ශ්‍රී ලංකාවේ පිටසක්වල ජීවීන් සම්බන්ධ සිද්ධීන් බොහෝමයකට පාදක වූ ප්‍රදේශය පොළොන්නරුව ආශ්‍රිත ප්‍රදේශයි. ඓතිහාසික වශයෙන් අතිශය වැදගත් නටබුන් හා සාධක පවතින එම ප්‍රදේශයේ අතීතයේ පැවති වාරි හා ජල තාක්ෂණික ශිල්ප ක්‍රම වත්මන් ලෝකයට පවා පුදුමය දනවනසුළුය. එම නිසා අතීතයේ පිටසක්වල ජීවින් සමග අප රටේ මුතුන් මිත්තන් සබඳතා පැවැත්වූවා දැයි අපට සැකයක් නොතිබිය නොහැකිය. අරලගංවිල යනු උල්කාපාත කඩාවැටීම් නිසා විදේශීය විද්‍යාඥයන් පවා පැමිණ පර්යේෂණ සිදු කළ ඉසව්වකි.
දානිගල යනු මාදුරු ඔය කන්දේගම නම් ප්‍රදේශයේ පිහිටි අපූරු හැඩයක් සහිත කන්දකි. එය හෙළිදරව් වූයේ ඩ්‍රෝන යාත්‍රාවක් කන්දට ඉහළින් පියාසර කරවා ගත් ඡායාරූපයක් මගිනි. එම අබිරහස්මය කන්ද තරණය කළ ගමන පිළිබඳව ලිපියකි මේ.

දානිගල කඳු වැටිය
කොළඹ සිට කුරුණෑගල හරහා පොළොන්නරුවට පැමිණ පසුව අරලගංවිලට ළඟා වීමට කි.මී. 250 කට වඩා පසුකිරීමටත් පැය 6 ක් පමණ ගත කිරීමටත් සිදු වේ. මාර්ග පහසුකම නිසා බොහෝ ප්‍රදේශවල මිටින් හළ කුරුල්ලකු මෙන් ගමන් කළ හැකිය. තවද මහනුවර දහඅට වංගුව හරහා මහියංගණයට පැමිණ පසුව ගිරාඳුරුකෝට්ටේ හරහා ද අරලගංවිලට පැමිණිය හැකිය. දුම්බර වන පෙතේ අලුයම් සුන්දරත්වය නරඹමින් ඔබට එලෙස එම වංගු ගැසුනු මාර්ගය දිගේ වුව පැමිණිය හැකිය. කෙසේ හෝ අරලගංවිලට ළඟා වූ පසු මාදුරු ඔය මාර්ගයේ කන්දේගම පන්සල කරා පැමිණීම පහසු ගමනකි. විසල් තුරු වියන් සැදී සෙවණ දෙන ඍජු මාර්ගය බොහෝ විට හුදෙකලා වී ඇත. පිටසක්වළ කතාන්දර සේම වන අලි තර්ජන සිද්ධීන් ද නොඅඩුව මෙම ප්‍රදේශයේ පවතියි.
කුඹුරු කෙත් වතුවලින් සරුසාර පීදෙන ගොයම් යායන් පසු කරමින් කන්දේගම විහාර භූමියට පැමිණෙනවාත් සමගම ඊට පිටුපසින් වෘත්තාකාරව නැගීසිටින පවුරක් බඳු වූ දානිගල පර්වතය අපි දුටුෙවමු. බැලූ බැල්මට මීටර දෙතුන් සියයක පරතරයක් කඳු මුදුන හා පොළොව අතර විය. නමුත් තනි කළු ගල් වැටියකින් සමන්විත වූ නිසාවෙන් එම මුදුනට පැමිණීමට අපට පැය 2 ක පමණ වනගත චාරිකාවක නිරත විය යුතු බව කල්තියා අපි දැන සිටියෙමු. මන්ද මෙම පර්වතය හරි අඩකටත් වැඩියෙන් එකම ගල් බිත්තියක් ලෙස වටේටම පැතිර ඇති නිසාය. මෙම වනගත ගමන තෙත් කලාපීය නොවන නිසා කිසිදු කූඩැල්ලෙකුගෙන් කරදර අපට නොවන බවත් ගුප්ත කලාපීය වනගත ශාක ව්‍යාප්තියක් සහිත බවත් අපි වැඩිදුර අධ්‍යයන මගින් දැනගෙන සිටියෙමු.

