IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලියාට ගිනි බින්ද ආරොන් එදිනම වෙඩි වැදී මරුට

ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.


බිංගිරිය - කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා තිබූ කතාවක් මෙසේය.

කළ පවට ලැබුණු දරු සම්පත


අල්පොන්සු මුදලාලි උඩරට පළාතේ ජීවත්වූ මහා පරිමාණ මස් කඩ ව්‍යාපාරිකයෙකු විය. ඔහුගේ අනෙකුත් සහෝදරයින්ද කළේ එම ව්‍යාපාරයමය. දිනපතා ගවයින් හා ඌරන් පනහක් හැටක් පමණ මරණු ලැබූ ඔහු ප්‍රදේශයේ තැනින් තැන තිබූ ඔහු​ෙග් මස් කඩවලට අලෙවිය සඳහා මස් යැව්වේ තමාගේම වාහනවලිනි. පාසලකට අල්ලපු ඉඩමේ පිහිටා තිබූ ඔහුගේ නිවසෙහි එළිමහනේ මරණු ලැබූ හරකුන්ගේ ඌරන්ගේ අපද්‍රව්‍ය වෙයි. මෙම අපද්‍රව්‍ය සුනඛයින් විසින් දිනපතා පාසල් භූමියට ගෙන ගොස් දමනු ලබයි. මෙම අපද්‍රව්‍ය අතර හරක් ඔළු, ඌරු ඔළු හා ඔවුනගේ වෙනත් අවයවද වෙති.


මෙම අශෝභන ක්‍රියා මැඩපැවැත්වීම සඳහා පසු කලෙක ඊට ගත යුතු විසඳුමක් ලෙස එම ඉඩම හා නිවස රජයට පවරාගෙන එම ඉඩම හා නිවස පාසලට ලබා දුන්නේ පසුගිය රජයකිනි. එකල හරක් හා ඌරන් මැරුමුවට පත් කිරීමේදී ඔවුන් නගන ඒ විලාප හඬ නිතර දෙවේලේ පාසල් සිසුනටද ඇසෙයි. සතුන් මරන හැටිද දක්නා මෙය ඔවුන්ගේ මානසික තත්ත්වයටද තදින්ම බලපෑවේය.


කාලය මෙසේ ගෙවී යද්දී අල්පොන්සු මුදලාලිගේ බිරියට දරුවෙකු ලැබුණි. කළ අපරාධවල මහත කෙතරම්ද යත් අභාග්‍යයකට මෙන් මේ අලුත උපන් දරුවාගේ ශරීරය සම්පූර්ණයෙන්ම වසු පැටියකු සේය. බිලිඳා හඬන හඬද වසු පැටියකුගේ හඬට බොහෝ සෙයින් සමාන විය. බිලිඳා ලැබී මාස කිහිපයකට පසු ඔහු රෝගාතුරව මිය ගියේය. මෙම අස්වාභාවික සිද්ධිය මුළු ප්‍රදේශය පුරාම ක්ෂණිකව පැතිර ගියේය.


අල්පොන්සු මුදලාලි ඇතළු එම පවුලේ උදවිය වසර ගණනාවක් තිස්සේ කළ මහා පාපක්‍රියා තමාගෙන් උපදින දරුවනට පවා මෙසේ පඩිසන් දී ඇති බැව් ප්‍රදේශවාසීහු පැවසූහ. මෙය දිට්ඨ ධම්ම වේදනීය කර්මය අනුව සිදුවීමක් බැව් හොඳ හැටි පැහැදිලි විය.

 



අම්පාර මිහිඳුපුර අයි.ජී. ගුණපාල මහතා ලියා එවූ කතාවකි.

අලියාට ගිනි බින්ද ආ​ෙරාන් එදිනම වෙඩි වැදී මරුට


තිස් වසරකට පෙර උඩරට පළාතේ නගරයකට නුදුරින් පිටිසර ගම්මානයක් තිබුණි. මෙහි ජනතාව ගමේ තිබුණ සුළු කුඹුරු බිම් ප්‍රමාණයක් වගාකිරීමෙන් හා ගම අවට තිබුණ කැලෑ කපා හේන් ගොවිතැන් කිරීමෙන් දිව ගෙවූහ. ඔවුන්ට වන සතුන්ගෙන් ගොවිතැන් රැක ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවීය. මේ නිසාම ඔවුහු රෑ පැල් රැකීම වගේම විවිධ උපක්‍රමද යොදා ගැනීමටද පුරුදුව සිටිති.


ගොවි බිම්වලට සතුන් එන තැන් බලා තුවක්කු බැඳ තැබීම, උගුල් ඇටවීම, හබක් ඇටවීම, බොරුවළවල් කපා තැබීම වැනි දෑ ඒ අතර විය. මේ සඳහා වැඩි දෙනෙක් රජයෙන් බලපත්‍ර ලබාගෙන තුවක්කු භාවිත කළ අතර කම්මල්කරුවන් ලවා බඳින තුවක්කු රහසිගතව සාදවාගත්හ.


මෙහි විසූ ගොවියකු වූ ආරොන් දක්ෂ වෙඩික්කාරයෙකුද විය. එක් හේන් කන්නයක දී මොහුගේ හේනට වන අලියෙක් පැමිණ සියලු භෝග කා විනාශ කළේය. මෙයින් කෝපයට පත් ආරොන් අලියාගෙන් පළිගැනීමට සිතා ගත්තේය. ළඟම හිතවතා වූ රොමියෙල්ට අලියා කළ විපත ගැන කීවේය. මම ඕකට හොඳ පාඩමක් උගන්වනවා. නැති නම් අදත් ඇවිත් ඉතිරි ටිකත් කාලා යයි. මට හිඟාකන්න තමයි වෙන්නේයි කෝපයත් ශෝකයත් මුසුව කීවේය.


දැන් මොකද කරන්නේයි රොමියෙල් ආරොන්ගෙන් ඇසුවේය.


යන්කෝ මගේ හේන පැත්තට ගිහින් එන්නයි කියූ ආරොන් යන්නට ගියේය.


ආරොන්ගේ හේනට යන පාර තිබුණේ රොමියෙල්ගේ නිවස අසලිනි. ආරොන් වහාම නිවසට ගොස් බිරිඳට ද දන්වා රොමියෙල් ද සමග හේනට ගියේය. එසේ ගිය ඔවුහු අලියා හේන කා කැලයට වැදුණු තැන සොයාගෙන අඩි සලකුණු ඔස්සේ වනය මැදින් සැතපුම් දෙකක් පමණ ඈතට ගියහ. වනය මැදින් ගලායන දිය පාරක් අසල පිරී ඇති වතුර වළකට බැස දියනාමින් සිටින අලියා ඔවුන්ට ඈත තියාම දක්නට ලැබුණි.


දක්ෂ වෙඩික්කාරයෙකු වූ ආරොන් අලියා දු​ටු හැටියේම රොමියෙල්ට ගසකට මුවා වී සිටීමට කියා හිඟුරු පදුරු අතරින් සැඟවි සැඟවී අලියා අසලටම ගොස් නිලයක් බලා වෙඩි තැබුවේය. වෙඩි පහර කෑ අලියා දඟලමින් දිය වළෙන් ගොඩට ඒමට උත්සාහ කෙළේය. ඔහු​ෙග් එම උත්සහය අසාර්ථක විය. ඒ ආරොන්ගේ දෙවැනි වෙඩි පහරටද ලක්වීම නිසාය. අලියා සුළු මොහොතකින් දියවල තුළම වැතිර ගත්තේ ජීවිතයෙන් සමුගෙනය.


ඒ දෙස බලාසිටි ආරොන් රොමියෙල්ට කතා කොට ඔන්න චණ්ඩියා ආයේ හේන් කන්න එන්නේ නෑ යි. මහත් උජාරුවෙන් කීවේය.


ඉන් පසු ඔවුන් දෙදෙනා කැලය මැදින් ආපසු ඒමට පිටත් වූයේය. මෙය ගමේ කිසිවෙකුටත් දැනගැනීමට ඉඩනොතබා රහසක්ව තබාගැනීමට කතා කරගත්හ.


ඔවුන් ගිය පාරේම ටික දුරක් පැමිණ වෙනත් කැලෑරොදක් හරහා යෑමට හැරුණේය. ඒ යන ගමන් වෙනත් සතෙකු දඩයම්කර ගැනීමට හැකිවේ යයි සිතීමෙනි.


