කෞතුකාගාරයක් යනු ඓතිහාසික, විද්‍යාත්මක සංස්කෘතිකමය හා සෞන්දර්යාත්මක, අගයකින් යුතු භාණ්ඩ සංරක්ෂණය කරනු ලබන ස්ථානයයි. ලොව රටවල් 202ක කෞතුකාගාර 55,000ක් පමණ පවතින අතර වැඩිම කෞතුකාගාර සංඛ්‍යාවක් ඇත්තේ මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරයේයි. එහි ඇති කෞතුකාගාර සංඛ්‍යාව 128කි. ලොව පැරණිම කෞතුකාගාරය ලෙස පිළිගැනෙන්නේ ක්‍රි.ව. 1471 සිව්වැනි සික්ස්ටස් පාප්තුමන්ගේ කාලයේ රෝමයේ ආරම්භ වූ කැපිටොලින් කෞතුකාගාරයයි. 1506 ආරම්භ කෙරුණු වතිකානු කෞතුකාගාරය පැරණිකම අතින් දෙවැනි ස්ථානයට ගැනෙයි.'


ශ්‍රී ලංකාවේ ක්‍රි.පූ. 3 වැනි සියවසේ සිට කෞතුකාගාර සංකල්පය පැවැති බව සඳහන් වුවද නවීන කෞතුකාගාර සංකල්පය මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ ඉංග්‍රීසි පාලකයන් විසිනි.


කොළඹ 7 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත ඔස්සේ ගමන් කරන්නකුට ඇල්බට් චන්ද්‍රවංකයට මුහුණ ලා ඇති ධවල වර්ණ සුවිශාල ගොඩනැගිල්ලක් දිස්වෙයි. ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පය අනුව තනා ඇති මෙම ගොඩනැගිල්ලට මේ වනවිට හරියටම වසර 140කි. එය අපේ ජාතික කෞතුකාගාරයයි. ශ්‍රී ලංකාවේ විශාලතම කෞතුකාගාරය මෙන්ම ආසියානු කලාපයේ ඇති බොහෝ කෞතුකාගාරවලට වඩා පැරණි කොළඹ ජාතික කෞතුකාගාරය විවෘත කෙරුණේ 1877 ජනවාරි 1 දා ය.


බි්‍රතාන්‍ය පාලන සමයේ මෙරට සිවිල් සේවයට පත්ව ආ 'බි්‍රතාන්‍ය නිලධාරීහු තමන්ට ලැබුණු වටිනා කෞතුක වස්තු රාජකීය ආසියාතික සංගමයට ලබා දුන්හ. 1850 පමණ කාලය වනවිට රාජකීය ආසියාතික සංගමය සතුව එවැනි භාණ්ඩ විශාල ප්‍රමාණයක් පැවැති අතර ඒවා තැන්පත් කර තැබීම සඳහා විශේෂ ස්ථානයක අවශ්‍යතාව ඔවුනට දැනී තිබිණි. 1872දී ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව ආයේය. එවක රාජකීය ආසියාතික සංගමයේ සභාපතිවරයා වූයේ කර්නල් ඒ.බී. පයර්ස් මහතාය. ඔහු ඇතුළු රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයන් පිරිසක් 'නව ආණ්ඩුකාරවරයා හමුවී කෞතුකාගාරයක අවශ්‍යතාව පිළිබඳව දැනුම්වත් කළහ. ඔවුන්ගේ ඉල්ලීමේ ඇති වැදගත්කම වටහාගත් ආණ්ඩුකාරවරයා 1873 සැප්තැම්බරයේ කෞතුකාගාරයක් පිහිටුවීමේ අවශ්‍යතාව දන්වා ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ කාර්යයක් වශයෙන් එය ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා ව්‍යවස්ථාදායක සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට අසීරු බවට ව්‍යවස්ථාදායක සභාව ප්‍රකාශ කළ හෙයිනි.'එහෙත් ආණ්ඩුකාරවරයාගේ බලවත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවසර ලැබිණි.


