ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ තීරණ ජනතාව වෙත රැගෙන යෑමේ හස්තය නොහොත් නිලබල යාන්ත්‍රණය දේශපාලන විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ සිවිල් සේවය වශයෙනි. එය මෙරට ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන යුගයේය. අපේ රටේ සාරය උරාබීමට පැමිණි සුදු අධිරාජ්‍යයන්ගේ කාර්ය පහසුව සඳහා ඔවුන් විසින්ම යොදවන ලද ගැතියන් පිරිසක් ලෙස එවක මෙරට වැසියන් විසින් සිවිල් සේවකයෝ හඳුන්වනු ලැබූහ.   


නීතිය හා සාමය සුරැකීම, බදු මුදල් එකතු කිරීම ආදී එවක ඔවුන්ගේ කාර්යභාර අතර විය. අද වන විට අපේ රටේ රාජ්‍ය සේවයේ නියුතු සංඛ්‍යාව (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව) ලක්ෂ දොළහ ඉක්මවූවකි. අර්ධ රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී සියලු ආයතන ඊට සංයුක්ත වේ. රාජ්‍ය සේවයට දේශපාලන අතපෙවීම්, මැදිහත්වීම් ආදිය මෙන්ම සේවා සුබසාධන ගැටලු හේතුවෙන් මූල්‍යමය අක්‍රමිකතා සිදුවීම ආදී විවිධ ආකාර චෝදනා එල්ලවීම පසු කලෙකදී සිදුවිය.   


එක්දහස් නවසිය හැත්තෑ අට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල වැඩිවීම හේතුවෙන් රාජ්‍ය සේවයේ ස්වාධීන බවට යම් තර්ජනයක් එල්ල වූ වග දේශපාලන විවිධ විග්‍රහවලදී කියැවේ. සේවා ලබාගැනීමේ අරමුණින් රජයේ ආයතනයකට පිවිසෙන පුරවැසියකුට නිලධාරිවාදයට ගොදුරුවීමට සිදුවීම අද වනවිට අපේ රට තුළ දක්නට හැකි සාමාන්‍ය තත්ත්වයකි. ග්‍රාම නිලධාරිවරයාගේ සිට රාජ්‍ය පරිපාලනයේ ඉහළම ස්තරය දක්වා එම තත්ත්වය හොඳින් දැක ගත හැකිය. පදිංචිය සහතික කරගැනීමට හෝ වෙනත් යම් වූ ආකාරයක සේවයක් ලබාගැනීමට හෝ ග්‍රාම නිලධාරියෙකු හමුවට යන ගම්වැසි පුද්ගලයකුට ග්‍රාම නිලධාරිවරයාගේ නිවෙසේ බැලමෙහෙ කටයුතු සිදුකිරීමට පවා සිදුවන තරමේ කතා පුවත් අපි අසා ඇත්තෙමු. එවැනි සිදුවීම් සම්බන්ධ අප්‍රකට කතා බොහෝමයක් ද අප සතුය.  


රාජ්‍ය අංශයේ නිලධාරින්ගේ අක්‍රමිකතා ​හේතුවෙන් ජනතාව අපහසුතාවට ලක්වන අවස්ථා බොහෝ යැයි කී නමුත් සමස්ත රාජ්‍ය සේවයම එබඳු නිලධාරින්ගෙන් පිරීගිය එකක් යැයි අපි නොකියන්නෙමු.  


රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදුවන දූෂණ අක්‍රමිකතා පිළිබඳ කතා කිරීමට අප ඉහත ප්‍රවේශය සටහන් කළේ ඉකුත් දිනෙක පාර්ලිමේන්තුවේ අයවැය විවාදයක් අතරතුර ඉස්මතු වූ කතාවක් පදනම් කොටගෙනය. ඊට අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරියෙක් පාසල් සිසුවකු අපයෝජනයට ලක් කිරීමට තැත් දරා ඇති බවත් එකී අරමුණ මත අදාළ නිලධාරියා එම පාසල් ශිෂ්‍යයාගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩ එකසිය පනහක් යොමු කොට ඇතැයි මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා සඳහන් කළේය.  


මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව අයවැය කාරක සභා විවාදයේදීය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අප එම නිලධාරියා අයත් බව සඳහන් වන රාජ්‍ය ආයතනයෙන් කළ විමසුමකදී එහි වගකිවයුතු නිලධාරියෙක් අප සමග මෙසේ සඳහන් කළේය.  


‘මෙවැනි කතා පුවතක් ඉස්මතු වී තිබුණත් එය කාරණා හරිහැටි අවබෝධයකින් තොරව පදනම් විරහිතව කරන ලද ප්‍රකාශයක් බව සඳහන් කළ යුතුයි. මෙහි සත්‍ය අසත්‍යතාව කිසිදු අයුරකින් තහවුරු වී නැහැ. මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන නිවැරදිතාවය තහවුරු වන තුරු කිසිවක් සඳහන් කිරීමේ හැකියාවක් නැහැ. ගම්පහ ප්‍රදේශයේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධ කතා පුවතේදීත් මෙවැනි ආකාරයේ වැරදි තොරතුරු වාර්තාවීමක් සිදුවූවා. නමුත් අවසානයේ බලද්දී වැරදිකරු වූයේ කිසිලෙසකත් සැකනොකළ වෙනත්ම පුද්ගලයෙක්. මෙම ගැටලුව සම්බන්ධයෙන් අධිකරණ වාර්තාවක් හෝ නීතිපති වාර්තාවක් කිසිදු විටෙක නිකුත් වී නැහැ. එබඳු වාර්තාවකින් තොරව අදාළ රාජ්‍ය ආයතනය අපහසුතාවට ලක්කිරීමේ අරමුණින් මෙබඳු වාර්තාවක් සිදුකිරීම නොකළ යුතු බවට අප අවධාරණයෙන් යුතුව සඳහන් කරනවා යැයි අදාළ නිලධාරියා සඳහන් කළේය.  


ළමයින් සම්බන්ධ ආරක්ෂාවට එල්ල වී තිබෙන තර්ජන මොනවාද? ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ මැදිහත්වීම කෙබඳුද? ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් අප කළ විමසුමකදී එහි උසස් නිලධාරියකු අප සමඟ මෙසේ සඳහන් කළේය.  


‘ළමයෙක් (වයස අවුරුදු 18 අඩු අයෙක්) යම් කායික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් සම්බන්ධ ගැටලුවකට මුහුණදී තිබේනම් දවසේ ඕනෑම මොහොතකදී ඒ සම්බන්ධයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා ‘‘1929’’ ක්ෂණික දුරකථන අංකයක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ළමාරක්ෂක අධිකාරිය මගින් ක්‍රියාත්මක පොලිස් විමර්ශන ඒකකයක් ද ක්‍රියාත්මක වෙනවා.’  


ඉකුත් වසර 2016.01.01 සිට 2017.08.04 දක්වා ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි පන්දහස් පන්සිය හැටතුනක් වාර්තා වී තිබෙනවා. එයින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ළමයින් කෘරත්වයට පත්කිරීම සම්බන්ධවයි. එවැනි පැමිණිලි එක්දහස් තුන්සිය අසූ හතරක් වාර්තා වී තිබෙනවා. ශාරීරිකව මානසිකව සිදුකෙරෙන කෘරත්වයට පත්කිරීමේ සිදුවීම් මේ යටතේ වාර්තා වෙනවා. ලිංගික අඩන්තේට්ටම් තුන්සිය පහළොවක්, අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදීමේ සිදුවීම් නවසිය දොළහක් ඒ අතර හඳුනාගත හැකි වෙනවා. ළමුන් සම්බන්ධ මෙබඳු ගැටලුවට අදාළව වැඩිපුරම පැමිණිලි වාර්තා වී තිබෙන්නේ කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින්. ඊට අමතරව අන්තර්ජාලය මාර්ගයෙන් ද ළමුන් සම්බන්ධ අන්තර්ජාල ආශ්‍රිත ගැටලු විමසීමකද ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිරතවන බව අප සඳහන් කළ යුතු යැයි ඒ මහතා සඳහන් කළේය.  


ඉහත අප සඳහන් කළ රාජ්‍ය නිලධාරියකු අතින් පාසල් සිසුවෙක් අපචාරයට පත්කිරීමට ගත් උත්සාහය සම්බන්ධ කරුණු හෙළිදරව් කළ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා අප සමඟ මෙසේ සඳහන් කළේය.  


ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධ කැපවීමෙන් වගකීමෙන් කටයුතු කළ යුතු අය අතින්ම අදාළ ක්ෂේත්‍රය අපහරණයට ලක්වීම කනගාටුවට කරුණක්. උදාහරණයක් විදිහට දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අල්ලස් ගැනීම සිදුකරනවානම් හෝ ළමයින්ගේ ආරක්ෂාවට කටයුතු කළ යුතු නිලධාරීන් අතින් ළමුන්ගේ ආරක්ෂාව බිඳවැටෙනවා නම් එය ප්‍රබල සමාජ ඛේදවාචකයක්. අතීතයේ පොලිස් නිලධාරියකු ලෙස අයෙක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී පරම්පරා හතක් ඈතට අදාළ පුද්ගලයා ගැන විමර්ශනයක නිරත වෙනවා. රාජ්‍ය අංශයට සේවකයන් බඳවා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. පාරම්පරික ගතිකත්ව වගේම විවිධ සමාජ ආර්ථික සාධක මත පදනම්ව අපචාර මානසිකත්වයට පෙළඹුණු අය පවා අපේ රටේ සිටිනවා. රාජ්‍ය අංශයට නිලධාරීන් බඳවා ගැනීමේදී ඔවුන් පිළිබඳව සොයා බලා නිලධාරීන් බඳවා ගැනීම යෝග්‍ය යැයි මා යෝජනා කරනවා. අද වෙද්දී සමාජයේ බොහෝ තැන්වලින් ළමුන්ට එරෙහි තාඩන පීඩන හිංසා ක්‍රියා සිදුවෙනවා. මේවා සම්බන්ධයෙන් මාපියන්ගේ මැදිහත්වීම පවා අවශ්‍ය වෙනවා. මන්ත්‍රීවරයා අප සමග සඳහන් කළේය.  


එක් අතකින් ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධවත් අනෙක් පසින් රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ ගුණාත්මකභාවය සම්බන්ධයෙනුත් අපට මෙහිදී ගැටලු රැසක් මතුවේ. අදාළ සිදුවීමට සම්බන්ධ රාජ්‍ය නිලධාරියා අයත් ආයතනයේ නිලධාරීන් දිගින් දිගටම සඳහන් කරන ආකාරයට එම ආයතනය හෝ අදාළ නිලධාරියාගේ පාර්ශ්වයෙන් වරදක් සිදුවී ඇති බවට ඔප්පු කිරීමේ සාක්ෂි නොමැති බව ඔවුහු සඳහන් කරති. ඔවුන් සඳහන් කරන ආකාරයට එය පදනම් විරහිත චෝදනා එල්ල කිරීමකි. 

සටහන - සමන්තිකා මාධවී