ඒත් ඔවුන්ට එම කැලෑරොද මැදින් යාමට ලැබුණේ සුළු දුර ප්‍රමාණයකි. ඔවුන්ගේ සියළු බලාපොරොත්තු සුනුවිසුනු කරමින් හෙණ හඬක් මෙන් නැඟුණේ ගමේ කිසිවෙකු විසින් බැඳ තබන ලද තුවක්කුවක මරු වැල ආරොන්ට පෑගීමෙන් පත්තු වූ නිසාය. ඉදිරියෙන් ගමන් කළ ආරොන් ඇද වැටී පොළොව බදාගත්තේ දිවියෙන් සමුගෙනය.


බියෙන් තැතිගත් රොමියෙල් ආපසු දිවගොස් මුලින් පැමිණි මග ඔස්සේ ආරොන් ගේ හේන මැදින් ගමට පැමිණියේය. නිවසට ගිය ඔහු කිසිවකු සමග කතා බහක් නොකර බූරු ඇඳට ගොස් නිදාගෙන කල්පනා කරමින් සිටියේය. එදින ඇඳිරි වැටීගෙන එනතෙක්ම ආරොන් ගෙදර නොපැමිණි නිසා ඔහුගේ බිරිඳ කලබල වූවාය. ඇය අහල පහල ගෙවල්වලටද ගොස් ආරොන් හේනට ​ගොස් නොපැමිණි බව පවසා හේනට ගොස් බලන මෙන් කීපදෙනකුටම කීවාය. විදුලි පන්දම් හා තුවක්කුද රැගෙන කීපදෙනෙක් ගොස් බලා පැමිණ ආරොන් හේනේ නැති බව පැවසූහ. මේ අතර ගමේ එක් අයෙකු රොමියෙල් සමග ආරොන් හේනට යනවා දුටු බව කියා තිබුණි.


පසු දින ආරොන්ගේ බිරිඳ තවත් කීප දෙනෙකු සමඟ නගරයේ පොලිසියට ගොස් ආරොන් හේනට ගොස් ගෙදර නොපැමිණි බවට දැන්වූවාය. පොලිසියෙන් පැමිණ මේ ගැන සොයා බලා රොමියෙල්ගෙන්ද ප්‍රශ්න කළේය. රොමියෙල් සිදු වූ සියල්ලම පොලිසියට කීවේය. ඒ අනුව පොලිසිය රොමියෙල් සමග ගොස් ආරොන්ගේ මළ මිනිය හා ඔහුගේ තුවක්කුවද පමණක් නොව ආරොන්ට වෙඩි වැදුණ කැලයේ බැඳ තිබූ තුවක්කුවද අලියාගේ මළ කුණද සොයා ගත්හ. රජයේ අදාළ අංශවල නිලධාරීන්ගේ පරීක්ෂණවලින් පසු ආරොන්ගේ මළ මිනිය ගමට ගෙන එනු ලැබීය. රොමියෙල් පොලිස් අත්අඩංගුවට පත්විය.


​අනේ. ආරොන් අයියා හොඳ මනුස්සයා. ඒත් අර අලියට කළ අපරාධය පල දීලා තමයි එයාටත් මේ විපත්තිය සිද්ධ වුණේයි. ගමේ කවුරුත් තැන තැන්වල කියනු කාටත් අසන්නට ලැබුණි.


මේ ආත්මයේදීම කළකම් පලදෙන බවට මෙය හොඳම සාක්ෂියක් නොවේද?

 


මතුගම පියසෝම දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.

උෟරන්ට ඇටවූ විදුලිසැර වැදී බින්දුවාට දිවි අහිමි වේ


කලකට පෙර ගැමියෙක් ඌරුකොටුවක් තනා දින දෙක තුනකට වරක් ඌරෙකු මරා නරගයට ගෙන ගොස් මස් විකුණා ජීවත්වූයේ සතුන් මැරීමේ පාපාකර්මය බරපතළ බව නොදැන නොවේ. ඔහු ඌරන් මැරීම ආරම්භ කළ දා පටන්ම බලවත් ලෙස රෝග පීඩාවන්ට ගොදුරු විය. 


