ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව තිබී නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1948 පෙබරවාරි 4 වැනිදාය. පාර්ලිමේන්තුව රටතුළ ස්ථාපිත කරනු ලැබුවේ ඊට මාස 4 කට පෙරය. එනම් 1947 ඔක්තෝබර් 14 වැනි දිනය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීම එදින පැවැත්වුණ අතර ප‍්‍රථම කතානායකවරයා වූයේ ශ්‍රීමත් ෆ‍්‍රැන්සිස් මොළමුරේ මහතාය.   


ඉකුත් වසර 70 ක කාලය තුළ සිදුවූ වෙනස්කම් රාශියකි. වර්ෂ 1970 දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සෙනට් සභාව අහෝසි කිරීම, 1972 දී ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාව ලෙස නම් කිරීම, වසර 5ක නිල කාලය වසර 6ක් දක්වා දීර්ඝ කිරීම මන්ත්‍රී සංඛ්‍යාව 225 දක්වා වැඩි කිරීම, විධායක ජනාධිපතිධුරය ඇති කිරීම, මහජනතාව ඍජුවම ඡන්දය පාවිච්චි කර ජනාධිපතිවරයා තේරීම, ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරු 196 හා ජාතික ලැයිස්තුවෙන් 29 දෙනකුගෙන් සමන්විතවීම ආදී වශයෙන් තීරණාත්මක අභියෝග රාශියක් ජය ගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හැකිවිය.   


ඒ පාර්ලිමේන්තුවේ ඉතිහාසයෙන් කරුණු ස්වල්පයකි. වසර 70ක ඉතිහාසයක් ඇති පාර්ලිමේන්තුවේ රස මුසු සිදුවීම්ද ගණනාවකි. ඒ සිදුවීම් අතරින් බිඳක් සාකච්ඡා කිරීමට එක්වී සිටින්නේ එම්. කේ. රාහුලන් මහතාය. පාර්ලිමේන්තුවේ වසර 70 ක කාලයෙන් හරි අඩකට ආසන්න කාලයක් එහි සේවය කරනු ලැබූ රාහුලන් මහතා කාර්ය මණ්ඩලයට එක්වී ඇත්තේ සහන කතා පරිවර්තකයකු ලෙසිනි. ඉන්පසු ස්ථිර සේවයේ නිලධාරි කතා පරිවර්තක ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක නියෝජ්‍ය ප්‍රධාන කතා පරිවර්තක හා ප‍්‍රධාන කර්තෘ පරිවර්තක හා ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ ප‍්‍රථම අධ්‍යක්ෂවරයා වශයෙන්ද රාහුලන් මහතා කටයුතු කර ඇත.   


එයට වඩා විශේෂත්වය වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රත්නසිරි වික‍්‍රමනායක, රනිල් වික‍්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන නායක නායිකාවන්ගේ නිල උත්සවවල භාෂා පරිවර්තකයා ලෙස රාහුලන් මහතා කටයුතු කර තිබීමය.   


ඔහුගේ මතකයේ විශේෂ වැදගත්කමක් ඇති සිද්ධියක් වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දෙවැනිවර පත්වීමේදී ඇය ජනතාව අමතා කළ කතාව පරිවර්තනය කිරීම පෙන්විය හැකිය. පරිවර්තනය සඳහා කැඳවනු ලැබුවේ ජනදාස පීරිස් මහතා විසිනි. “රාහුලන් මැඩම් පැය 1/2ක් විතර කතා කරාවි. ඒක දෙමළට පරිවර්තනය කරන්න. හැබැයි ලයිව් යන්නෙ යනුවෙන් උපදෙස් දී ඇත.   
ඔහු කී පැය 1/2ක කතාව පැය 3 විනාඩි 16ක කාලයක් දක්වා දීර්ඝ විය. කාලය ගෙවී ගිය වේගය පිළිබඳව තමන්ටද මතකයක් එවෙලාවේ නොතිබුණු බව රාහුලන් මහතා සඳහන් කරයි.   


පාර්ලිමේන්තු ඉතිහාසයේ රස මුසු තැන් ගණනාවක් පිළිබඳවද ඔහුගේ මතකය මෙසේය.   


