මැණික් නිම්නයේ යකඩ මිනිස්සු-5
තරුණියකගේ විලාප හඬ ගම පුරා දෝංකාර දෙන්නට විය. ඒ හඬ කන වැකුණු සියල්ලෝම විලාප හඬ ඇසුණු දෙසට දිව යන්නට වූයේ අතට අසුවුණ යමක් ඇත් ද එය ද සමගිනි.
නිවසක් පිටුපස පැත්තට වන්නට කැඩුණු සිංහලෙන් යමක් කියන තරුණ විය නොඉක්ම වූ හම කළු පැහැති තැනැත්තෙකි. ඔහු වටකරගත් කාන්තාවන් කිහිප දෙනෙකි. ඊට ටිකක් ඈතට වන්නට විසි වැනි විය නොඉක්ම වූ හිරිමල්වියේ යෞවනියකි. ඇය ගොඩ දැමූ මාළුවෙකු සේ ගැහි ගැහී යමක් කියන්නීය. එහෙත් එය පැහැදිලි නැත.
විනාඩි කිහිපයක් යන විට බොහෝ දෙනෙක් මෙතැනට එක් වූහ.
‘‘මේ .... මේ.... කුපාඩියා මේ කෙල්ල කකුස්සියට යනවා බලා ඉඳලා දොර ඇරලා.... කෙල්ල බයවෙලා කෑගැහුවා.... හොඳ වෙලාවට මම... කුස්සිය පැත්තේ හිටියේ... මම එනකොටත් මූ..... කකුස්සිය ළඟමයි.’’ මැදිවියේ කාන්තාවකගේ ගෝරනාඩුව ඈතට දෝංකාර දෙමින් ඇසෙයි.
සියල්ලන්ටම දැන් කාරණය පැහැදිලිය.
‘‘තමුසේ කවුද? ඇයි මේ පැත්තට ආවේ.’’
හැමෝම ප‍්‍රශ්න කරන්නට වූයේ කාන්තාවන් පිරිසක් විසින් වටකරගෙන සිටි තැනැත්තාගෙනි. ඔහු ද හති ලමින් සිටියි. සරමකින් සහ කමිසයකින් සැරසී සිටි ඒ පුද්ගලයා ඇඳ සිටි සරම කොට කරන විට යටින් කොට කලිසමක් ඇඳ ඇති බවක් පෙනෙන්නට විය.
‘‘මේකාගේ මොකක් හරි හොරයක් තියනවා.’’ හැමෝම මේ නාඳුනන පුද්ගලයා ගැන කියන්නට වූහ.
‘‘මං දැක්කා මේකා පිම්මේ මේ පැත්තට දුවගෙන එනවා. ගෙයි ඉස්සරහ පැත්තෙන් එන්නේ නැතුව වැට පැනලා කුස්සිය පැත්තට මූ දුවගෙන ආවේ. මූත් එක්ක තව එකෙක් ඉස්සර වෙලා දිව්වා කෝ ඌ...’’ පාපැදියකින් ආ තරුණයෙක් සියල්ලන්ටම ඇසෙන පරිදි කියන්නට විය.
‘‘ මම මේ පො...ලී...සියෙන්....’’ ඒ තැනැත්තා කියද්දී ‘‘ ඕකා කොහේද පොලිසියේ... ඔය කියන්නේ බොරු.... ඔන්න ඕකට දෙකක් ඇන්න නං ආයෙත් ඔයවගේ අසමජ්ජාති වැඩ නොකරන්න....’’ පාපැදියෙන් ආ තරුණයා කියන්නට විය.
හොඳ ඇඳුමක් ඇඳගෙන සිටියත් මේ තරුණායාගේ දෑත් දෙපාවල තැනින් තැන නොසේදුණු මඩ දක්නට තිබුණි. ඔහු පතල් කපමින් සිට කඩිමුඩියේ අත් පා සෝදාගෙන පාපැදියෙන් පැමිණි බව පෙනුණි. එතැන සිටි හැමෝම වාගේ ඔහු හඳුනති.