කොතෙක් ප්‍රතිකාර කළත් එයින් සුවයක් නොලත් මේ තැනැත්තාට ගමේ උදවිය පවසා සිටියේ වහාම ඌරු කොටුව නවතා දමන ලෙසය. මුලදී සල්ලි ආකරයක් වූ උෟරුමස් වෙ​ෙළඳාම නතර කර දැමීමට අකැමැති විය. එහෙත් ගමේ පන්සලේ නායක හිමිනමගේ කීම පිළිගත් මේ මස්වැද්දා හඳුනානොගත් රෝගයකින් තමා මියයන බව තේරුම් ගත් නිසාවෙන් ඌරුකොටුව නතරකර දැමීමට පියවර ගත්තේය. එහි රැඳි ඌරු රංචුව අසල වනයට පලවා හැරියේය. සතියක් දෙකක් ගතවෙනවිට කරන ලද ප්‍රතිකාරවලින් ඔහුට සම්පූර්ණ සුවය ලැබුණේ බලා සිටියදීමය. කැලෑ වැදුණ උෟරන්ගෙන් ගමේ උදවියට සිදුවූයේ බලවත් කරදරයකි. රාත්‍රී කාලයට ගම් වදින උෟරන් කුඹුරු ගොවිතැන් පමණක් නොව අල බතල වගාවන් හා එළවළු කොටු විනාශ කර දමා එළිය වැටීමට පෙර ඝන කැලෑව තුළට රිංගා ගැනීම සිරිතක්ව පැවතුණි.


උදැහැනැක්කේ තම කුඹුර​ට ගිය බිංදුවාට දක්නට ලැබුණේ පසුදින රාත්‍රීයේ කරල් පැසී තිබුණ තම කුඹුරේ ලියදි දෙක තුනක් ඌරන් පැමිණ කා දමා වනසා ඇති බවය. දණ්ඩෙන් පහර කෑ නාගයෙක් සේ බලවත් ලෙස කෝපයට පත් බිංදුවා ඌරන්ට වී නොකන්නට පාඩමක් උගන්වන්නෙමි යයි සිතා ගෙදර පැමිණියේය. දිග කම්බි රෝලක් ගෙන හැන්දෑවේ තම කුඹුර කරා ගිය බිංදුවා කුඹුරට වට අඩියක් පමණ ඉහළින් නියර දිගේ කම්බිපොටක් ඇද රෑ බෝ වීමට පෙරාතුව අසල වූ මාර්ගය අයිනක වූ විදුලි කම්බියකට කුඹුර වටා අදින ලද කම්බියේ කෙළවරට කොක්කක් ගසා උණ ලීයක ආධාරයෙන් විදුලිය සම්බන්ධ කෙළේය. හොර රහසේම රාත්‍රී ආහාරය පවා නොගෙන නින්දට ගියේය. එහෙත් පැය කීපයක් නිදි වර්ජිතව ඇඳේ ඒ මේ අත පෙරළෙමින් සිටි බිංදුවා පාන්දර පහට පමණ කුකුළෙකුගේ හඬ ඇසී නිවසේ පිටුපස දොරින් එළියට විත් තරුඑළියේ කුඹුර වෙත ගියේ මැරී ඇති ඌරන් බැලීම පිණිසය. එදින රාත්‍රියේ අධික ලෙස වර්ෂාව පැවති බැවින් තමාගේ කුඹුරේ ලියදි පවා ජලයෙන් පිරී ඉතිරෙමින් තිබුණි. අධික නිදිමතේ ඌරුමස් කෑමේ ගිජුකමින් තම කුඹුරේ නියරට ගොඩනැගුණ විටම තමා ඇදි විදුලි කම්බිය පය පැටළුණි. බිංදුව​ා වතුරට ඇද වැටෙන විට විදුලි සැර වැදී මිය ගොස් හමාරය. ගම්මුන් මොහු ගැන සොයා බැලූ විට කුඹුරේ විදුලි සැර වැදී මියගොස් සිටි බිංදුවාගේ මළ සිරුර හමුවිය. අනුන්ට කිරීමට තැත්කළ විපත තමන්ටම පෙරළී තිබිණ.


මෙබඳු කතා ඔබත් දැන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

අලියාට ගිනි බින්ද ආරොන් එදිනම වෙඩි වැදී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31136 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 267 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site