තනි ඇඟිල්ලෙන් ලේඛනයේ යෙදෙන ඉර්ෆාන්

 

“කාලය රන් හා සමානයි” කියන්නෙ කවදටත් ගැළපෙන කියමනක්. ඒ තරම්ම වටිනා කාලය තුළ අතපය හතර හොඳ හයියට තියෙන ඇතැම් තරුණ තරුණියෝ සමාජ විරෝධී කටයුතු කරමින් මුළුමහත් සමාජයටම හානි පමුණුවන කටයුතුවල නිරත වෙමින් සිටින බව පෙනේ.   


ඇතැම්හු මත්ද්‍රව්‍ය අලෙවිය, හොර මැරකම්, විනය විරෝධී ක්‍රියා ආදියෙහි නිරත වෙමින් සිටිති. එමෙන්ම ජීවිතයට එන ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකිව සියදිවි හානිකර ගැනීම් වැනි ක්‍රියාවන් ද අද බහුලව දැකිය හැකිය. එවැනි “කොන්දක් නැති” මිනිසුන් අතරේම අභියෝගවලට මුහුණ දී ජීවිතය ජයගත් මිනිසුන් ද මෙලොව ඕනෑ තරම්ය.   


වයස අවුරුදු හතරේ සිට 'Duchenne Muscular Dystrophy' නමැති රෝගයෙන් පීඩා විඳිමින් තම පේශි පද්ධතිය වයස අවුරුදු 18 දී බිඳ වැටී ඇඳට සීමා වූ මෙරටේ තරුණයකු ජීවිතය ජයගත් ආකාරය ගැන කියන්නට අපි අදහස් කළෙමු.   


ඒ බේරුවල ඉර්ෆාන් හෆීස් නමැති තරුණයෙකි.   


අවුරුදු 18 වන විට පේශි පද්ධතිය බිඳ වැටීමේ රෝගයට ලක්වූ ඔහු එතැන් පටන් ජීවත්වී තිබෙන්නේ යන්ත්‍රයක ආධාරයෙනි.   


ඔහුට ක්‍රියාකරවිය හැකිව තිබුණේ එකම එක ඇඟිල්ලක් පමණි. එහෙත් එක් ඇඟිල්ලක් තිබුණා කියා ඔහු මනසින් කඩා වැටුණේ නැත.   


රන් හා වටිනා කාලය අතහැරියේ ද නැත. මුහුණු පොත හරහා බොහෝ දෙනෙක් වංචනික, විනය විරෝධී, අශීලාචාර, අධම, වැඩකට නැති අනවශ්‍ය වැඩ කරන අතරතුර ඔහු එය භාවිත කළේ අර්ථවත් දෙයක් කරන්නටය. ජංගම දුරකථනය පවා අතට ගත්තේ යහපත් දෙයක් කරන්නට පමණි.   


තම ශරීරයේ ප්‍රාණවත්ව තිබූ එකම අවයවය වූ දබරැඟිල්ල භාවිත කරමින් ඔහු සිය ශ්‍රමය කැප කළේ ලේඛන කාර්යයේ යෙදෙන්නටය.   


මුලින් ලැප්ටොප් පරිගණකය ආධාරයෙන් ලිවීම සිදුකළ ඔහු අනෙක් අත ද සෙලවීමට නොහැකි වූ විට ජංගම දුරකථනය භාවිතයෙන් ලිවීම ආරම්භ කර ඇත.   

 

ඉර්ෆාන්  රචිත පොත්

 

2011 වසරේ මුලින්ම මුහුණු පොතට එක්වූ ඔහු ප්‍රථමයෙන් කවි ලියූ අතර ඒ ලියන කවිවලට මුහුණු පොත හරහා ඉතා ඉහළ ප්‍රතිචාර ද හිමිවිය. කවි කියවන පිරිස ද දවසින් දවස වැඩි වීමෙන් පසු ලැබූ ප්‍රතිචාර තුළින් ඔහු යළි ජීවමාන විය.   


කායිකව රෝගී වූ ඉර්ෆාන් අද මනසින් ශක්තිමත් වී සිටී. එම දිරිගැන්වීම්වලින් අවසානයේ දී ඔහු නවතින්නේ කවි 22ක් අඩංගු කාව්‍ය කෘතියක් ද එළිදක්වමිනි. එය 2012 වසරේදී 'Silent Struggle' නමින් නිකුත් විණ.   
එපමණකින් ඔහු නැවතුණේ නැත. වචන 40,000 යුත් කෙටි කතා නිර්මාණයක් අකුරු එකිනෙක අමුණමින් ලියන්නට ගත්තේය. ('Moments of Merriment') නමින් නිකුත් වූ ඒ කතාව නිර්මාණය කිරීමට වසරක් ගතව ඇත.   


