ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් පසුගිය යුද්ධයේදී යුද අපරාධ කරන ලද බවට දිගින් දිගටම එල්ලවෙන චෝදනා අසත්‍ය බව තහවුරු කිරීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් විශේෂ වාර්තාවක් සකස් කර ඇති බවත් එය මේ දිනවල ජිනීවා නුවර පැවැත්වෙන 34 වැනි මානව හිමිකම් සමුළුව සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මේ ඒ සම්බන්ධයෙන් “ඉරිදා ලංකාදීප”ය ඔහු සමග කළ සාකච්ඡාවකි.

 


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළ බව සනාථ කිරීම සඳහා ඔබ ඇතුළු පිරිසක් මුල්වී සකස් කළ වාර්තාවක් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. එහි හැබෑ තත්ත්වය මොකක්ද?
පිළිතුර:- අපි 2009 අවුරුද්දෙ මැයි මාසෙ දහනව වැනිදා යුද්ධය ජයග්‍රහණය කළා. දෙමළ ඩයස්පෝරාවෙ බලකිරීම මත සමහර බටහිර රටවල් ඒ යුද්ධයේ අවසාන අදියර නවත්තන්න උත්සාහ කළා. ඒ විදේශ බලවේගවලට යටත් නොවී යුද්ධය දිනන්න හිටපු ජනාධිපතිතුමාට පුළුවන් වුණා. 2009 මැයි මාසෙ 27 වෙනිදා ජර්මනිය තවත් රටවල් 17 ක සහාය අරගෙන අපේ රටට විරුද්ධව යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙනාවා. ඒ යෝජනාව පරාජය කරන්න අපිට පුළුවන් වුණා. ඊට පස්සෙ අපේ රටට පක්ෂපාතී ධනාත්මක යෝජනාවකුත් ඉදිරිපත් වුණා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම ගැන ඒ යෝජනාවෙන් අපේ රටට ප්‍රශංසා පළ කරලා තිබුණා.


මේකත් එක්කම දෙමළ ඩයස්පෝරාව කල්පනා කළේ මේ යෝජනාවෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් “දරුස්මාන්” කමිටුව පත් කළේ. එයා ඒ කමිටුව පත් කළේ ලංකාවේ යුද්ධයේ අවසාන කාලයෙ වුණු දේවල් ගැන තමාව දැනුවත් කර ගැනීම සඳහා යැයි කියමින්. මහලේකම්වරයට බෑ ස්වාධීන රටකට ඇඟිලි ගහන්න. 


අපි යුද්දෙ දිනුවට පස්සෙ අපිට පක්ෂව ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙනාපු යෝජනාවක් සම්මත වුණා. ඒ කියන්නෙ මේ ප්‍රශ්නය එතනින් ඉවරයි. මේ ප්‍රශ්නෙ ආපහු ගන්න ඕනෑ නිසා තමයි දරුස්මාන් කමිටු වාර්තාව වගේම 2012, 2013 අවුරුදුවල අපේ රටට යෝජනා දෙකකුත් ගෙනාවෙ. පස්සෙ 2014 අවුරුද්දෙ තිබුණු ජිනීවා සැසිවාරයෙදී තවත් යෝජනාවක් ගෙනල්ලා ඒ මඟින් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස්වරයාට ලංකාවේ යුද්ධය ගැන විමර්ශනය කිරීමේ අයිතියක් ලබා දුන්නා. ඊට පස්සෙ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් හුසේන් කමිටුවක් දාලා අපේ හමුදාව යුද අපරාධ කළා කියලා වාර්තාවක් ලබා ගත්තා. ඒ වාර්තාවෙ තියෙන්නෙ අපේ හමුදාව යුද අපරාධ කළ බවට සාධාරණ සාක්ෂි තිබෙනවා කියන කාරණය.


මංගල සමරවීර විදේශ ඇමැතිවරයා කළේ දේශද්‍රෝහී විදියට ඒ යෝජනාව පිළි අරගෙන ඇමෙරිකාවත් එක්ක එක්කහු වෙලා අපේ රටට විරුද්ධව යෝජනාවක් ගෙනාපු එක. මානව හිමිකම් මහකොමසාරිස්ගෙ වාර්තාවෙන් කිව්වට අපේ හමුදාව යුද අපරාධ කළා කියලා පරණගම කොමිසමේ (යුද සමයේ අතුරුදන්වූවන් සහ යුද්ධයේ අවසන් කාලයේ සිදුවූ දෑ පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම) කටයුතු කළ ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයෙක් වූ ඩෙස්මන්ඞ් ද සිල්වා කිව්වෙ එහෙම දේවල් ලංකාවේ හමුදාව කරලා නෑ කියලා. රොඞ්නි ඩික්සන්, සර් ජෙෆ්රි ෆ්‍රයිස්, ජෝන් හෝම්ස් වගේ තවත් ජාත්‍යන්තර කීර්තියට පත් යුද අපරාධ විශේෂඥයන් කිව්වෙ අපේ හමුදාව යුද අපරාධ කරලා නෑ කියලා. ඒ අයගෙ වාර්තා කිසිවක් මංගල සමරවීර විදේශ ඇමැතිවරයා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළේ නෑ. අද වෙනකොට ජිනීවාවල රණවිරුවාගේ පැත්තෙන් කතා කරන්න කවුරුත් නෑ.

 


ප්‍රශ්නය:- මේ ප්‍රශ්නය නිසා ලංකාවට දෙමුහුන් අධිකරණයක් ගේන්නවත් ආරක්ෂක හමුදා දඩයම් කරන්නවත් ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා කියනවා. ඒ ගැන ඔබලට විශ්වාසයක් නැද්ද? 
පිළිතුර:-
ජනාධිපතිවරයා ලංකාවේ එක ශාලාවක මිනිස්සු ඉස්සරහපිට කියනවා මට පිටකොන්දක් තියෙනවා ඒ නිසා මම විදේශ විනිසුරුවරු ගේන්න ඉඩ දෙන්නෙ නෑ කියලා. නමුත් මංගල සමරවීර විදේශ ඇමැතිවරයා ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වෙන්නෙ ජනාධිපතිවරයගෙ නියෝජිතයා හැටියට. එයා ඒ සමුළුවේදී ලෝක ප්‍රජාව ඉදිරියේ කියනවා තවම අපි ඒ යුද අපරාධ චෝදනා බැහැර කරලා නෑ කියලා. ජනාධිපතිතුමාට කොන්දක් තියෙනවා නම් එතුමා කළ යුත්තෙ තමන්ගෙ මතයට විරුද්ධව අදහසක් ලෝකයා ඉස්සරහපිට කියන මංගල සමරවීර විදේශ ඇමැතිවරයා වහාම ලංකාවට ගෙනල්ලා තනතුරෙන් අයින් කරන එක. ඒක මහින්ද රාජපක්ෂ කළා.


අද වෙනකොට ජිනීවාවල රණවිරුවා නියෝජනය කරන්න කවුරුත් නෑ. ඒ නිසා තමයි අපි එකතු වෙලා මේ වැඬේ කරන්නෙ. ගෝලීය ශ්‍රී ලංකා සංසදයෙන් තමයි මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නෙ. අපි විශේෂඥ මණ්ඩලයක් පත් කරලා ලංකාවේ හමුදාව යුද අපරාධ කළේ නෑ කියන එක ඔප්පු කරන්න ලේඛනයක් සකස් කළා. ඒ සඳහා අපි මානව හිමිකම් මහකොමසාරිස්ගෙ වාර්තාවෙ අඩංගු සමහර කරුණු කාරණා උදාහරණ විදියට අර ගත්තා. 


මේ මාසෙ 13 වෙනිදා දවල් තුනට තුම්මුල්ලෙ සම්බුද්ධ ජයන්ති ගොඩනැගිල්ලෙදි ඒ වෙනුවෙන් උත්සවයක් පවත්වලා, ඒ ලේඛනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු විදේශ ඇමැති ජී. එල්. පීරිස් ඇතුළු ප්‍රභූවරුන්ට බාරදෙනවා. යුද්ධයේ හිටපු හමුදා නිලධාරින් ගෙන්වලා ඒ අයටත් මේක භාර දෙනවා.


අපිට විරුද්ධව තියෙන එක යුද අපරාධ චෝදනාවක් තමයි අහිංසක දෙමළ ජනතාවට ලැබුණ ආධාර අපේ හමුදාව විසින් ඕනෑකමින්ම වැළැක්වුවා කියන එක. ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කරලා තිබුණා. විදේශීය තානාපතිවරු රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයො වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයො ඒ කමිටුවට ආවා. ඒ අය එකතුවෙලා ලැබුණු ආධාර සතිපතා යාපනයට යවපු ඒවා ගැන තොරතුරු වාර්තාගත වෙලා තියෙනවා. මේ වගේ දේවලුත් අපි මේ වාර්තාවට ඇතුළත් කරලා ලංකාවේ හමුදාව යුද අපරාධ නොකළ බව ඔප්පු කරලා තියෙනවා.

 


ප්‍රශ්නය:- ඔය විදියෙ වාර්තාවක් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ පමණින් සිදුවෙමින් තිබෙන ක්‍රියාවලිය වෙනසකට ලක් කරන්න පුළුවන් කියලා හිතනවද?
පිළිතුර:-
ඊළඟ අවුරුද්දෙදිනෙ මේ පාර වාර්තාවෙ ප්‍රගතිය ගැන අහන්නෙ. පහුගිය අවුරුදු දෙකේදි ඒ සම්බන්ධව කරපු කටයුතුවල ප්‍රගතියනෙ විදේශ ඇමැතිවරයා ජිනීවාවලදි දැන් කියමින් ඉන්නේ. අතුරුදන්වූවන් පිළිබඳ පනත සම්මත කරපු එක ගැන, බුද්ධි අංශ නිලධාරීන් හිරේ දාපු එක ගැනනෙ කියන්නෙ. බුද්ධි නිලධාරීන් මේ විදියට හිරේ දාන්නෙ අපි වැරැදි කරපු රණවිරුවන්ට එරෙහිව කටයුතු කරනවා කියලා පෙන්නන්නනෙ. 

 


ප්‍රශ්නය:- හමුදා සාමාජිකයො වැරැදිවලට සම්බන්ධ නම් ඒ අයට එරෙහිව පරීක්ෂණ පවත්වලා දඬුවම් ලබාදිය යුතුයි කියලා විවිධ පාර්ශ්ව මතු කරන අදහසට ඔබ එකඟ නැද්ද?
පිළිතුර:-
ඔව් ඉතින් හමුදාවේ අය විතරක් නෙවෙයි ඕනෑම සිවිල් වැසියෙක් වැරැද්දක් කළොත් ඒවට විරුද්ධව දඬුවම් කරන්න නීති පද්ධතියක් රටේ තියෙනවා. ඒවා කවුරුවත් වළක්වලා නෑ. වහපු නඩු ආපහු කතා කරනවා නම් ඒක රණවිරුවන්ට පන්න පන්නා පහරදීමක් නෙවෙයිද? වැදගත් අනිත් කාරණය තමයි අපේ රටේ තිබුණෙ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක්. ඒ කියන්නෙ සන්නද්ධ කණ්ඩායමකුයි නීත්‍යානුකූල හමුදාවකුයි අතර තිබුණ ගැටුමක්. ඒ වගේ ගැටුමකදි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව බලපාන්නෙ අන්තර්ජාතික මානුෂීය නීතිය මිසක් අන්තර්ජාතික මානව හිමිකම් නීතිය නෙවෙයි. එහෙම නම් මානව හිමිකම් කොමසාරිස්ට කිසි අයිතියක් නෑ අපේ හමුදාව මානව හිමිකම් කැඩුවා කියමින් මේ ප්‍රශ්නෙට ඇඟිලි ගහන්න. අන්තර්ජාතික මානුෂීය නීතිය යටතේ ඕනැම හමුදාවකට තමන්ගෙ රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සන්නද්ධ අරගලයකට මැදිහත් වෙන්න පුළුවන්. වෙන රටකට හරි ආයතනයකට හරි ඒ සඳහා මැදිහත් වෙන්න බෑ. 


සෙයිඞ් හුසේන්ගෙ වාර්තාවෙ වගේම දරුස්මාන්, කමිටු වාර්තාවෙත් සඳහන් වෙලා තියෙනවා ලංකාවේ යුද්ධය ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක් කියලා. ඒ විදියෙ අරගලයකදි බලපාන්නෙ මානුෂීය නීතිය කියලා ඒ වාර්තාවලම සඳහන් වෙනවා. එහෙම නම් අපේ හමුදාවට එල්ල කරලා තියෙන යුද අපරාධ චෝදනා සීයට අනූවක් විතර නිෂ්ප්‍රභ වෙනවා. මේ ප්‍රධාන කාරණා දෙක ගැන තමයි මම ජිනීවා නුවරට ගිහින් කියන්න හදන්නෙ. ඒ මගින් රණවිරුවන් බේරගන්න අපිට පුළුවන් වෙනවා.

 


ප්‍රශ්නය:- 2015 මානව හිමිකම් යෝජනාවෙ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට තව වසර දෙකක් හිමි වෙලා තියෙනවා. අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත සම්මත කිරීම වගේ සමහර ඒවා ආණ්ඩුව දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන පසුබිමක මේ සමස්ත ක්‍රියාවලිය ආපසු හරවන්න පුළුවන් කියලා ඔබලා විශ්වාස කරනවද?
පිළිතුර:-
පහුවෙලා හරි අපිට ඒ සඳහා උත්සාහ කරන්න පුළුවන්නෙ. මානව හිමිකම් සමුළුවෙ තවත් රටවල් 47ක් ඉන්නවනෙ. අනික් රටවල් මෙච්චර කල් මේකට විරුද්ධ නොවුණෙ අපේ රජය ඒ යෝජනාව පිළිගත්ත නිසා. ඒ නිසා අපි මේ වාර්තාව හැම කෙනා අතටම පත් කරලා ඇත්ත තත්ත්වය පෙන්නන්න උත්සාහ කරනවා.

 

සාකච්ඡා කළේ:- උපුල් වික්‍රමසිංහ
ඡායාරූපය:- ඇලෙක්සැන්ඩර් බාලසූරිය