් සරසවියේ මෙන්ම ස්ටැන්ෆර්ඩ් සරසවිය වෙතින් විද්‍යාවේදී උපාධි ලද පරිගණක තාක්‍ෂණ අංශයේ විද්‍යාඥයෙකි.   


සර්ජි බ්‍රින් උපත ලැබුවේ 1973 අගෝස්තු 21වැනිදා එවකට සෝවියට් සමූහාණ්ඩුව පැවැති කාලයේ මොස්කව් නුවරදීය. ඔහු ඇමෙරිකාවට සෙන්දුවූවේ 1976 දී පමණය. එනම් වයස අවුරුදු 3ක දරුවකුව සිටියදීය. ඔහුගේ මව පියා දෙදෙනාම උපාධිධාරීහූ වූහ. මව නාසාහි පර්යේෂණ අංශයේ රැකියාව කළ අතර, පියා ගණිත අංශයේ මහාචාර්යවරයකු ලෙස මේරිලන්ඩ් සරසවියේ කටයුතු කළේය. සර්ජි උපත ලැබුවේ රුසියාවේදී වුවද, වයස අවුරුදු 3 සිට හැදී- වැඩුණේ ඇමරිකාවේදීය. ඇමෙරිකානු පුරවැසිභාවය ලද මේ පවුල එතැන් සිට කටයුතු අරඹා ඇත්තේ එහි සිටය.   


ලැරී පේජ්ගේ පවුලේ වගතුගද කෙටියෙන් හෝ සටහන් කිරීම වටී. ඔහුගේ මව යුදෙව් ජාතික කාන්තාවකි. පියා කාල් වික්ටර් පේජ් යනු පරිගණක විද්‍යා අංශයේ පශ්චාත් උපාධිධරයෙකි. කෙටියෙන් සඳහන් කළ හොත් ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් යනු හොඳ දැනුමැති පවුල් පසුබිමකින් පැවැත එන දෙදෙනෙකි. සර්ජි මේරිලන්ඩ් සරසවියෙන් විද්‍යාවේදී උපාධියද, ස්ටැන්ෆර්ඩ් සරසවියෙන් විද්‍යාපති උපාධිය ලද පරිගණක අංශයේ විද්‍යාඥයකු සහ අන්තර්ජාල අංශයේ ව්‍යවසායකයෙකි. 2015දී ස්ථාපිත වූ අල්ෆබැට් සමාගම බහු ජාතික සමාගමක් ලෙස ස්ථාපිත වූයේ පරිගණක ක්ෂේත්‍රයට සහ එම විද්‍යාවට අයත් බොහෝ දේ සඳහා විවර වූ සමාගම් සමූහයක එකතුවක් ලෙසය. එසේ වූවද, මෙම අල්පැබැට් සමූහ සමාගමේ විශිෂ්ඨතම ඇරඹුම වෙන්නේ ‘ගූගල්’ නමින් ඇරඹි සමාගමය. එය ඇරඹියේ 1998 වසරේදීය. එනම් මීට වසර 22කට පමණ පෙරදීය.   


අන්තර්ජාල ප්‍රවාහයට නව පිටුවක්


1998 වසරේදී ලැරී පේජ් සහ සර්ජිබ්‍රින් යන තරුණ උපාධිධාරින් දෙදෙනා විසින් ඇරඹි ගූගල් සමාගම සඳහා අත්තිවාරම වැටුණේ ඊට වසර දෙකකට පමණ පෙරදීය. එනම්, ඔවුන් දෙදෙනා ස්ටැන්ෆර්ඩ් සරසවියේ සිසුන්ව සිටියදීය. තම උපාධිය වෙනුවෙන් උගෙනුම ලබමින් සිටි මේ දෙදෙනා හට ඊට අදාළ වූ ව්‍යාපෘතියක් කිරීමට නියමිතව තිබිණ. ඔවුහූ ඒ සඳහා තෝරා ගත්තේ සෝෂල් මීඩියා හෙවත් සමාජ මාධ්‍යජාලා අංශයට අලුත් දෙයක් ඉදිරිපත් කිරීමය. ඒ වෙනුවෙන් මෙම වෙබ් පිටු සෙවුම් යන්ත්‍රය ගැන උනන්දු විය. ඔක්කො‌මත් හරි මේ අදහස අනුව ඔවුන් දෙදෙන ක්‍රියාත්මක වූවේයැයි සිතමු. මේ සඳහා යොදන නාමය කුමක්ද යන්න ගැන දෙදෙනා තර්ක විතර්ක කළෝය. කොහොමටත් පේජ් සහ සර්ජි යනු වචන හරඹපාන්නට දක්‍ෂයෝ වූහ. එනම් අලුත් අලුත් නාමයන් සොයා වචන නිර්මාණය කිරීම ඔවුන්ගේ විනෝදාංශය විය.   