එමගින් ද වෙහෙසට පත් නොවූ ඉර්ෆාන් ඊළඟ කෘතිය සම්පූර්ණ කරන්නේ 2016 වසරේ දීය. ඒ 'Silent Thoughts' නම් කෘතියයි. මේ සෑම කෘතියක්ම මුද්‍රණ වාර දෙක තුන ඉක්මවමින් ලොව පුරා ජනප්‍රියව ඇත.   
නිර්මාණකරණය පිළිබඳ ඔහුගේ තිබුණු ගිජුකම අවසන් වූයේ ද නැත. 


සාමාජිකයන් 8 දෙනෙකුගෙන් යුත් පවුලේ 3 වැනියා ලෙස 1981 දී උපත ලද ඉර්ෆාන් සිය ජීවිතය පිළිබඳ අනපේක්ෂිත අපේක්ෂා මැද ඉංග්‍රීසි භාෂාව ද ප්‍රගුණ කරන්නේ රෝද පුටුවේ සිට ය.   


ආබාධිත රෝග පීඩාදි අඩුපාඩුවලින් යුත් දරුවන් ප්‍රතික්ෂේප කරන සමාජයක් ඇති රටක ඉර්ෆාන්ගේ දෙමව්පියන් රටටම ආදර්ශයකි. එයට පහත සඳහන් ඡේදය සාක්ෂි දරනු ඇත.   

 


“ඉර්ෆාන් රෝද පුටුවෙ තියලා ඇඳට මාරු කරන කාලයක් තිබුණා. දවසක් නෝනා ඉර්ෆාන්ව ඇඳට ද‌ාන්න යද්දී බිමට වැටිලා. මෙයා ගොඩක් බර නිසා උස්සන්න අමාරුයි. ඉතින් නෝනා මම එනකම් බිමට වෙලා හිටියා. මම විදුහල්පතිවරයෙක් විදියට කටයුතු කළේ. ඉතින් එද‌‌‌ා මට තීරණය කරන්න වුණා විදුහල්පති ද? තාත්තා ද? ගෙදරට අවශ්‍ය වෙන්නෙ කියලා. ඉතින් මම පුතා වෙනුවෙන් අවුරුදු 41 දී විශ්‍රාම ගියා.”   


මේ ඉර්ෆාන්ගේ පියාගේ කතාවයි.   


තම රැකියාව පවා කැප කරමින් ඉර්ෆාන්ගේ පියා දරු සෙනෙහස වෙනුවෙන් ගත් ඒ තීරණය රටටම උගැන්වූයේ වටිනා පාඩමකි.   


කුඩා කල සිටම පැවැති ශාරීරික දුබලතා සමග ධර්ගා නගරයේ සහීරා විද්‍යාලයට ඇතුළත් වූ ඉර්ෆාන්ට අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ පස්වැනි ශ්‍රේණිය දක්වා පමණි.   


ඉර්ෆාන් පිළිබඳ වෛද්‍ය උපදෙස් පැතූ ඔහුගේ දෙමව්පියන්ට දැනගන්නට ලැබෙන්නේ ද තම දරුවාගේ සිරුරේ කොටසින් කොටස ක්‍රමයෙන් අඩපණ වී ඉතාමත් දුර්ලභ ජානගත රෝගයකින් පෙළෙන බවය.   


“මම මේ ලෙඩේ ගැන හැම දෙයක්ම කියෙව්වා. ලෙඩේ හොඳ කරන්න බැරි බව මම දැනගත්තා. ඒ විතරක් නෙමෙයි. මෙවැනි රෝගියෙකුගේ ආයු කාලය අවුරුදු 18ක් බවත් දැනගත්තා”   


එලෙසින් අනපේක්ෂිත ජීවිතය පිළිබඳ දැන දැනත්, එය පසෙකලා දිරියෙන් නැගී සිටි “සයිලන්ට් ෆයිටර්” ලෙසින් ලෝක ප්‍රකට වූ ඉර්ෆාන් හෆීස් නමැති ලේඛකයා ලෝකයම හඬවමින් පසුගියදා අවසන් හුස්ම හෙළුවේය.   
ඒ සිව්වන පොතත් රචනා කරමින් සිටියදීය.   


නොපසුබට ධෛර්යත්, එඩිතර සිතත්, බුද්ධිමය හැකියාවත් ප්‍රයෝජනයට ගනිමින් මරණය පෙනි පෙනී ජීවත් වූ ඉර්ෆාන් ඒ පිළිබඳ සිතමින් කලකිරීමෙන් කාලය වැය නොකළේය. ඒ වෙනුවට සිය එකම ඇඟිල්ල භාවිත කරමින් මිනිසුන් දසදහසකගේ ප්‍රඥාව දියුණු කිරීමට අකුරුවැල් ඇමිනුවේය.   


සැබැවින්ම ඔහු හිස් ජීවිත ගතකරමින් අයාලයේ යන තාරුණ්‍යයට අද ද ආදර්ශයක්ම සපයන්නේය.

 

 

 

 

සටහන
ධනු විජේරත්න