‘‘මොකෝ අද වැඩ නැද්ද බං... මෙච්චර ඉක්මනට ගොඩ ආවේ පොලිසියෙන්වත් පැන්නද?...’’ එතැන සිටි කෙනෙක් ඔහුගෙන් ප‍්‍රශ්නයක් ඇසීය. ඔහු ඊට පිළිතුරු දෙන්නට පෙර කාන්තාවන් විසින් වටකරගෙන සිටි තැනැත්තා පිළිතුරු දෙන්නට විය.
‘‘මම පොලිසියේ. අපි කණ්ඩායමක් හොරෙන් පතල් කපන අය අල්ලන්න ආවේ. මේ පැත්තට දෙතුන් දෙනෙක් දිව්වා. මම ඒ අය පස්සේ පන්නාගෙන ආවා. එක්කෙනෙක් මේ ගේ ඉස්සරහින් පිටි පස්ස පැත්තට ආවා. එයා පස්සේ මම පන්නාගෙන ආවා. මෙතන වැසිකිළිය වහලා තිබුණ හින්දා මම හිතුවා දුවගෙන ආපු කෙනා වැසිකිළියට රිංගන්න ඇති කියලා. මම ඒ හාදයා අල්ලගන්න කියලා වැසිකිළියේ දොර ඇරියා. එතකොට මේ නංගි වැසිකිළිය ඇතුළේ හිටියේ... මාව දැක්ක ගමන් එයා කෑගැහුවා.....’’ ඒ තැනැත්තා කරුණු පැහැදිලි කරන විට පාපැදියෙන් ආ තරුණයා අතුරුදන්ව තිබුණි.
බලපත‍්‍ර නොමැතිව මැණික් පතල් කපන පිරිස් අල්ලන්නට මීට වසර විසි හතරකට පහකට පෙරදී කුරුවිට මැණික් පාරාදීසය ලෙස විරුදාවලිය ලත් පැරඩයිස් ප‍්‍රදේශයේ දී සිදුවූ සත්‍ය සිදුවීමකි. ඒ අකරතැබ්බයට මුහුණ පා සිටියේ දින කිහිපයකට පෙර ස්ථාන මාරුවක් ලැබ පැමිණ සිටි ද්‍රවිඩ ජාතික පොලිස් කොස්තාපල්වරයෙකි. මේ සිදුවීම එකල පුවත්පත්වල ද පළ වී තිබුණි.
මැණික් ගැරීමට බලපත‍්‍ර අවශ්‍ය වුවත් මැණික් බහුලව ඇති තැනකට කණ්ඩායම් වශයෙන් සැදුණ හතරපස් දෙනා එක්ව පතලක් කපති. ගොඩ පතල් නිසා වැඩි ගැඹුරක් නැත. ඉල්ලම හමු වූ පසු පෝර උරවලට ඒවා පුරවාගෙන ආරක්‍ෂිත තැනකට ගෙනත් තබති. ඉල්ලම් සෝදන්නේ පසුවය. මැණික් බහුල ප‍්‍රදේශවල මේ කරන අනවසර මැණික් ගැරීම් ඇල්ලීමට පොලීසිය නිතර කඩා පනී. එසේ නිතර කඩාපැනීම් වලින් බේරෙන්න නම් පොලිසියට ද හවුලක් දිය යුතු බව එදා මැණික් ව්‍යාපාරයට සම්බන්‍ධ වූවෝ කියති. එය ඇත්තක් ද යන්න අපි නොදනිමු. එවැනි මැණික් පතල් වැටලීමට එන ආධුනික පොලිස් නිලධාරීහු ඉහත ආකාරයේ විවිධ අාපදාවලට ලක්වෙති. විවිධ නින්දා අපහාසවලට ලක්වෙති.
හොර පතල් කපා පොලිසියට බයේ දුවන සමහරු ඇඳ සිටි සරම ගලවා දමා නිර්වස්ත‍්‍රව පැන දිවූ අවස්ථාද තිබේ. පස්සෙන් පන්නන රාලහාමි අල්ලන්න ඔන්න මෙන්න කියා කිට්ටු වෙද්දී සරම ගලවා දැමූවිට රාලහාමිගෙ වේගය අඩු වෙයි. ඒ අල්ල පනල්ලේ පතල් කැපූ තැනැත්තා වහං වෙයි. පතල් ජීවිතවල මෙවැනි සිදුවීම් ද අනන්තය. බොෙහා් වෙලාවට මෙවැනි අවස්ථා අසන්නට ලැබෙන්නේ අනවසර ගොඩ පතල්වලිනි.
ගැඹුරු පතල්වල මේ ආකාරයට කළ නොහැකිය. එනිසා ගැඹුරු මැණික් පතල් කපන්නට පෙර බලපත‍්‍ර කඩදාසියක් ගැනීම සිදුකරයි. බලපත‍්‍රයක් ගත් විට බියවන්නට දෙයක් නැත. පොලීසියෙන් පැන්නා කියා වැඩකරන අය දුවන්නට උවමනා නැත.
රත්නපුරේ මැණික් බහුල වුණත් ඇලැහැර, ඔක්කම්පිටිය ආදී ප‍්‍රදේශවල අනවසරයෙන් මැණික් පතල් කපන්නට යන පිරිස් අතර රත්නපුරේ ජනයා බහුලය. හතර පස් දෙනෙකුගේ කණ්ඩායමක් හදාගෙන උයාපිහාගෙන කන්න අඩුම කුඩුමත්, උදලු, යකඩ, කූඩා, ආයුධත් රැගෙන යන පිරිස් සඳහා බොහෝ විට වියදම් දෙන්නේ ව්‍යාපාරිකයෙකි.
මහ කැලෑවට ඇතුළු වී කැලේ ලී කපාගෙන වාඩියක් තනාගෙන නැවතී පතල් කිහිපයක් කපා මැණික් ගලක් සොයාගෙන ආපසු පැමිණීම දශක තුන හතරකට පෙර පැවති සිරිතකි. අද මෙන් සන්නිවේදන පහසුකම් නොමැති ඒ කාලයේ ගිය තැනැත්තන් හෝ ගෙවල්වල සිටින තැනැත්තන් අතර එකිනෙකා ගැන තොරතුරක් දැන ගන්නට කිසිදු හැකියාවක් නැත.
ඒ නිසා පතල් කපන්නට ගිය අය පතල් කැපීමේ ම නිරතව සිටිති. ඔවුන්ට බාහිර තොරතුරක් දැනගන්නට ඇත්තේ වාඩියට ගෙනියන පොකැට් රේඩියෝවෙනි. වැඩි ගැඹුරක් නැති මේ අනවසර ගොඩ පතල්, මැණික් ක්‍ෂේත‍්‍රයේදී සමහරු ‘‘දුවන පතල්’’ ලෙසද තවත් සමහර ‘‘දුවනගිරි පතල්’’ යනුවෙන්ද හාස්‍යයට ලක්කරමින් හඳුන්වනු ලබයි.
අද රත්නපුරේ පතල් රස්සාවලම නිරතව සිටින හැටවිය ඉක්මවූ වැඩිහිටියන්ගෙන් අඩකට වැඩි පිරිසක් සිය තරුණ කාලේ ඇලහැර හෝ ඔක්කම්පිටියේ පතල් කපන්න ගිය අය වෙති. ඒ කවුරු හෝ මුදලාලි කෙනෙකුගේ වියදම් කාසි මතය.
පතල් අත්දැකීම් ඇති බොහෝ අය තවමත් පතල් රස්සාවේ නිරතව සිටිති. ඒ නිසා වැඩිදෙනෙක් ඒ අත්දැකීම් විස්තර කරන්නට කැමති වුණත් නම් ගම් කියන්න අකමැතිය. සමහරු ප‍්‍රදේශයවත් කියනවට අකමැතිය. ඊට හේතුව විමසූ විට එය ද නොකියති. නමුත් සිදුවීම අපූරුය. මෙයද අනන්‍යතාව හෙළි කළ නොහැකි සිදුවීමකි.
’‘අපි පස්දෙනෙක් ලෑස්තිවෙලා ඔක්කම්පිටි යන්න ගියා. එක්කෙෙනක් ඇරෙන්න අනිත් හතර දෙනාම තනිකඩයෝ. අපේ කණඩායමට මුදල් වියදම් කරපු මුදලාලි තමා අර බැඳපු කෙනා අපිට පංගනාතු කළේ. මුදලාලිගේ ගෝලයෙක්. මුදලාලි අපිට වියදම් දුන්නේ. හැබැයි මැනේජර් විදියට හිටියෙත් ඒ බැඳපු කෙනා. මිනිහට අවුරුදු හතළිස් පහක් විතර ඇති. අනික් හතර දෙනා ගැටවරයෝ. අවුරුදු තිහට අඩුයි ඒ ඔක්කෝටම.’’
‘‘කතා කරගත්ත විදියට අපි පිටත්වුණ දවසට පහුවදා එළිවෙනකොට ඔක්කම්පිටියට ආවා. උදේ අටට විතර තමා පතල් කපන තැන්වලට යන්න පිටත් වුණේ. දවස් දහයකට විතර සෑහෙන්න වියළි ආහාර ද්‍රව්‍ය ගෝනිවලට දාගත්තා. අපේ මුදලාලි ගමේ කෙනෙකුත් ලෑස්ති කරලා තිබුණා. අපි පාරවල් දන්න එකක්යැ. ඒ මනුස්සයා ඉස්සර කරගෙන අපි යනවා. පැයක් හමාරක් යනකොට ගෙවල් මංඩිය ඉවරවෙලා කුඹුරු හම්බවුණා. ඒ කුඹුරු ටික පහු කරන්න පැයක් විතර යන්න ඇති.’’
‘‘දැන් ටිකෙන් ටික මහ කැලේ. ගමෙන් එකතු වුණ මිනිහා අපිව නිතරම බය කරනවා වගේ කතා කියන්න පටන් ගත්තා. වටපිට හෝදිසියෙන් යං. තනියා ඉන්න පුළුවන්. හුළං මුවාත අද හොඳ නෑ. තනියාට මිනිස් ගඳ දැනෙන්න බෑ, පන්නාගෙන එනවා.... ඔයවගේ කතා කියන්න පටන් ගත්තාම ඇත්තටම අපි හතර දෙනත් ටිකක් බයවුණා.’’
‘‘සවස තුන වෙනකොට අපි නවතින තැනට ආවා. ඒ හරියේ ගන කැලෑව. කුඹුක්කන් ඔය අද්දර තමයි අපේ නවාතැන කියලා ගමෙන් ආපු කෙනා කිව්වා. වේවැල්යාය මැද හරියෙදී වෙලෙන් එගොඩ පෙන්නලා මාළිගාවිල පන්සල තියෙන්නේ ඒ පැත්තෙ කියලා ඒ මනුස්සයා කිව්වා. කොහොම වුණත් කැලේ ඇතුළෙ කිලෝමීටර් දහයක්වත් අපි එන්න ඇති. අපි ආවේ පොඩි පොඩි අඩි පාරවල්වලින්.’’
‘‘ඒ හරියේ පතල් වාඩි කිහිපයක් අතහැරලා ගිහිං තිබුණා. දෙපැයක් විතර ගියාට පස්සේ කුඹුක්කන් ඔය පැත්තෙන් මිනිස් කටහඬවල් කිහිපයක් ඈතින් ඇහුණා. එතකොට තමයි අපේ හිතේ තිබුණ බයත් ටිකක් අඩු වුණේ.’’ අපේ කතානායකයා කතාවේ මුල ඇරඹීය.
‘‘අපි අලුතින්ම වාඩියක් හදාගත්තා. අර අතහැරලා ගිහිං තිබුණ වාඩිවලිනුත් දේවල් ඒකට ගත්තා. ගිය දවසට පහුවදා ඉඳලා පතල් කපන්න පටන් ගත්තා. වැඩි ගැඹුරක් නෑ. ගැඹුරම පතලේ අඩි පහක් ඇති. ඉල්ලම එනකල් හය දෙනා එක්ක පතලේ කපනවා. ඉල්ලම අහුවුණාම ඉල්ලම් ටික ගෝනිවල දාලා ඔයට ගෙනියනවා. අර අපිත් එක්ක ආපු මුදලාලිගේ ගෝලයා තමයි ගරන්නේ. මිනිහට ඉල්ලම් දෙන්න ගංඉවුරේ ඉන්නේ ඔක්කම්පිටියෙන් ආපු කෙනා. අපේ දෙන්නෙක් වළේ ඉල්ලම් කඩනවා. තව දෙන්නෙක් මාරුවෙන් මාරුවට ඉල්ලම් ගෝනිවල දාලා කරේ ඔය ළඟට ගෙනියනවා.’’
‘‘දවසට එක පතලයක් කපනවා. නාම්බු තුන හතරක් බලන්න පුළුවන්. රබස්, කිරිංචි, වගේ පොඩි පොඩි ගල් තියනවා. ගල් කෑල්ලක් හොයාගන්න බැරි වෙන එකක් නෑ කියලා හැමෝගෙම විශ්වාසයක් තිබුණා. ඔය විදියට අපි දවස් හයක් විතර වැඩ කළා. කැලේ තියන ලොකු කොටයකට ගින්දර දාලා ගහපු ගිනි මැලේ නිවෙන්න දෙන්නෙම නෑ. කුප්පි ලාම්පුවක් වාඩියේ පත්තු කළාට නමය වෙනකොට ඒක නිවනවා.’’
‘‘මට මතක හැටියට හත් වෙනි දවස වෙන්න ඕනෑ. යන්තම් එළිය වැටෙන කොට අපි නැගිටිනවා. අපි පස් දෙනෙක් නැගිට්ටත්, අපිත් එක්ක ආපු අර විවාහක තැනැත්තා ගුළි වෙලා රෙදි පොරොවගෙන නිදි. මිනිහා ඇහැරවන්න බලද්දී සහලෝලා උණ. රාත‍්‍රියේ කිසිම අමාරුවක් තිබුණේ නෑ. ඒ කාලේ ඔක්කම්පිටි පැත්තේ මැලේරියාව තිබුණා. එකත් එකටම මිනිහට මැලේරියාව කියලා අපිට හිතුණා. ඇයි මිනිහා හැමදාම දෙකේ විතර ඉඳන් පහ විතර වෙනකම් වතුරේ බැහැලා ඉල්ලම් හෝදනවානේ.’’
වාඩියේ සිටි අය කොත්තමල්ලි තම්බා දුම් අල්ලා කොත්තමල්ලි වතුර බොන්න දී ‘‘ඩිස්ප‍්‍රීන්’’ පෙති දෙකක් ද බොන්නට දුන්නාහ. මේ වකවානුවේ වේදනා නාශක ලෙස භාවිතා කළේ ඩිස්ප‍්‍රීන් ය. ඩිස්ප‍්‍රීන් පෙති දෙකක් වතුරට දමා දියකර බීම සාමාන්‍ය සිරිත විය.
මහ කැලේ ලෙඩක් උණොත් කාත් කවුරුවත් නැත. අතපය වාරු නැතිවුණොත් කරගහගෙන ගෙනියනවා මිස වෙනත් සරණක් නැත. මැලේරියාවට ගොඩ වෙදකම් හරියන්නේ ද නැත. ඒනිසා ඔක්කම්පිටිය ඩිස්පෙන්සරියට එක්ක ගිහිං බෙහෙත් අරන් දීම සුදුසු බව කාගේත් තීරණය විය. දැන්ම පිටත් වුණොත් දෙක තුන වෙනකොට ඩිස්පැන්සරියට යා හැක. (මේ කියන වකවානුවේ ඔක්කම්පිටියේ රෝහල නොතිබූ බවත් ඩිස්පැන්සරියක් පමණක් තිබූ බවත් අපේ කතා නායකයා කියයි.)
එදා දවසේ පතල් කැපීම නවත්වා රෝගියා පිටත් කිරීමට සියලු දෙනා පියවර ගත්හ. රෝගියා සමග ගමේ තැනැත්තා ඔහුගේ ආරක්‍ෂාවට පිටත්විය. සෙසු හතරදෙනා වාඩියේ වූහ.
‘‘බෙහෙත් අරං එන ගමන් තව අඩුම ටිකකුත් අරගෙන එන්නම් කිව්වා. අපෙන් එක්කෙනෙක් එන්නද ඇහුවම අපිට වාඩියේ ඉන්න කිව්වා. ඉල්ලම් මට්ටම එනකං ටිකක් ලොකුවට පතල කපන්න කියලත් කිව්වා. අපිත් කැමති වෙලා නැවතුණා. එදා දවසේ අපි වැඩ කළේ නෑ. කතාකර කර ඉන්න ගමන් වාඩියේ නිදාගන්න මැස්ස අස්පස් කළා. පොඩි අමු සුදුලූනු ගෙඩි දෙකක් මැස්සේ තිබිලා වැටුණා. ඒ දෙක තිබුණේ අර උණ හැදුණ කෙනා හිටපු ආසන්නයේ. කොත්තමල්ලි වලට දාන්න සුද්ද කරපු සුදුලූනු ගෙඩි දෙකක් වැටිලා වෙන්න ඇති කියලා අපි හිතුවා. ’’
‘‘පහුවදා දෙක වෙනකොට බෙහෙත් ගන්න ගිය දෙන්නා ආවා. තවත් සතියකට විතර සෑහෙන කෑම ජාතිත් කර ගහගෙන ආවේ. බෙහෙත් ඕනෑ නෑ කිව්වා කියලාත් කිව්වා. දැන් සනීපයි කියලා කිව්වා. එදා ගොඩ දාපු ඉල්ලම් ටික හේදුවෙත් මිනිහා. කිසිම අමාරුවක් නෑ කියලා මිනිහා හොඳට වැඩ කළා. අපි සතියක් විතර වැඩ කරන්න ඇති. ඒ වුණාට වටින ගල්කෑල්ලක් හම්බ වුණේ නෑ. පොඩි දළං තිබුණා. මේ ටිකේ ඉල්ලම් තිබුණට ගල් නැති නිසා ඉස්සර වැඩ කළ අයත් වාඩි අතෑරලා යන්න ඇති කියලා හිතුවා.’’
‘‘අපිත් සති දෙකකට විතර පස්සේ වැඩ නවත්තලා එන්න පිටත් වුණා. ඔක්කම්පිටියට ඇවිත් දවසකට පස්සේ ගමට ආවා. කට්ටියම ගෙවල්වලට යන්න කලින් මුදලාලි හම්බවෙලා හම්බවුණ ගල් පෙන්නුවා. ඒවා වැඩක් නෑ කියලා අපිට රුපියල් සීය ගානේ දුන්නා. ආය යන්න ලෑස්ති වෙන්න කියලත් කිව්වා.’’
‘‘ ඉතිං අපි ආගිය තොරතුරු කතා කරන ගමන් අර උණ හැදුණ කතාවත් මුදලාලිට කිව්වා. බෙහෙත් ගන්න එයා එක දවසක් ඔක්කම්පිටියට ආ බවත් කියනකොට මුදලාලිගේ මුණ අමුතු වුණා. අර ලෙඩ වෙච්ච මිනිහත් ටිකක් කලබල වුණා. අපි ගෙනාපු බඩු ඒ කියන්නේ ඇඳුම් බෑග් එහෙමත් එළියේ තිබුණේ. අපි ගෙවල්වලට නොගිහිං මුදලාලි හම්බවෙලාම යමු කියලා යෝජනා කරනකොට අර ලෙඩවුණ මනුස්සයා කිවුවේ අපි ගෙවල්වලට ගිහිං පස්සේ මුදලාලි හම්බ වෙන්න එමු කියලා. නමුත් අපේ පෙරැත්තයට මිනිහත් ආවා.’’
‘‘අපි කතාකරන ගමන් ඒ කතාවත් මුදලාලිට කිව්වා. ඒ මනුස්සයා කිව්වා පවුල බලාගෙන ඇති හින්දා ගෙදර ගිහිං එමුයි කිව්වේ කියලා කිව්වට මුදලාලි ඒක ගණන් ගත්තේ නෑ. මුදලාලි අර මනුස්සයා දිහා ටිකක් සැකෙන් වගේ බලාගෙන ඉඳලා මිනිහට ඉන්න කියලා අපිව පිටත් කරලා එව්වා.’’
‘‘මුදලාලි ළඟ ඉන්නවා හැඩිදැඩි ඇඟපත තියන හතරපස් දෙනෙක්. ඒ අය අර මිනිහා කාමරයකට දාලා ප‍්‍රශ්න කරලා. මිනිහා ගරද්දී අහුවුණ නිල් කෑල්ලක් හංගාගෙන ඉඳලා. ඔක්කම්පිටියේ මිනිහයි දෙන්නා ලෑස්තිවෙලා අපිටයි මුදලාලිටයි වංචා කරලා. අපිට නින්ද ගියාට පස්සේ මිනිහා සුදුලූනු ගෙඩි දෙකක් කනේ ගහගෙන නිදාගෙන. ඇඟ රත්වෙලා තියෙන්නේ ඒ හින්දලු. බේත් ගේන මුවාවෙන් දෙන්නා ගලත් අරං හොරෙන් ඔක්කම්පිටියට ගියා. හැන්දෑවට ඔක්කම්පිටියට පිටින් වෙළෙන්දො එනවා. ඒකෙනෙකුට ගල විකුණලා. රුපියල් දහදාහට ගල විකුණලා තියෙන්නේ.
ඒ දෙන්නා එක්ක සල්ලි බෙදාගෙන. ඒ කාලේ තිබුණ ලොකුම සල්ලි කොළේ තමා රුපියල් සියය. මිනිහගේ පංගුවේ සල්ලි රෙදි කවරෙ තිබිලා හම්බ වුණාට පස්සේ තමයි ඔය තොරතුරු හෙළි වෙලා තියෙන්නේ’’ අපේ කතානායකයා සිද්ධිය විස්තර කළේ මැණික් පතල් කර්මාන්තයේ දී අම්මා තාත්තාවත් විශ්වාස නැත යන කියමන තවදුරටත් සනාථ කරමිනි.
කෙසේ වෙතත් මුදලාලි පසුව තමන් කැඳවා සිද්ධිය පවසා තව රුපියල් තුන්සියය බැගින් තමන් හතර දෙනාට ද දුන් බව කීවේය. මැණික් පතල් කර්මාන්තයේ වංචා සිදුවන්නේ ලද සැණින් එසැණින් බව සිහිගන්වන සිදුවීම් අනන්තය.
තවත් කොටසක් ලබන සතියේ...
සටහන හා ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය
වර්තමානයේ බොහෝ සෙයින් අහන්නට නොලැබෙන එහෙත් අන්තර්ජාලය ඔස්සේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින අපූර්ව ගීතයක් පිළිබඳව සොයාබැලීමක් කරන්න අපි හිතුවා.
2025 විහිළුකාරයන්ගේ වසරලු. මෙහෙම කියන්නේ, ‘සමගි කොමඩි සන්ධානය’යි. මේ සන්ධානයට ‘චූටි මල්ලියි - පොඩි මල්ලියි’, ‘ජනයි - ප්‍රියයි’, ‘ලකයි - සිකයි’, ‘සිරිල් අයිය
වේදිකා නාට්‍ය නළුවෙකු, කතුවරයෙකු, නිවේදකයකු, ආදී ලෙසින් කලාවේ එකී මෙකී විවිධ අංශයන්හි දස්කම් පෙන්නමින් කලාවේ සලකුණක් වූ වසන්ත දුක්ගන්නාරාලගේ නම මේ දි
සංජානා ගමාරච්චි කියන්නේ රංගනයෙන්, නිවේදනයෙන් මෙන්ම තමන්ගෙ නර්තන හැකියාවෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් හැඩකාර, දඟකාර රුවැත්තියක්. මේ දවස්වල නම් ඈ ගොඩ
ඉසුරු වීරසිංහමුදලි අධ්‍යක්ෂණය කළ පැණි මකුළුවෝ සිනමාපටය හරහා රංගනයට පිවිසෙමින් බොහෝ සෙයින් කතාබහට ලක්වුණ අයිෂාරා අතුකෝරළ නිරූපිකාවක් , නිවේදිකාවක්
තුරුණු වයසේදී කාන්තාවක ලෙස තම ජීවිතයට උපරිම වටිනාකමක් දුන් චරිතයක් ලෙස ඇය නම් කරන්න පුළුවනි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
සුදුලූනු ගෙඩි දෙකෙන් වැලඳුණ උණ වාසනාව ගෙන එයි