කඩුවෙල හිටපු මන්ත්‍රී එම්.ඩී.එච්. ජයවර්ධන මහතා එවකට ආයතනයක හිටපු සභාපතිවරයෙක් පිළිබඳව පාර්ලිමේන්තු සභාවේදී යම් ප‍්‍රකාශයක් කරනු ලැබීය. එම ප‍්‍රකාශය අවසන්වී ඔහු සභාවෙන් පිටතට පැමිණෙද්දී රැක සිටි සභාපතිවරයා මන්ත්‍රීවරයාග් කමිසයේ කොළරයෙන් අල්ලා තර්ජනය කර ඇත. මන්ත්‍රී වරප‍්‍රසාද උල්ලංඝනය කරමින් මෙම සභාපතිවරයා කළ තර්ජනය පිළිබඳව ඔහු කතානායකවරයාට පැමිණිලි කරනු ලැබ තිබිණි. කතානායකවරයා වූයේ ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. මන්ත්‍රී වරප‍්‍රසාද ආරක්ෂා කිරීම කෙරෙහි බෙහෙවින් උනන්දුවක් දැක්වූ ආනන්ද තිස්ස ද අල්විස් කතානායකවරයා කේන්තියෙන් පිපිරෙමින් සභාපතිවරයා තමා හමුවට කැඳවා ඇත. වේත‍්‍රධාරි ආසනය සීමාවේ ආසනයක් පනවා වාඩි කරවූයේය. නඩුව විභාග කළ කතානායකවරයා මන්ත්‍රීවරයකුට හිමි වරප‍්‍රසාද ගැන පැහැදිලි කර ඔහුගේ ක්‍රියාවේ බරපතලකම ගැන දැඩිව අවවාද කර එම නිලධාරියා සතුවූ අමාත්‍යාංශයට පැමිණිලිකර මුදා හැරියේය. මේ සිදුවීම එවකට මහත් ආන්දෝලනාත්මක විය.   


රැස්වීම් දිනයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටට හිමි වරප‍්‍රසාද බෙහෙවින් ප‍්‍රබලය. විශේෂයෙන් පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළදී මන්ත්‍රීවරයකුට කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කිරීම බරපතරළ වරදක් විය. එම නිලධාරියාට අමාත්‍යාංශ මට්ටමින්ද විනය ක්‍රියා මාර්ගයක් ගෙන තිබූ බව පසුව අනාවරණය විය.   


තවත් සිදුවීමක් මෙසේය. 1976 නොවැම්බර් 12 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ රෝහණ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනය විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මණ්ඩාපාධිපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා අනධ්‍යයන සේවකයන් කළ අරගලයට විශ්වවිද්‍යාල සිසුහුද සහභාගිවී සිටියහ. රජයේ පාර්ශ්වයෙන් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර එහිදී වීරසූරිය ශිෂ්‍යයාගේ ඝාතනය සිදුවිය. ඒ ප‍්‍රථම විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ඝාතනයයි. මේ සිදුවීම විශාල ආන්දෝලනයකට ලක්ව තිබූ අතර පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්විණි.   
ඒ විවාදය පැවැත්වෙන අවස්ථාවේ අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මෙරට සිටියේ නැත. මැතිනිය පිලිපීනයේ මැනිලා නුවරට ගොස් සිටියාය.   


වීරසූරිය ඝාතනය පිළිබඳව පැවැති විවාදයට සහභාගි වෙමින් හබරාදූව මන්ත්‍රී ප්‍රින්ස්  ගුණසේකර මහතාද කතා කළේය.   


‘‘ගරු කතානායකතුමනි, දිවංගත අගමැතිගේ ගුවන්ගත බිරිඳගේ රජය මගින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ඝාතනය කර ඇත. මේ කතා කරන මොහොත වනවිට එතුමිය පිලිපීනයේ මැනිලා නුවර රතු පලසක් මතින් ඇවිදිමින් සිටිනවා ඇති. ශ්‍රී ලංකා ධරණීතලය තරුණ පරම්පරාවේ රුධිරයෙන් රතු පළසක්වී තිබෙනවා යනුවෙන් බෙහෙවින් උද්වේගකර කතාවක් පැවැත්වීය.   


ඉන්පසුව පැවැති පාර්ලිමේන්තු සභාවට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහභාගි වූවාය. වීරසූරිය ශිෂ්‍යයාගේ ඝාතනයට විරෝධය දක්වා විපක්ෂයේ මන්ත්‍රීවරැ සභාවෙන් ඉවත්වෙන බව ප‍්‍රකාශ කර නැගිට ඉවත්ව යාමට සූදානම් වූහ. ඒ අවස්ථාවේ විපක්ෂයේ තුන්වැනි පෙළේ අසුන්ගෙන සිටි වාසුදේව නානායක්කාර මහතා ඉදිරිපෙළට පැමිණියේය. ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ මැතිනිය ඇතුළු රජයේ පාර්ශ්වය අසුන්ගෙන සිටියහ. වාසුදේව නානායක්කාර මහතා කුඩා මල් වඩමක්, බිම තබා එය මැතිනියගේ පා දෙසට තල්ලු කර යැවීය. පරණ පාර්ලිමේන්තුවේ විපක්ෂය හා ආණ්ඩු පක්ෂය අතර මැද තීරුවේ විශාල ඉඩ ප‍්‍රමාණයක් නොවූ නිසා වාසුදේව නානායක්කාර මහතා තල්ලු කර යැවූ මල් වඩම මැතිනියගේ දෙපාවල වැදී නතර වුණි.   


මේ සිද්ධිය නිසා පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් සහගත තත්ත්වයක් උදාවිය. කතානායක ධුරයේ සිටියේ ස්ටැන්ලි තිලකරත්න මහතාය. මල්වඩමක් තල්ලු කර එවීම මැතිනියට කළ අපහාසයක්සේ සැලකූ පිරිසක්ද වූහ. කොල්වින් ආර්. ද සිල්වා මහතා ඒ සිදුවීම විග‍්‍රහ කළේ මෙසේය.   


“මල් අරගෙන යාමට විවිධ හේතු තියෙනවා. රෝහලක සිටින රෝගියෙක් බැලීමට මල් කළඹක් රැගෙන යන්නේ රෝගියාට සුවය ප‍්‍රාර්ථනා කිරීම සංකේතවත් කිරීමටයි. කාන්තාවක් පිරිමියෙකුට මල් දීමටත් විවිධ හේතු තියෙනවා. ආදරය සංකේතවත් කරන්නත් මල් දෙනවා. වාසුදේව නානායක්කාර මහත්තය මොන වගේ අදහසකින් මැතිනියට මල් එව්වද කියන්න දන්නෙ නැහැ.   


අපේ මේ මන්ත්‍රීතුමා බොහොම අහිංසක මල් ටිකක් යවල තියෙන්නෙ. ඒකෙ අදහස මොකක්ද කියල අපි දන්නෙ නැහැ. යනුවෙන් ප‍්‍රකාශ කළේය.   

 


කලවාන නියෝජනය කළ සරත් මුත්තෙට්ටුවෙගම මහතා තවත් අපූරු කතාවක් කර ඇත. මිනිස් ලෝකෙ කෙනෙක් බොරුවක් කිව්වම දිව්‍ය ලෝකෙ එක සීනුවක් නාදවෙනවලු. දිව්‍ය ලෝකෙ සියලුම සීනු එකවර නාද වුණාම අනිත් දෙවිවරු කලබලයට පත්වෙලා සක‍්‍ර දෙවියන්ගෙන් ඒ ගැන අහල තියෙනවා. සක‍්‍ර දෙවියො පිළිතුරු දෙමින් කියල තියෙන්නෙ කලබල වෙන්න එපා, ලංකාවෙ ලංකා පුවත් නිව්ස් කියනවා කියලයි.   


පරණ පාර්ලිමේන්තුවෙ තවත් හාස්‍ය ජනක සිදුවීමක් පිළිබඳ අපූරු කතාවක් ඇත. එදා එළිවනතුරු අතිශය වැදගත් විවාදයක් පැවැත්වුණි. විවාදය කුමක් සඳහාදැයි හරියාකාර මතකයක් නැත.   


එදා රාත්‍රියේ මන්ත්‍රීවරයෙක් විවාදයට එක්වූයේ හොඳටෝම බීමතිනි. මූලාසනයේ සිටියේ කතානායක ස්ටැන්ලි තිලකරත්න මහතාය. බීමතින් විවාදයට සහභාගිවී කතාව පවත්වන අතරතුරදී මන්ත්‍රීවරයා ඇඳ සිටි සරම ගැලවී බිමට වැටුණි. සරම ගැන වගේ වගක් නැතිව මන්ත්‍රීවරයා සිය කතාව කරගෙන ගියේය. අසල ආසනයේ සිටියේ පී. බී. බාලසූරිය මන්ත්‍රීවරයාය. ඔහු ජගත් බාලසූරිය මහතාගේ පියාය. පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරිය මහතාගේ සීයාය. පී. බී. බාලසූරිය මන්ත්‍රීවරයා නැගිට සරම ඉණට කර ගැට ගැසීය. මන්ත්‍රීවරයා ඒ ගැන තැකීමක් නොකර කතාව කරගෙන ගියේය. දෙවැනි වතාවටත් සරම බිම වැටුණි. බාලසූරිය මන්ත්‍රීවරයා යළි සරම ගැට ගැසුවේය. තුන්වැනි හතරවැනි වතාවටත් සරම ගැලවීමෙන් බාලසූරිය මන්ත්‍රීවරයා එය ඉණට ගැට ගැසීමත් සිදු කළේය. කතානායකවරයා ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ට සිනාව නවතා ගත නොහැකි වුවත් බොහොම අපහසුවෙන් සිනාව මැඩ ගැනීමට සිදුවිය. අවසානයේ කතානායකවරයා මේ මන්ත්‍රීවරයාට කතාව නතර කරන ලෙසට නියෝග කළේය.   


රාහුලන් මහතා සඳහන් කරන ආකාරයට අද පාර්ලිමේන්තුවට වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට මූලික හේතුවක් වූයේ බෝම්බ ගැසීමේ සිද්ධියයි. එවකට මහලේකම්වරයා වූයේ නිහාල් සෙනවිරත්න මහතාය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාව පාර්ලිමේන්තුවේ බිම් මහලේ කමිටු කාර්යාලයක පැවැත්විණි. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී ඔහුගේ දෙපසින් ආර්. හා එකට ආණ්ඩු පක්ෂ සංවිධායක එම්. වින්සන්ට් පෙරේරා මහතා වූහ. බෝම්බ සිද්ධියෙන් කීර්ති අබේවික‍්‍රම මහතා මිය ගියේය. තුවාල ලැබූ ලලිත් ඇතුලත්මුදලි මහතා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබ තිබිණි. ආර්. ප්‍රේමදාස අගමැතිවරයාගේ කකුලකට තුවාලයක් වී තිබිණි. ජේ. ආර්. ජයවර්ධන මහතාට තුවාල නැතත් ඔහුගේ ඇඳුමේ ලේ තැවරී තිබිණි.  ප්‍රේමදාස  මහතා එක අතකින් සරම දණ හිස දක්වා ඔසවාගෙන තුවාල කකුල පෙන්වමින් මහලේකම්වරයාට ප‍්‍රකාශ කළේ “අපේ වගකීම ඔයාගෙ අතේ” යනුවෙනි. පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ වූයේ එම සිද්ධියෙන් පසුවය.   


ආරිය සූරි නැටුම තවත් විශේෂ සිද්ධියකි. එස්. කේ. කේ. සූරියාරච්චි මහතා හා ඩබ්ලිව්. පී. ජී. ආරියදාස මහතා එකම රජයේ ඇමැතිවරු දෙදෙනෙකි. මුල් පෙළේ ඇමැතිවරු දෙදෙනෙකි. සිද්ධියට අදාළව පැවැති විවාදය ගැන පැහැදිලි මතකයක් නැත. විවාදය අතරතුර දෙදෙනා අතර උණුසුම් වාදයක් හට ගැණිනි. සභාව කල් තැබූ පසුවත් විවාදයේ උණුසුම අවසන් නොවුණි. විවාදයෙන් පසු සභාව තුළ දෙදෙනා එකිනෙකාට පහරදී ගත්හ. නහයෙන් ලේ වැගිරෙන්නට විය. ඒත් සටන නොනැවතිණි. දෙපක්ෂයේ හිතවත් මන්ත්‍රීවරු මැදිහත්වී දෙදෙනා දෙපසට කර ගැටුම නතර කරනු ලැබිණි.   


පසුවදා බොහොමයක් පුවත්පත්වල ප‍්‍රධාන ශීර්ෂ පාඨය වූයේ සභාව තුළ ආරි-සූරි ගැටුමක් යනුවෙනි.   


හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත්වෙන කතාව අපූරු සිදුවීමක් විය. විශ්වාස භංගයෙන් පසු ප‍්‍රථම වරට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ආර්. ප්‍රේමදාස මහතා දීර්ඝ කතාවක් පැවැත්වීය. විපක්ෂයේ මහ විශාල ඝෝෂාවක් මැද ප්‍රේමදාස මහතා සිය කතාව කරගෙන ගියේය. ඒ අතර සභාවෙන් ඇසෙන ප‍්‍රශ්නවලටද පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සිය කතාව කරගෙන ගියේය. මේ සිද්ධියෙන් පසු ආසන්න දිනක සාර්ක්   ක්‍රීඩා උළෙලට මුදල් ලබා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් සභාවට ඉදිරිපත් කර එය අනුමත කර ගැනීම සඳහා විවාදයක් පැවැත්විණි. පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයා වශයෙන් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාද විවාදයට සහභාගි වෙමින් කතාව ආරම්භ කළේය.   


“අපි මේ විවාදය පවත්වන්නේ පගා නායකයකු මූලාසනයේ සිටියදීය” මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මේ ප‍්‍රකාශය මීමැසි පොදියක් ඇවිස්සුනාක් මෙන් විය. සභාව එකම ඝෝෂාවක් විය. මූලාසනයේ සිටි එම්. එච්. මොහොමඩ් මහතාගේ කේන්තිය උපරිම තැනට පැමිණ තිබිණි. වචන  හසුරුවා ගැනීමට නොහැකි බවත් පෙන්නුම් කෙරුණි. ඒ කතාව වහාම ඉල්ලා අස්කර ගන්න සභාව එකම ඝෝෂාවක් විය. මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයාගේ ප‍්‍රකාශය විනාඩි ගණනාවක් සභාව නොසන්සුන් කළේය.   


වර්ෂ 1977 මැතිවරණයේ කලවාන ආසනයට තරග කළ සරත් මුත්තෙට්ටුවේගම මහතා පරාජයට පත්විය. පිලපිටිය මහතා පාර්ලිමේන්තුවට පත්විය. මේ පත්වීමට එරෙහිව මුත්තෙට්ටුවේගම මහතා අධිකරණයට ගියේය. නඩුවෙන් ඔහුට වාසිවන බවත් පෙන්නුම් කළ නිසා පිලපිටිය මහතා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්විය. පසුව චිට් මන්ත්‍රීවරයකු ලෙස යළි පත් කරනු ලැබීය. නඩුවෙන් සරත් මුත්තෙට්ටුවෙගම මහතා ජයග‍්‍රහණය කර පාර්ලිමේන්තුවට පත් කරනු ලැබීය. එදා දිවුරුම් දෙන දිනයේ මන්ත්‍රීවරයකු වැඩිවීම සිදුවිය. එවකට මහලේකම් සෑම් විජේසිංහ මහතා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට කතා කර වහාම තීන්දුවක් ගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කළේය. මුත්තෙට්ටුවේගම මහතා දිවුරුම් දෙන දිනයේ පිලපිටිය මහතාට පාර්ලිමේන්තුවට නොපැමිණෙන ලෙසට උපදෙස් ලැබී තිබිණි. පසුව පිලපිටිය මහතා මන්ත්‍රී තනතුරෙන් ඉවත් කරනු ලැබ තිබිණි.  

 

දයාසීලි ලියනගේ