දානිගල කඳු මුදුන
අතීතයේ රට පාලනය කළ රජවරුන් හා බැඳි කථා පුවත් කිහිපයක් ද මේ වටා පවතින අතර දානිගල කන්දට පිටුපසෙන් පිහිටි කුඩා අවශේෂ කඳු ගැටවල පිහිටි උමං හා ගුහා ඊට සම්බන්ධ බවත් මාදුරු ඔය රක්ෂිතයේ අපූර්වත්වය හා බැඳි හස්ති කථා පුවත්ද අපට දැන ගැනීමට ලැබුණි. විහාර භූමියේ ධාතු කරඬු පිහිටුවා තිබූ ස්ථානය ඉතාමත් ගෞරවනීය ලෙස සිහිපත් කළ යුතුය. විවිධ වර්ගයේ කරාබු රාශියක් සේම රන් ආලේපිත සිහිවටන කරඬු පිහිටුවා තිබුණේ ස්වභාවික ගල් ගුහාවක කාමරයක් ලෙස සකස් කරමිනි. ප්‍රදේශය කොතරම් රස්නය වුවද එම කාමරය සිසිලසින් යුක්ත විය. විහාර ස්ථානය වටා නැරඹූ පසු හිමියන් හමුව වැඳ නමස්කාර කොට අප ගමන පිටත් වීමට සැරසුණේ කිසිදු මඟපෙන්වන්නෙකු නොමැතිවය.
පන්සල් භූමියේ වම් පස කෙළවරින් වනයට පිවිසිය හැකි කුඩා අඩි මාර්ගය දිගේ ඉහළට ගමන් කරමින් ගමන ආරම්භ කළ අපට යන්තමින් අතු කැඩී තිබූ රටාව මත අඩි මාර්ගය සොයා ගත්තෙමු. ඇතැම් ස්ථානවල අතරමං විය හැකි ස්ථාන පවා තිබුණේ සතුන් ගමන් ගත් මාර්ග තිබූ හෙයිනි. ඒ කෙසේ නමුත් නඩයම එකා පිටුපස එකා යමින් කැළයේ ඉදිරියට ගමන් ගත්තෙමු. මෙසේ මඳ දුරක් යන විට අපට විශාල ගල් බිත්තියක් හමු වූ අතර එතැනින් වම්පසට ගමන් කළෙමු. පසුව විශාල ගල් කුට්ටි මතින් නඟිමින් ගස් වැල් ආධාර කොට ගනිමින් ඉහළට නැග අඩි පාර හා සම්බන්ධ වූයෙමු. ඉන් පසු අප නැංගේ උස් ස්ථානයකටය.
උස් ස්ථානයේ සිටි අපට සීග්‍ර බෑවුමකට බසින්නට සිදු විය. එහිදී අපට එක්තරා ස්ථානයක් හමු විය. එනම් නිදන් හොරුන් විසින් කඩා බිඳ දැමුණු විශාල සැතපෙන බුදු පිළිම වහන්සේ නමකි. එහි බොහෝ ස්ථාන කඩා දමා පාපකර්ම කර ගත් නිදන් හොරු එහි බැඳ තිබූ ලොකු ගඩොල් බිත්තිද කුඩුකර තිබිණි. පසෙකින් විශාල වළක් හාරා තිබූ අතර ඒ තුළද ගඩොල් බිත්ති පහළ දැක ගත හැකිව තිබුණි. ගල් බිත්තිය දානිගල මුදුනටම දිව යන අතර වතුර බිංදු වැටෙන්නට විය. වියළි කාලගුණයක් වුවත් දානිගල කන්ද මුදුණේ ඇති උල්පත්වලින් පනින ජල දහරාවන් මෙලෙස කඩා වැටෙන්නට විය.
ජාතික ප්‍රෞඪත්වය මෙලෙස බිලි වූයේ සිංහල රටේම නිදන් හොරුන්ටය. අතීතයේ පොළොන්නරු රාජධානි සමයේ රාජකීයන් හා යුද සේනාවන් විවිධ අරමුණු සඳහා මෙම කැළයේ පිහිටි ගල් ගුහාවල සැඟවුණහ. බුදු දහම බෙදන්නට හිමිවරු මෙම ගල්ලෙන් තුළ වැඩ සිටියහ. ඊට හොඳම නිදසුන මෙම ස්ථානය වේ. වර්තමානයේ වවුලන් ලගින ගුහාවක් බවට මෙම ස්ථානය පත් වී ඇත. මෙම පුරාවස්තු තවදුරටත් රැක ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත්ව නැත. කෙසේ හෝ අප නැවත ගමන ආරම්භ කළෙමු. සීග්‍ර බෑවුමට බට අපට නැවතත් ගල් කුට්ටි කටු අකුල් මතින් නැග්මක් හමු විය. මෙය අසල විශාල ගල් දෙබොක්කාවක ගුහාවක් වැනි තීරුවට පිහිටි ස්ථානයක් විය. බිම දිගා වී එදෙසට සගයෙකු ගමන් කළද එහි කෙළවරක් විය. මෙවැනි කුඩා ප්‍රමාණයේ ගල් ගුහා රාශියක් මේ අවට පිහිටි කැලයේ පිහිටා ඇත.

දානිගල කඳු මුදුන
ඉදිරියට ගමන් කරන විට අපට ගුප්ත කැළයටම ආවේණික විස කටු පිහිටි ගස් විශේෂයන් හමු විය. එම කටුවල දිග අඟල් 2 ක් පමණ විය. මුළු ගස් කඳම වසාගෙන උල් කටු පැතිර තිබුණි. හදිසියේ හෝ වැර දමා ගැනීමට එම ගස භාවිතා කරත්නම් අත හිල්ව යන තරමට එම කටු තියුණු හා ශක්තිමත් විය. ගල් කුට්ටි මතින් ගමන් කිරීම මදක් අපහසු වූයේ කොළ රොඩු ගල් මත වැටී තිබුණු නිසාය. පොළොව වුව කොළ රොඩුවලින් වැසී තිබුණු හෙයින් වළවල් පිහිටි ස්ථාන හඳුනාගැනීමට අපට නොහැකි විය. මෙසේ තවත් දුර ගමන් කළ අපට නැවතත් විශාල ගල් බිත්තියක් මතින් පහළට වැටෙන දිය සීරා හමු වුණි. ධානිගල කඳු මුදුන කුඩා කඳු ගැටයක් වුවත් එහි දිය උල්පත් හතරකට වඩා පිහිටා තිබුණි. ඉන් එකක් අපට හමු වූ අතර උල්පතක් හට ගන්නේ කෙසේ දැයි නඩයම එදින දෑස් හැර දැක ගන්නා ලදී.
ගමනේ අවසානය වෙත අප ළඟා වී ඇති බව වැටහුනි. ඒ මන්දයත් දානිගල කඳු මුදුනත අප ආසන්නයේ තිබුණු හෙයිනි. එම අවසාන කොටස අප ගසක් දිගේ නැග ගත්තෙමු. පසුව විශාල ගල් තලාවේ වැතිර මද විවේකයක් ගත්තෙමු. පසුව ලඳු කැලය අතරින් එළිමහනට අපි ළඟා වුණෙමු. මෙහිදී පොළොවේ පිහිටි ගල් කුහරයකින් ජලය පැනනගින ස්ථානයක් විය. එය දිය උල්පතකි. ඇතැම්හු බිම දිගා වී එම නොඉඳුල් ජලය පානය කළෝය. එම ජලය දිය සීරාවක්ව පහළට ගලාගෙන යයි. පසුව තණ පිට්ටනිය දිගේ බෑවුමට ආසන්නයෙන් අප ඉදිරියට ගමන් කළෙමු.
දානිගල කඳු මුදුනත අංශක 90 ක පමණ ශීඝ්‍ර බෑවුමක් විය. වක්‍රකාරව ගල් ගැට්ට අසල ඇවිදීම ඉතාමත් පරෙස්සමින් කළ යුතුය. අප ගමන් ගන්නා ප්‍රදේශයේ කිසිදු උස ගසක් නොමැති අතර කැලය පිහිටියේ අප දකුණට වන්නට මැදිවය. මෙසේ දානිගල කන්ද උඩ ඇවිදින විට අප දුටුවේ කන්ද මැද කුඩා වන සතුන් ඊට වටේට තණ වැටුණු පිට්ටනියක් වැනි ප්‍රදේශයකි. උඩු ගුවන් කැමරාවක මෙය පෙනෙන්නේ වෘත්තකාර ලෙසය. එනම් එක්තරා විදිහකට විශාල යානාවක් ගොඩ බස්වන ස්ථානයක් ලෙසය. අසල පිහිටි කැලය කටු පඳුරු හා ශාකවලින් පිරී තිබුණි.
දානිගල කන්ද පිටුපස පිහිටි අවශේෂ කුඩා කඳු ගැට වසාගෙන හුන් දැවැන්ත කැලය වන අලි රජ දහනකි. එලෙසම එම වනය තුළ තිබූ ගල් කුට්ටි ගල් ගුහාද අපට දක්නට ලැබුණි. අව් රශ්මිය ඉතාමත් අධික වන අතර නිල්වන් අහස පැහැදිලි දිනයක තොප්පිගල දක්වා නැගෙනහිර මුහුදු ඉසව් මෙම ස්ථානයට දක ගත හැකිය.
ඉදිරියෙන් මාදුරු ඔය රක්ෂිතයත් එහි ජලාශයන් එහි පිහිටි බමුණුගල කන්දත් දැක ගත හැකි විය. බමුණුගල යනු මාදුරු ඔය අභය භූමියේ පිහිටි අලංකාර හැඩයකින් යුත් කන්දකි. තවද දිඹුලාගල හා ඈතට දිවෙන නම් නොමැති කඳු ගැට කිහිපයක් අපට දක ගත හැකි විය. ප්‍රදේශයම කොළ වර්ණයෙන් බබළන්නට වුවත් අතරින් පතර ගම්මාන තිබුණේ ඉතා අල්ප වශයෙනි. එලෙසම යන්තමින් තිබුණු වැව් බිම්කඩ තුළ ඉතිරිව තිබූ ජලය ඉර එළියට දිළිසෙන්නට විය.
මෙම ප්‍රදේශයේ අතීතයේ පටන් පිටසක්වළ ජීවීන් පිළිබඳව හා පිටසක්වළ යානා පිළිබඳ සිද්ධීන් ගැවසුණි. වසර කිහිපයකට පෙර අරලගංවිල වෙල් යායකට වැටුණු උල්කාපාත කැබලි නිසාවෙන් රටේ ආන්ෙදා්ලනාත්මක තත්ත්වයක් පැනනැගුණි. බොහෝ විට රාත්‍රී අහසේ විවිධ එළි දර්ශනය වීම මෙම ගම් වැසියන්ට නුහුරු දෙයක් නොවීය. දීප්තිමත් ආලෝක, එලෙසම ගමන් ගන්නා ආලෝක මෙම කඳු මුදුන හා අවට කඳු ආශ්‍රිතව සැරිසරනු ගම්මුන් දැක තිබේ. එසේම දිඹුලාගල ඉසව්වත් පෙනෙන මානයේ නිසා ශ්‍රී ලංකාද්වීපය තුළ කක්ෂ ගතවූ මෙම ඉසව්ව මෙලෙස කාලාන්තරයක් මුළුල්ලේ පිටසක්වළ යැයි හැඟෙන සිද්ධීන්වලින් පිරී තිබුණි.
අපි දානිගල කන්ද අවට සැරිසරන්නට වීමු. ප්‍රමාණවත් තරම් ජලය ගෙන ආ නිසාවෙන් කාලය ගත කරන්නට අපට අවස්ථාව ලැබුණි. මෙම කන්දේ සමස්ත විශ්කම්භයෙන් හතරෙන් තුනකට ආසන්න දුරක් අපි දානිගල වටේ ඇවිද්දෙමු.
එලෙසම උසින් අඩු වුවත් මෙම ගල් පර්වතය මුදුනට ළඟා වීමට අපට හෝරාවකට අධික කාලයක් වැය වුණේ කිලෝ මීටර 2 කට ආසන්න වනගත චාරිකාවක නිරත වූ හෙයිනි.

කෙසේ හෝ කාලය ගෙවී යන්නට වූයේ සුළඟේ වේගයටත් වැඩි බැව් අපට දැනුණේ සවස් යාමය ළං වීමට අා නිසාය. එහෙයින් නඩය නැවතත් බස් රථය බලා යාමට පිටත් වූයේ ඇඳිරි වැටීමට පෙර ඉහළදී අප දුටු වැවෙන් හොඳ ස්තානයක් ගනු පිණිසය. එම නිසාම නඩය පැමිණි වේගයට වඩා වේගයෙන් කන්ද බසින්නට වූයේ කිසිදු විවේකයක් නොගෙනය. එම නිසාම සැලසුම් කළ පරිදි බස් රථය වෙත අප ළඟා වුවද නඩයේ අට දෙනෙකු නොපැමිණි බව අප දැන ගත්තෙමු. දුරකථන මාර්ගයෙන් ඔවුන්ට අමතා නැවත හරි මඟට ඔවුන්ව රැගෙන අපි පන්සල් භූමිය වෙත පැමිණ වැව කරා පිටත් වුණෙමු. අවට පරිසරය කර්කෂ විය. අසල වූ පාසල ඉදිරියෙන් පිහිටි වැලි මාර්ගය දිගේ ඉදිරියෙන්ම ගොස් ගම්වැසියන් ජල ස්ථානය කරන එම වැව වෙත අපි ළඟා වුණෙමු.
විසල් මාන පඳුරුවලින් වැව් තලය වටවී තිබුණි. බැසගෙන යන හිරුගේ භයංකර රැස් තද තැඹිලි වර්ණයෙන් අහස් කුස දිස් වුණේ පිටසක්වළ යානාවක් ගොඩ බෑමට සැරසෙනවාක් මෙනි. වැව් ජලය යහමින් සීතලට තිබුණි. නඩයම සවස් යාමය වන තුරු දිය බුං කෙළිමින් දිය නා ගත්හ. පසුව කොළොම්තොට දක්වා දිගු ගමනක් යාමට අැති හෙයින් බස් රථයට නැගි සියල්ලෝම සුව සේ නිදන්නට පටන් ගත්හ.
දානිගල ස්වභාවධර්මයාගේ අපූරු නිර්මාණයකි. එහි ස්වභාවිකවම තෘණ පිහිටීම උඩු ගුවනට දර්ශනය වන ආකාරය අනුව බැලූ බැල්මට යම් යානාවක් ගොඩ බෑම නිසා එලෙස වන්නට ඇතැයි සිතිය හැකිය. මන්ද අරලගංවිල හා ඒ අවට ප්‍රදේශය කාලයක පටන් අද්භූත සිද්ධිවලට පාදක වූ හෙයිනි. කෙසේ නමුත් දානිගල හා ඒ අවට වන පියස තුළ මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පුරාවස්තු හා ආදි මානව සංධිස්ථානවලට උරුමකම් කියයි. දස වසරකට පමණ පෙර එම ප්‍රදේශයේ ජනයා ම්ලේච්ඡ ත්‍රස්ත බියෙන් යුතුව කල් ගෙවූ අතර වර්තමානයේ වන අලි ගැටලුවලින් කල් ගෙවයි. එලෙසම නියං කාලවලදී ජලය හිඟකමින් ද ඔවුහු බැට කෑහ.
ගොවිතැන තම ජීවනෝපාය කර ගත් ඔවුන් සතුටින් දිවි ගෙවන අහිසංක ජනතාවක් වන බැව් අපට හමු වූ බොහෝ දෙනෙකු සමග කළ කතිකාවලදී අපට හැඟුණි. එම නිසා මෙවැනි වටිනා ස්ථාන හා ප්‍රදේශ නිසි පරිදි නඩත්තු කිරීම සහ රැක ගැනීම ඔබ අපගේ මෙන්ම ජාතියක වගකීමක් බව කිවමනාය.
වර්තමානයේ පවතින දැඩි සංචාරක උන්මාදය පිළිබඳ යම් සටහනක් තැබිය යුතුය. මන්ද ස්වභාවධර්මයාගේ අපූර්වතම නිර්මාණ වන කඳු වැටි දිය ඇලි ගංගා ඇළ දොළ උමං හා ගුහා සේම පතන තැනිතලා ද නැරඹීමට වත්මන් තරුණ පරපුර බහුලව නැඹුරු වී සිටිති. නමුත් ඒ අතුරින් එක්තරා පිරිසක් එම ප්‍රදේශවලට ගොස් එම පරිසරය දූෂණය කරන බවත් සාක්ෂි සහ සාධක ඕනෑතරම් මුහුණු පොත හරහා දැක ගත හැකිය. එම නිසා ඔබගෙන් අප ඉල්ලනුයේ අපගේ රටේ තිබෙන සුන්දරත්වය හැකි උපරිම ලෙස නරඹන ලෙසත් එහිදී පරිසරයට හෝ වන සතුන්ට කිසිදු හානියක් නොකරන ලෙසත්ය. මත්පැන් පොලිතින් හා අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම හා නුසුදුසු ලෙස රාත්‍රී ගිනිමැල දැල්වීම හා පරිසරය ගිනිබත් කිරීම නියම සංචාරකයෙකුගේ ලක්ෂණයක් නොවන බැවින් වගකීමෙන් කටයුතු කරන ලෙසත්ය.
සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd