IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කුඩු ජාවාරම් කළ එකම පවුලේ පස්දෙනා ඇල්ලූ හැටි

 සැකකරුවන් පිරිස සැඟව සිටි හෙරොයින් ජාවාරමේ නිරත වූ නිවස 

 

ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, නුගේගොඩ ඇතුළු ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහපරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත පවුලක් මහරගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් පසුගියදා අත්අඩංගුවට ගත්හ.  


 මොවුන් අතර එකම පවුලේ මව, පියා, දියණියන් දෙදෙනා සහ එක් දියණියගේ පෙම්වතා බව කියන 24 හැවිරිදි තරුණයෙක් සිට ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව රුපියල් ලක්ෂ 60කට අධික වටිනා මත්කුඩු තොගයක් තිබී ඇත.   


මොවුන් අත්අඩංගුවට පත් වූයේ මහරගම, දෙපානම, වීරමාවත ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ඒ තුළ සිට මත්කුඩු පැකට් කරමින් සිටින අතරේය. එම අවස්ථාවේ ඔවුන් සතුව පැකට් 640ක ප්‍රමාණයක් සහ ගුලි වශයෙන් තවත් ප්‍රමාණයක් තිබී ඇත. එහි ප්‍රමාණය ග්‍රෑම් 481යි මිලිග්‍රෑම් 300කි. 


මෙරට තුළ පවුල් පිටින් හෙරොයින් ජාවාරම් කරන්නන් අනන්ත අප්‍රමාණ සිටිය ද හෙරොයින් පැකට් කරමින් සිටි පවුලක් එකවර එකම මොහොතේ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය වූ බව පොලිසිය කියයි. 
ගල්කිස්ස බඩෝවිට පදිංචිකරුවන් වන මෙම පිරිස මෙලෙස රහසිගතව පැකට් කර ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි ප්‍රධානපෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකුට අයත් මත්කුඩු බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇත. 


 මෙම සිද්ධියේදී ප්‍රධාන සැකකාරිය වූයේ අලුත්ගෙදර දිල්රුක්ෂි (27) නමැති දෙදරු මවකි. ඇය මීට පෙර හෙරොයින් සමඟ ගල්කිස්සේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර එම නඩුව වෙනුවෙන් ඇය ඇපමත සිටින්නීය. ඇයට එරෙහි නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතියි. 


බොරලස්ගමුවේ ඉහත ජාවාරම්කරු ද මීට පෙර හෙරොයින් වෙනුවෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකි. 


සැකකාරිය හෙරොයින් නඩුව වෙනුවෙන් බන්ධනාගාරයේ සිට ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන අතරතුර සැකකරු ද ඔහුගේ නඩුව වෙනුවෙන් රැගෙන එයි. 
අධිකරණය වෙත රැගෙන එන අතරතුරදී මෙම දෙදෙනා හිතවත් වී ඇති බව පොලිසිය පවසයි. 


 එම හිතවත්කම දුරදිග ගොස් ඇපමත පැමිණි පසුව ද එම සැකකරු සිය හෙරොයින් ජාවාරමට ඉහත සැකකාරිය සම්බන්ධ කරගෙන තිබුණි. 


මෙම කාන්තාව ගල්කිස්සේ සිට මෙම මත්කුඩු ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති අතර පොලිසියට හසුවීම නිසා පොලිසියේ ඇසින් බේරී මෙම ජාවාරම සිදුකර ගැනීමට ඇයට අවශ්‍යව තිබිණි. 
ඒ වෙනුවෙන් නිවෙස් කිහිපයක් බැලුවද හොර රහසේ සැඟව සිටීමට තරම් නිවසක් ඇයට හමු නොවීය. 

 

අත්අඩංගුවට ගත් හෙරොයින් මත්කුඩු තොගය

 


ඒ අතර අන්තර්ජාලයේ දැන්වීමක් අනුව ඉහත දෙපානම වීරමාවතේ නිවස ඇය දකින අතර එම නිවස වෙල්යායකට මායිම්ව හුදකලා වූ අපූරු නිවසකි. 


නිවසේ පිහිටීම අනුව මෙම හුදකලා නිවස ඇගේ ජාවාරමට කදිම ස්ථානයක් බවට සිතා ඇය මාසයකට රුපියල් 28,000ක මුදලකට කුලී පදනම මත මීට මාසයකට පෙර ලබා ගෙන ඇත. 


නිවස ලබාගත් ඇය එහි සිට ගෝලයන් දෙදෙනකු යොදාගෙන මත්කුඩු පැකට් කිරීම අපූරුවට කරගෙන ගියාය. 


බොරලැස්ගමුවේ සැකකරු ලබාදෙන හෙරොයින් ඇය මෙම නිවස තුළදී කිරා කුඩා පැකට් වශයෙන් සකස් කරන අතර පැකට් සකස් කර අවසන් වූ පසු බොරලැස්ගමුවේ සැකකරුට ඒ බව දැනුම් දුන් විට බොරලැස්ගමුවේ සැකකරු අතරමඟ ප්‍රදේශයකට පැමිණ සැකකාරියට අවශ්‍ය මුදල් ලබාදී එම මත්කුඩු පැකට් රැගෙන යන්නේය. 


සැකකාරි මෙම නිවස ගත්තද ඒ අවට කිසිවකු සමඟ වැඩි සම්බන්ධයක් පවත්වා නැත. නිතරම සිටින්නේ ද නිවසේ සියලු දොර ජනෙල් වසාගෙනය. 


නිතර නිතර තරුණයින් නිවසට පැමිණිය ද ඔවුන් නිවස තුළට ගෙන යළි සියලු දොර ජනෙල් වසා දමයි. 


මෙම නිවැසියන්ගේ ක්‍රියාකලාපය අවට වැසියන්ට ගෙන දුන්නේ මහත් සැකයකි. මෙම නිවස තුළ කිසියම් සැකකටයුතු දෙයක් සිදුවෙන බවට ඔවුහු සැකකළහ. 


ගමේ කිසිවකු මෙම ඔත්තුව ලබාදෙන්නේ මහරගම පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි කොතලාවල මහතාටයි. 


 “සර්... මේ ගෙදර මිනිස්සු නිතරම ඉන්නේ දොර ජනෙල් වහගෙන, කොල්ලොත් නිතරම මේ ගෙදරට එනවා. අපිට මේ ගේ ගැන සැකයි. මොනවා හරි දෙයක් මේ ගේ තුළ සිදුවෙනවා” යැයි ඔත්තුකරු කොතලාවල මහතාට දැනුම් දුන්නේය. 


එම දැනුම්දීම අනුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම නිවැසියන්ගේ ක්‍රියාකලාපය පොලිසියට දැකගැනීමට හැකි විය. ඒ අනුව උප පොලිස් පරීක්ෂක උපාලි කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (45042) සුමතිපාල, ප්‍රේමචන්ද්‍ර (14965), වික්‍රමසිංහ (86236), කාන්තා පොලිස් කොස්තාපල් හංසමාලි (10282), පොලිස් කොස්තාපල් රියදුරු (15514) චතුරංග, බුද්ධ අංශ කොස්තාපල්වරුන් වූ (43884) අබේරත්න, (41127) යන මහත්ම මහත්මීන් කණ්ඩායමක් ඉකුත් (14) දින පෙරවරුවේ 8.30ට පමණ මෙම නිවසට පරීක්ෂා කිරීමට පැමිණියහ. 


 නිවස වටලන අවස්ථාවේ නිවසේ ජනෙල් සියල්ල වසා දමා තිබී ඇති අතර එක් ජනේලයක් හා ප්‍රධාන දොර පමණක් මඳක් විවෘත කර තිබී ඇත. 


නිලධාරීන් බාගෙට විවෘත කර තිබූ ජනේලයෙන් බැලීමේ දී එහි එක් කාමරයක තිදෙනෙක් කිසියම් ක්‍රියාවක නිරතවෙමින් සිටිනු දැක ඇත. පිරිසක් නිවස වටකරමින් සිටියදී තවත් පිරිසක් බාගෙට විවෘත කර තිබූ දොරින් නිවස තුළට ඇතුළු වූහ. 


 නිවසේ සාලයේ තරුණයෙක් හා තරුණියක් නිදාගෙන සිට ඇති අතර යාබඳ කාමරයේ තිදෙනෙක් එක්ව මත්කුඩු පැකට් කරන අයුරු දැකගත හැකි විය. 


ඔවුන් මව, පියා, සහ දියණිය වශයෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ හෙළි කරගත්තේය. පියා විසින් කිරන ලද මත්කුඩු බිරිඳ හා දියණිය විසින් සියුම් ලෙස පැකට් කරමින් සිටියහ. 


 පොලිස් නිලධාරීන් නිවස තුළට කඩා වැදුන අවස්ථාවේ මොවුන්ගේ හෙරොයින් ජාවාරම අතටම හසු වූ අතර ඔවුන්ට කර කියා ගත හැකි දෙයක් නොවීය. 


සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දිල්රුක්ෂි අයේෂා නමැති සැකකාරියගේ මත්කුඩු පැකට් කරන ගෝලයන් දෙදෙනා මීට සතියක පමණ කාලයක සිට මත්කුඩු පැකට් කිරීම සඳහා මෙම නිවසට නොපැමිණි අතර ඇයට මේවා තනිවම කරගැනීමට නොහැකි හෙයින් ඇය ඒ සඳහා සිය දෙමාපියන්ගේ උපකාර ඉල්ලා තිබුණි. 

 

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ එම වැටලීම කළ නිලධාරීන් පිරිස

 

 

ඒ අනුව දියණියගේ මත්කුඩු ජාවාරමට සහය දැක්වීම සඳහා මව හා පියා මීට දින පහකට ඉහතදී මෙම නිවසට පැමිණ ඇත. 


ප්‍රධාන සැකකාරිය වන දියණියට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් ඇගේ පියා වන අලුත්ගෙදර ආරියදාස හෙවත් මද්දුඅයියා (57), මව වන කලුබෝවිලගේ නිල්මිණි (45), අත්අඩංගුවට ගැනිණි. 
මෙම නිවසේ සිටියදී ප්‍රධාන සැකකාරියගේ 17 හැවිරිදි නැගණිය හා ඇගේ පෙම්වතා බව කියන 24 හවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් සිද්ධියට ඍජු ලෙස සම්බන්ධ වී නොමැති බවට හෙළිවීමෙන් පසු ඔවුන් දෙදෙනා මුදා හර තිබුණි. 


අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ සැමියා ත්‍රිරෝද රථ රැකියාවේ නිරත වෙමින් සිට මීට මාස 7 පමණ පෙර මියගොස් ඇති අතර සැමියාගේ මියයාමෙන් පසුව ඇය මෙම ජාවාරම මහපරිමාණයෙන් සිදුකරගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි. 


ඒ අනුව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇගේ මව හා පියා දින 7ක රැඳවුම් නියෝග මත පොලිසිය රඳවා ගෙන ප්‍රශ්න කෙරේ. 


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ උපදෙස් පරිදි මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එස්. මීඩින් මහතාගේ මෙහෙයවීමෙනේ මහරගම දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපාලි කොතලාවල මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

 

 

 

 

 

සටහන - ඉන්දිකා රාමනායක 
ඡායාරූප - මොරගහේන  බුද්ධික කුමාරසිරි



අදහස් (0)

කුඩු ජාවාරම් කළ එකම පවුලේ පස්දෙනා ඇල්ලූ හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site