මේ අතරේ ඔවුනගේ මෙම සර්ච් එන්ජින් වැඩේට මුලින්ම උදව්වූ තවත් ශිෂ්‍යයෙක් වීය. ඔහුද මෙම අංශයේ මහ මොළකරුවෙකි. මුලින්ම මෙවැනි සෙවුම් යන්ත්‍රයක් (සර්ච් එන්ජින්) නිර්මාණය කිරීම සඳහා ස්කොට් හසන් නමැති ඔහු සර්ජි සහ පේජ් හට සහාය වුණි. ඔවුනගේ ප්‍රයන්තනය වූයේ එතෙක් නිර්මාණය වී තිබූ සෙවුම් යන්ත්‍රවලට වඩා බොහෝ දේ සොයාගත හැකි එකක් නිර්මාණය කිරීමටය. ඒ වෙනුවෙන් දිවා - රාත්‍රී නොබලා මෙම මිතුරෝ ක්‍රියාත්මකව කටයුතු කළෝය. විවිධ අත්හදා බැලීම් නිරන්තරයෙන් සිදුකළ අතර ඔවුන්තර නිරන්තරයෙන් වාද - විවාද සිදුවිය. කෙසේ වෙතත් හසන් මේ මිත්‍ර සන්ධානයෙන් වෙන්වූයේ ඔහුට ඔහුගේම නව ගමනක් යාම වෙනුවෙනි. රොබෝ තාක්‍ෂණ විද්‍යා අංශයේ නිපුණතාවයක් දැක්වූ ඔහු එම අංශයෙන් වැඩිදුරටත් හැදෑරීය. පසු කළෙක ඔහුද සාර්ථක වූවේ ඔහුගේම සමාගමක් ආරම්භ කිරීමට හැකිවීම නිසාය.   

 


ගූගෝල් - ගූගල් වූ හැටි   


අපි දැන් නැවතත් පේජ් සහ සර්ජි වෙත යොමුවෙමු. මේ දෙදෙනා වචන හරඹයන්ට රුසියෝ වූ බැවින් සමාගම් සඳහා අලුත් වචන සෙවීම කළේ විටෙක මහා තර්ක - විතර්ක කර ගනිමිනි. ඔවුනගේ මේ වැඩේදී, හරියටම කිව්වොත් 1996 දී නාමයක් සොයමින් සිටි අතර ‘‘බැක්රබ්’’ (Back Rub) ලෙස මුලින්ම සෙවුම් යන්ත්‍රය සඳහා නාමයක් යොදාගත්තේය. මෙම සර්ච් එන්ජින් එක ස්ටැන්ෆර්ඩ් සරසවියේ බොහෝ දෙනා අතර වඩා ජනප්‍රිය වූයේ වෙබ් පිටු සොයායාමට වඩාත් ප්‍රයෝජනවත් වූ නිසාවෙනි. විශේෂයෙන්ම එතෙක් තිබු ඒවා හා ඒවායෙහි තත්ත්වයන් සැසඳීමද කළ හැකි වූ බැවිනි. එක්තරා අවස්ථාවක උපාධි ශිෂ්‍යයකුව සිටි ෂෝන් ඇන්ඩර්සන් ගූගොල්ප්ලෙක්ස් යන නාමය යෝජනා කළේය. ඒත් පේජ් ඊට ප්‍රතිවිරුද්ධ විය. වචන සොයායාමේදී ඔහුගේ ස්වභාවය එසේවීය. කෙසේ වෙතත් කවරකු හෝ තමාගේ අන්තර්ජාල කටයුත්තක් උදෙසා මෙම නම යොදාගෙන ඇතිදැයි සොයා විමර්ශනය කර බැලීමට ඔහුට සිත්විය. තම ව්‍යාපෘතිය සඳහා අලුත් නාමයක් සොයමින් කුතුහලය ඇතිව සිටි පේජ් කම්පියුටරය වෙත ගොස් ඒ නාමය ටයිප් කර බැලීය. ගූගෝල් (googol) වෙනුවට හදිසිය සහ ඉක්මන්කම නිසා ඔහු අතින් ටයිප් වූවේ ‘‘Google.com.’’ නමිනි. හැබැයි එය ඔහුට වැරැදීමකින් සිදුවූවකි. මුලින්ම ඔවුනගේ මෙම ව්‍යාපෘතියට නම ලෙස යෝජනා වී තිබුණේ ගූගෝල්ය. එය වෙනස් වී සිදුවූ අහම්බය නිසාත් ගූගෝල් යන නාමයට වඩා ගූගල් යන්න පහසුවට කියැවෙන නිසාත් 1998 දී සමාගමක් ලෙස ලියාපදිංචි කළේ ගූගල් යන නාමය යටතේය. එය සර්ජි බ්‍රින්ගේ නාමය යටතේ ලියාපදිංචි කිරීම සිදුවිය. ගූගල් යන්නෙහි තේරුම විශාල ගණිත සංඛ්‍යාවක් යන්නය. හරියට කිව්වොත් ඇවගාඩ්රෝ සංඛ්‍යාත්මක ගුණයටත් වඩා එහා ගිය තරමේ එකකි. නිවැරදිවම කිව්වොත් 1ට බිංදු 100ක් එකතුවීම ගූගල් 1කි. එහි අරුත අද සර්ජි සහ පේජ් විසින් හරි අපූරුවට තහවුරු කර තිබේ. අද ගූගල් වෙත ගොස් සොයාගත හැකි දේ සංඛ්‍යාත්මකව මෙච්චර යැයි කිව නොහැකි තරම් නොවේද? 1998 වෙන විට ඉතා නිවැරැදි සෙවුම්- බැලුම් කළ හැකි සර්ච් එන්ජින් හෙවත් අතරික්සුවක් හෙවත් සෙවුම් යන්ත්‍රයක් ලෝකයට දායාද කිරීමට ඔවුනට හැකිවිණි.   


‘‘ගූගල්’’ උපත සිදුවූයේ ලෝ ප්‍රකට ස්ටැන්ෆර්ඩ් සරසවියේ පරිගණක විද්‍යා අංශයේ 3B පර්යන්තයේදීය. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම උදෙසා පරිගණක හා අන්තර්ජාල කටයුතුවලද බොහෝ නව උත්පාදන සිදුවෙන සහ බිහිවෙන නිම්නය ලෙස නම් දරා ඇත්තේ ඇමෙරිකාවේ සිලිකන් වැලි (සිලිකන් නිම්නය) ලෙස හැඳින්වෙන ස්ථානයයි. එම නිම්නයේ ගෝඩ්ෆාදර් ලෙස හැදින්වෙන ජෝන් හෙනසිගේ උපදෙස් මෙන්ම තවත් බොහෝ දෙනාගේ සහාය ඇතිව ගූගල් නිර්මාණය කිරීමට හැකි වූ බව කිව හැකිය. සර්ජි සහ පේජ් එකී නාමයන් සඳහන් කිරීමට කිසි විටෙකත් මැලි නොවන්නේය. ඔවුන් විසින් පවත්වනු ලබන දේශනවලදී පවා නිහතමානීව තමුන්ගේ අතීතය ගැන පැවසීමට වගබලා ගනිති.   


සාමාන්‍යයෙන් මහා පරිමාණ අංශයේ සමාගමක් ආරම්භ කිරීමට විශාල ප්‍රාග්ධනයක් වැයවේ. එහෙත් මෙවැනි අන්තර්ජාලය හා සම්බන්ධ වූ ව්‍යාපෘති දියත් කිරීමේදී මූලිකවම වැදගත් වෙන්නේ සංකල්පය පමණෙකි. එනිසා ගූගල් යනු සත පහක්වත් නොයොදා ඇරඹි සංකල්පයක ක්‍රියාත්මකවීමක් මෙන්ම ප්‍රායෝගික කරවීමකි.   


සාර්ථකත්වයේ ගමනකට ප්‍රවේශවීම


1998 දී ගූගල් තම ක්‍රියාකාරිත්වය, එනම් සමාගමක් ලෙස පටන් ගැනුණේ පහසුකම් සහිත සුඛෝපභෝගී ගොඩනැගිල්ලක සිට නොවේ. කැලිෆෝර්නියාවේ මෙන්ලෝ පාක්හි, සැන්ටා මාගරිටා හි සුසාන් වොජිසිකිගේ ගරාජයේදීය. එනම් පසුකලෙක සර්ජි බ්‍රින්ගේ බිරිඳ වූ ඈන් වොජ්සිකිගේ වැඩිමහල් සහෝදරිය සතු ගරාජයේදීය. මෙම සුසාන් වොජ්සිකි යනු වත්මනෙහි ‘‘යූ-ටියුබ්’’ සමාගමේ ප්‍රධාන විධායිකාව වන්නීය. එදා ගූගල්හි ප්‍රථම අලෙවි කළමනාකාරවරිය ලෙස කටයුතු කර ඇත්තේ ඈන් වොජ්සිකිය. ඇය 2007 දී ගූගල්හි සම නිර්මාතෘ සර්ජි බ්‍රින් සමග විවාහ වූ අතර මේ විවාහය පැවැතියේ 2015 වන තෙක් පමණෙකි. සර්ජි බ්‍රින් වෙනත් අසම්මත ප්‍රේමයක වෙලී සිටීම ඊට හේතුව විය. පසුව ඔහු නිකොලේ සනහම් සමග විවාහ විය. නමුත් විශේෂත්වය වන්නේ බ්‍රින් සහ වොජ්සිකි දික්කසාද වූවද, දෙදෙනා එක්ව සමාජ සත්කාරක පදනමක් ලෙස ආරම්භ කළ බ්‍රින්-වොජ්සිකි පදනම තවදුරටත් දෙදෙනා එක්ව - පවත්වාගෙන යාමය. බ්‍රින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුරේ ප්‍රබල සාමාජිකයකු ලෙස ඊට ආධාර පවා කළ අයෙකි. බැරැක් ඔබාමා හට ජනපති සටනේදී බොහෝ සෙයින් උදව් කර තිබේ.   


මේ පෞද්ගලික විස්තර සමග අප කියා ගෙන ආවේ, ගූගල් සාර්ථක ගමනකට ප්‍රවේශවීමේ වසර ගැනය. 1999 යනු ඒ වසර වීය. කැලිෆෝර්නියාවේ පාලෝ ඇල්ටෝ වෙත සමාගම් මූලස්ථානය ගෙන ගිය අතර ඉනික්බිතිව අංක 1600 ඇම්පිතියටර් පාක්වේ නමින් අපූරු ගොඩනැගිල්ල නිර්මාණය කළේ කැලිෆෝර්නියාවේ මවුන්ටන් වීව් හිදීය. එය නිර්මාණය කර ඇත්තේ ඉපැරණි රෝම රඟහලක ආකෘතියක් මෙනි. එනම් ග්‍රීක හා රෝම ගෘහ නිර්මාණශිල්පයට අනුව අතීතයේදී රංගශාලා ඉදිකෙරුණි. ඒවා ගෝලාකාර හැඩයක් ගත් අතර පිරිස වටේ සිට නාට්‍ය හෝ ප්‍රසංග නැරඹීම සිදුකරයි. මෙම ගූගල් ප්‍රධාන ගොඩනැගිල්ල නිමවා ඇත්තේ එවැනි ආකාරයටය. වත්මනෙහි එහි ප්‍රධාන විධායකවරයා වන්නේ සුන්දාර් පිච්චෙයි වන අතර, රූත් පෝරාට් ප්‍රධාන මූල්‍ය විධායිකාව වන්නීය. 

 
විශ්වාස කරන්න, එදා දහදොළොස් දෙනෙකුගෙන් ඇරැඹි ගූගල්හි පමණක් අද සේවය කරන පිරිස 1,14,000 (එක් ලක්‍ෂ දාහතර දහස) ඉක්මවා සිටිති. ඇල්ෆාබෙට් සමාගම් සමූහයේ සේවය කරන පිරිස එක්ලක්‍ෂ විසිදහසකට ආසන්නය.   


ගූගල් ලෝගෝව (ලාංඡනය)   


ඔබ පරිගණක තිරය ඔස්සේ දකින ගූගල් අක්‍ෂර ලාංඡනයද සුවිශේෂි එකකි. එනම් සමාගමක සළකුණ සඳහා අක්‍ෂර පමණක් ආකර්ශනීය අයුරින් මෙලෙස යොදා ගන්නා තවත් එක් සමාගමක් ලෙස ‘‘ගූගල්’’ සඳහන් කළ හැකිය. එහි පළමු ලාංඡනය සර්ජි බ්‍රින් විසින්ම නිර්මාණය කළ බව සඳහන් වේ. පසුව 1999 සිට 2013 දක්වා කාලයේදී එය දිගින් දිගටම වෙනස් කර තිබේ. රුත් කේඩාර් විසින් එම නිමැවුම් කළ බව සඳහන්ය. පසුව අක්‍ෂර නිර්මාණ රටා ඇදීමේ ප්‍රකට චරිතයක් වෙන ඩෙනිස් හ්වෑන්ග්ගේ සේවයද ලබාගෙන වෙනස්කම් කර තිබේ.   


‘‘අපි ඇල්ෆාබෙට් යන නමට කැමති වූයේ එහි අරුත මානව වර්ගයාට වඩාත් වැදගත් වෙන භාෂාව (හෝඩිය) නියෝජනය කරන අකුරු එකතුවක් නිසයි. ගූගල් සෙවුම් සමග අප සුචිගත කරන ආකාරයෙහි හරය ලෙස අරුත්ගන්වන්නේ ඇල්ෆාබෙට් නාමයයි. එය අරුතකට එහා ගිය වඩා ආයෝජන සහ ප්‍රතිලාභ ලබන හරයකැයි’’ පේජ් විසින් ඇල්ෆාබෙට් සමූහය ඇරඹී මොහොතේ කියා සිටි අදහසය.   


මෙම අල්ෆාබෙට් සමූහයට වඩාත් ලාභ උපයා දෙන සමාගම බවට පත්ව ඇත්තේ ගූගල්ය. ඒ හරහා ප්‍රචාරය කෙරෙන දැන්වීම් සහ ඊට අදාළ කටයුතු මගින් ගූගල් වෙතින් ඩොලර් මිලියන ගණනින් උපයා දී ඇති ලාභාංශ අති විශාලය. අද ලොව වැඩිම පිරිසක් නරඹන වෙබ් පිටුව බවට පත්ව ඇත්තේ "google.com" බව සඳහන් වේ. සරසවි සිසුන් දෙදෙනෙකු විසින් පශ්චාත් නිබන්ධන පර්යේෂණය සඳහා දියත් කළ ව්‍යාපෘතිය ගිය දුර කෙතරම්ද යන්න විටෙක අදහාගත නොහැකි තරම්ය. 

 
අද ‘ගූගල්’ යනු සෙවුම්-බැලුම් සඳහා පමණක් වෙන් වූ වෙබ් පිටුවක් නොවේ. මහා ගසක් සේ අතු පතර විහිදී පැතිරී ගිය අන්තර්ජාලය හා සබැඳි ව්‍යාපෘතියකි. 


ලෝකයේ වඩාත් අගනා සමාගම් අතරට පත්වීම


ලැරිජේජ් සහ සර්ජි බ්‍රින් විසින් එදා ඉතා සරලව පටන්ගත් ගූගල් අද වෙන විට ලෝකයේ ස්ථාපිත සමාගම් අතර, තවත් අගනා - වටිනා සමාගමක් බවට පත්ව තිබේ. එදා මේ දෙදෙනා මෙම ගූගල් සේවාව ඇරඹියේ මහා ධනස්කන්ධයක් උපයන සමාගමක් වේයැයි යන අදහසින් නොවේ. එමෙන්ම ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතරට ඔවුන් එක්වේවි යන පෙර දැක්ම ඇතුවද නොවේ. එහෙත් අද ඔවුන් දෙදෙනා ලෝකයේ ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ සිටින මිනිසුන් බවට පත්ව සිටී. එදා ඔවුන් මේ වැඩේට අත ගැසුවේ අවුරුදු 22 දී පමණ වූ වයසේදීය. අද ඔවුන් ගෙවන්නේ සුපිරි ජීවන රටාවකි.   


‘‘එදා සර්ජි සහ මම ගූගල් ආරම්භ කරන විට, මේ තරම් දෙයක් වේයැයි කියා අපි සිහිනයකින් හෝ නොසිතූවෙමු. මේ තරම් තැනකට ළඟා වේ යැයි අපේක්‍ෂා නොකළෙමු.   
අපගේ ප්‍රධාන හා අනාගතය උදෙසා වූ ප්‍රයත්නය වූයේ තොරතුරු ඉතා කාර්යක්‍ෂම සොයාගැනීම වෙනුවෙන් මිනිසුන්ට වඩාත් උපකාරිවෙන නිර්මාණයක් කිරීමටයි. මිනිසුන්ට උදව් කිරීම යන්න අපගේ තේමාව වුණා.’’   


ගූගල්හි සාංවත්සරික උත්සවයකදී තොරතුරු සොයා යාම සඳහා අන්තර්ජාලයේ වෙබ් පිටු වෙනුවෙන් නව පිටුවක් නිර්මාණය කිරීමට සමත් වූ ‘‘පේජ්’’ විටෙක කියාසිටියේ එලෙසිනි.   


එදා 1995 දී පමණ පේජ් හට බ්‍රින් හමුවූ හැටිද එක්තරා විදියක අන්පේක්‍ෂිත වූ දෙයකි. ස්ටැන්ෆර්ඩ් සරසවිය වෙත ගොස් සිටියදී බ්‍රින් පේජ්ට වඩා එක් වසරකින් ජ්‍යෙෂ්ඨ වූවකුව සිටියේය. පළමු වසර සිසුන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සරසවියේ තොරතුරු කීමට සහ මාර්ගෝපදේශකත්වය ලබාදීමට බ්‍රින් ඉදිරිපත්ව සිටියේය. ඔවුන් දෙදෙනාගේ පළමු හමුව දෙදෙනාට දෙදෙනා හොඳ අවබෝධයකින් හමුවූවක් නම් නොවේ. එකිනෙකාගේ අදහස්වලට පරස්පර විරෝධී වූ දෙදෙනෙකු වීය. එහෙත් ඊළඟ වසරේදී දෙදෙනා එක්වූයේ ශක්තිමත් මිත්‍රශීලිත්වයකිනි. එයින් පසුවද දෙදෙනාගේ මිත්‍රත්වය ගෙවී ගියේ තැබෑරුම්වල හෝ රාත්‍රී සමාජශාලාවල නොවේ. ඔවුන් තමා උගත් දේ වෙතින් ලෝකයට අලුත් යමක් කිරීමේ අභිප්‍රායයෙන් නිරන්තර තර්ක විතර්ක කළෝය. එය යථාර්ථයක් වූයේ මේ තර්ක කිරීම් ප්‍රශ්න කිරීම් නිසාය. මෙය කියවන අපගේ ශ්‍රී ලාංකීය තාරුණ්‍ය මේ පේජ් සහ බ්‍රින් වෙතින් ගත යුතු දේ වෙන්නේ, නිකරුණේ විහිළුතහළු කිරීම්වලට වඩා තමා උගත් දෙයින්, එය විනෝදාංශයක් කරගෙන අලුත් යමක් කිරීමට උත්සාහ ගැනීමය. මක් නිසාද යත් සමාජ මාධ්‍ය දෙස බැලීමේදී බොහෝ නිර්මාණශීලි චරිත සිටින බව දැක ගත හැකි දෙයකි. ඒ නිර්මාණශීලිත්වය පේජ් සහ බ්‍රින් මෙන් ප්‍රායෝගික කරවීමේ හැකියාව ඔවුනටද තිබේ. ඒ හැරත් අද ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ රිද්ම සහ නැඹුරුව බවට පත්ව ඇත්තේ අන්තර්ජාලය හා සබැඳි තාක්‍ෂණය උදෙසා බොහෝ නව නිර්මාණ කිරීම රිද්මය වෙනුවෙනි.

 

 

සටහන - සඳුන් ගමගේ