කෞතුකාගාරය ඉදිකිරීම සඳහා අක්කර හතක භූමියක් තෝරා ගැනුණු අතර ගොඩනැගිල්ලේ සැලසුම නිර්මාණය කිරීම බාර වූයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පි ජේ.ජී. ස්මිදර් මහතා වෙතය. ඔහු ඉතාලියානු ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සහිත අපූරු සැලසුමක් නිර්මාණය කළේය. එහි ඉදිකිරීම් කටයුතු අරාසි මරික්කාර් වපාචි මරික්කාර් නොහොත් වපාචි මරික්කාර් බාස් වෙත පැවරිණි. (ඔහු කොළඹ මහ තැපැල් හල, රේගු ගොඩනැගිල්ල, පිටකොටුවේ පැරණි නගර ශාලාව, ගාලු මුවදොර හෝටලය, ඛාන් ඔරලෝසු කණුව වැනි ගොඩනැගිලි රැසක කොන්ත්‍රත්කරුවා වූ අතර ශ්‍රීමත් රාසික් ෆරීඞ්ගේ පිය පාර්ශ්වීය සීයා විය) කෞතුකාගාරයේ වඩු අංශය බාර වූයේ එස්.එම්. පෙරේරා නමැති වඩු කාර්මිකයකුහටය. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව ආණ්ඩුකාරවරයා පෞද්ගලිකවම සොයා බැලීමට අමතක නොකළේය.


1876 එහි ඉදිකිරීම් කටයුතු අවසන් වූ අතර ඒ සඳහා රුපියල් එක්ලක්ෂ දහනවදහස් නවසිය අනූ තුනයි ශත අනූ තුනක් වැයවී තිබිණි. ගොඩනැගිල්ල 1877 ජනවාරි 1 දින ආණ්ඩුකාරවරයා අතින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරිණි. ගොඩනැගිල්ල ඉදිකළ කොන්ත්‍රත්කරුවාගේ කාරුණික ඉල්ලීමක් තිබිණි. ඒ ඉස්ලාමීය ආගමික දිනය වන සිකුරාදා දිනයන්හි කෞතුකාගාරය වසා තබන ලෙසටය. ඔහුගේ ඉල්ලීම ඉටු කෙරුණු අතර 'සිකුරාදා දිනවල එය වසා තැබීමට පියවර ගැනිණි. පසුකාලයේ වපාචි මරික්කාර්ගේ මුනුපුරා වූ ශ්‍රීමත් රාසික් ෆරීඞ්ගේ අවසරය මත අගමැති ඩී.එස්. සේනානායක මහතා එය සිකුරාදා දිනවල ද විවෘත කර තැබීමට පියවර ගත්තේය.


ආරම්භයේ දී පුරාවිද්‍යාත්මක අගයෙන් යුතු භාණ්ඩ සහ ශ්‍රී ලංකාවේ අත්කම් හා ස්වර්ණාභරණ වැනි භාණ්ඩ 1192ක් ප්‍රදර්ශනය සඳහා එහි තැන්පත් කර තිබිණි. ක්‍රමයෙන් එයට විවිධ භාණ්ඩ එක් වූ අතර පසුකාලයේ ඉඩකඩ මඳවීම හේතුවෙන් පුළුල් කිරීමට පියවර ගැනිණි. අධ්‍යක්ෂ ආතර් විලීගේ පාලන සමයේ එහි නැගෙනහිර අන්තයේ ඉදිකිරීම් 1907දී ආරම්භ වී 1909දී අවසන් වූ අතර ආචාර්ය ජෝසප් පියර්සන්ගේ පාලන කාලයේ එහි බටහිර අන්තයේ ඉදිකිරීම් 1929දී ආරම්භ වී 1930දී අවසන් කෙරිණි.


කෞතුකාගාරයේ ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබුණේ විවිධ මුද්‍රාවලින් සමන්විත බෞද්ධ ප්‍රතිමාය. ඒවා දැව, ලෝකඩ හා ඇත් දළවලින් නිමවා තිබිණි. මාතර දිස්ත්‍රික්කයට ආවේණික වූ සිංහල ස්වර්ණාභරණ, ලාක්ෂා භාණ්ඩ, වෙස් මුහුණු, පොල් සහ තල් නිෂ්පාදන මෙන්ම මාලදිවයිනෙන් ත්‍යාග ලෙස ලද භාණ්ඩ රැසක් ද එහි ප්‍රදර්ශනය කෙරිණි. මධ්‍යකාලීන යුගයට අයත් භාණ්ඩ සඳහා වෙනත් කුටියක් වෙන් කර තිබිණි. ඇත් දළවලින්'නිර්මාණය වූ චාමර මිටවල්, පනා, පනේල, කුඩා දාගැබ් ආදිය ද කැටයම් කළ කොපුව සහිත උඩරට කඩු, කිනිසි, පිහියා,  පරාක්‍රමබාහු සමයට සහ බුවනෙකබාහු රජ සමයට අයත් සිංහල කාසි සහ රෝම වෙළෙඳුන් මෙරටට පැමිණි කාලයේ භාවිතා වූ කාසි සහ ඉංග්‍රීසි පාලන සමයේ භාවිත වූ කාසි ද'එහි තැන්පත් කර තිබිණි. කැස්බෑ ලෙලි නිෂ්පාදන, උඩරට මැටි භාණ්ඩ, විවිධ වර්ගයේ ගිර, උඩරට පෙට්ටි ආදිය සඳහා ද විශේෂ ස්ථානයක් එහි වෙන් විය.
පාෂාණ ගැලරිය වෙන් වූයේ පුරාවිද්‍යාත්මක අගයෙන් යුතු ප්‍රතිමා, කුලුණු, පුවරු ආදිය සඳහාය. සීිගිරි බිතුසිතුවම්වල පිටපත් සහ දළදා මැඳුරේ ආකෘතියක් ද එහි ප්‍රදර්ශනය කළ භාණ්ඩ අතර විය.


මහජන ප්‍රදර්ශනය අරඹා වසරක් තුළ 150,000කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණ ඇතැයි වාර්තා වේ.


පසුකාලයේ බොහෙම් නමැති මූර්ති ශිල්පියකු විසින් නිර්මාණය කෙරුණු ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරිගේ ලෝකඩ ප්‍රතිමාවක් කෞතුකාගාරය ඉදිරිපිට ස්ථාපනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවට කෞතුකාගාරයක් ලබාදීම සඳහා ඔහු විසින් දරන ලද අපරිමිත සේවයට කෘතගුණ සැලකීමක් ලෙසිනි. ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි 1872 සිට 1877 දක්වා මෙරට ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය.


කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වූයේ ආචාර්ය ඇමරල්ඞ් හේලිය. ඔහු 1877 සිට 1901 දක්වා අධ්‍යක්ෂ ධුරය හෙබවූ අතර ඔහුගෙන් පසු ආතර් විලී අධ්‍යක්ෂ ධුරයට පත් විය. කොළඹ කෞතුකාගාරයේ පළමු ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයා වූයේ ආචාර්ය පී.ඊ.පී. (පවුලස් එඞ්වඞ් පීරිස්) දැරණියගල මහතාය. ඔහු 1939 සිට 1963 දක්වා එහි අධ්‍යක්ෂවරයා විය. ජාතික කෞතුකාගාරය ජාත්‍යන්තර තලයට පත්වූයේ ඔහුගේ පාලන සමයේය. 1942දී අංක 31 දරණ කෞතුකාගාර පනත යටතේ යාපනය, මහනුවර සහ රත්නපුරයේ කෞතුකාගාර විවෘත කිරීමට ඔහු පියවර ගත්තේය. බි්‍රතාන්‍යයන් සතුව තිබූ ශ්‍රී ලංකාවේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ආභරණ හා සිංහාසනය යළි කොතුකාගාරයට ලබා දීමට බි්‍රතාන්‍ය රජය එකඟ විය. දැනට බි්‍රතාන්‍ය කෞතුකාගාරය සතුව පවතින තාරා දෙවඟනගේ පිළිරුවේ අනුරුවක් කෞතුකාගාරයේ තැන්පත්ව තිබේ.


වර්තමානයේ එහි ප්‍රදර්ශන ශාලා 16ක් දැකිය හැකිය. ඒවා නම් ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, සංක්‍රාන්ති යුගය, මහනුවර යුගය සහ පාෂාණ සහ පුරාවස්තු, චිත්‍ර, රෙදිපිළි, පිඟන් භාණ්ඩ, කාසි සහ මුදල්, ධජ පතාක, අත්කම් හා කලා ශිල්ප, අවි සහ යුද්ධෝපකරණ, චිරාගත චාරිත්‍ර, සාම්ප්‍රදායික කෘෂිකර්මය සහ ගෘහ භාණ්ඩ සඳහා වෙන්වුණු ප්‍රදර්ශන ශාලාය.'
ජාතික කෞතුකාගාරය සතු තවත් අගනා අංගයක් වන්නේ එහි පුස්තකාලයයි. කොළඹ නගරයේ තිබූ ආදිම පුස්තකාලය වශයෙන් සැලකෙන්නේ 1813 ආරම්භ කෙරුණු 'එක්සත් සේවා පුස්තකාලයයි. එය හමුදා නිලධාරීන් සඳහා වෙන්වූවක් විය. 1824දී කොළඹ පුස්තකාලය නමින් තවත් පුස්තකාලයක් තිබිණි. කෞතුකාගාර පුස්තකාලය ආරම්භ වූයේ කෞතුකාගාරය විවෘත කළ දිනයේමය. එය එවක පැවැති එකම නිදහස් පුස්තකාලය විය. 1870 ආරම්භ කෙරුණු රජයේ පෙරදිග පුස්තකාලය පසුව කෞතුකාගාර පුස්තකාලයට අනුයුක්ත කෙරිණි.'ස්වභාවික විද්‍යාව හා පෙරදිග සාහිත්‍යය පිළිබඳ අවශ්‍ය තොරතුරු මෙරට ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව මෙම පුස්තකාලය ස්ථාපනය කෙරිණි.


ලංකාව පිළිබඳව ලියැවුණු අගනා පොත්පත් රැසකින් සමන්විත වූ එහි 1885න් පසු මෙරට මුද්‍රණය කෙරුණු සෑම ග්‍රන්ථයකම පිටපතක් තැන්පත් කර තිබිණි. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් පුස්කොළ පොත් රැසක් එහි වෙයි. 500කට අධික සිංහල බුරුම සහ කාම්බෝජ බසින් රචිත පුස්කොළ පොත් රැසක් එවක තිබූ අතර පාලි බසින් රචිත මහවංශයේ පිටපතක් සහ'බුරුම රජතුමා විසින් 1900 වැනි කාලයේ පරිත්‍යාග කළ පුස්කොළ පොත් ද ඒ අතර විය. මේ වනවිට 3500කට අධික පුස්කොළ පොත් එකතුවක් සහ වෙනත් පොත් සහ සඟරා ලක්ෂ 6කට අධික ප්‍රමාණයක් එය සතුය.


පසුව එයට විවිධ පුද්ගලයන්ගේ පොත් සහ පුස්කොළ පොත් එකතු එක් විය. එච්.සී.පී. බෙල්, හියු නෙවිල් වැනි අයගේ පෞද්ගලික පොත් එකතු ද කළුකොඳයාවේ පඤ්ඤාසේකර හිමියන්ගේ සිංහල සඟරා සහ පුවත්පත් එකතුව ද සොලමන් ඩයස් බණ්ඩාරනායක විසින් පරිත්‍යාග කළ හෙන්රි බ්ලේක්ගේ පුස්කොළ පොත් එකතුව හා ආචාර්ය ඩබ්ලිව්.ඒ. ද සිල්වාගේ පුස්කොළ පොත් එකතුව ද ඒ අතර විශේෂය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය