ලංකාවේ අබිරහස් ස්ථාන
මහ කුඩුගල කඳු මුදුනේ හතර අතටම උමං මාර්ග
හෙළ ඉතිහාසයේ රාජ වාංශික පුද්ගලයන් අතර වඩාත් කතිකාවට ලක්වන නමුත් ප්‍රබල සාක්ෂි සොයාගත නොහැකි චරිතය නම් රාවණා රජුය. ගුවන් යානා තාක්ෂණික දැනුම පවා තිබී යැයි ජනප්‍රවාදයේ එන රාවණා රජු ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය වූ සීතා දේවිය පැහැර ගෙන ලංකාවට පැමිණීමේ කථාංගය වාල්මිකී විසින් ගොඩනගන ලද්දකි. නමුත් වර්තමානය වනවිට ලංකාවේ සතර දිග්භාගයෙන්ම රාවණා රජු සම්බන්ධ වූ ස්ථාන පිළිබඳ කතිකා හා ජනමත රාශියක් ගොඩනැගී ඇත. ප්‍රමාණවත් සහ පිළිගත හැකි පෞරාණික සාක්ෂි නොමැති වීමෙන් එවා තවමත් ලෝකය අභිමුඛයේ ප්‍රචලිත වී නොමැත.
ලකේගල, යහන්ගල, අලුගල්කන්ද, හග්ගල, කඳුළු මාවත (පෙරට්ටාසි කන්ද), හවාගල කන්ද, කොණ්ඩගල සහ රාවණාගල ආදී කඳු ශිඛර රාවණා රජු සහ ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධ ජනප්‍රවාද බොහෝමයකින් සමන්විතය. ඉන් සමහර ප්‍රදේශවල ජනතාව තවමත් රාවණා රජු පිළිබඳ ඉමහත් භක්තියෙන් යුතුව සිහිපත් කරන අතර ඔවුන්ගේ ඇදහිල්ලේද එය පවතින බව අපට සනාථ වූ අවස්ථා ඇත. යහන්ගල නම් නකල්ස් නැගෙනහිර බෑවුමේ සහ දහඅට වංගුවට ආශ්‍රිත පිහිටි කන්ද පෙනුමෙන්ම නිදන ඇඳක් වැනිය. ලකේගල පැවති රාම රාවණා යුද්ධයේදී සිහි මූර්ජාවූ රාවණා රජුගේ සිරුර යහන්ගල පර්වතයේ තැන්පත් කොට ඇති බවටත් ඊට එවකට විසූ ගලේ බණ්ඩාර දෙවියන් පවා බුහුමන් දැක්වූ බව ප්‍රදේශයේ පවතින විශ්වාසනීය මතයකි.
තවද මීට සමානව රාවණා රජු සිහිමුර්ජා වූ පසු එතුමාගේ සිරුර බෙහෙත් ගල්වා අනාගතයේ බොහෝ දිනක් පවතින පරිදි කඳු මුදුනක අභ්‍යන්තරයේ සඟවා ඇති බව කියැවේ. එම කඳු මුදුන නම් නුවරඑළියෙන් මඳක් ඔබ්බට පිහිටි ලංකාවේ උසින් 12 වන ස්ථානයේ පසුවන මහකුඩුගල කන්දයි.
වලපනේ ආශ්‍රිතව ජනප්‍රවාදයේ එන පරිදි පහනක් තිබූ කන්දක් විය. එහි පහන දල්වන ලද්දේ මහකුඩුගල පර්වතයේ වාසය කරන යක්ෂයෙකුට ආලෝකය පිණිස බවට කියැවේ. තවද කොත්මලේ ප්‍රදේශයේ පිහිටි රාවණාගොඩ යනු රාවණා රජු සැඟව සිටි ඉසව්වක් බවටත් මතුරට ප්‍රදේශයේ ඇති සීතාව යනු සීතා ෙද්විය සඟවා තැබූ ග්‍රාමය බවටත් කියැවේ. තවද ස්ත්‍රීපුර උමග තුළ සිටි සීතා දේවිය හට වැලඳුණු රෝගයක් හේතුවෙන් ඇයව උමං මාර්ගයකින් හක්ගලකන්දේ ඔසු උයනට ගෙන ආ බවටත් එහිදී සීතා දේවිය සිහිවීම පිණිස කෝවිල හැදූ බවටත් නුවරඑළිය සීතාඑළියේ ජනප්‍රවාදවල පවතියි.
තවද රාමගේ හීසර වැදී සිහි මුර්ජා වූ රාවණා රජුගේ සිරුර බෙහෙත් ගල්වා ඔහු මතු දිනක අවදිවේ යැයි සිතා එතුමාගේ සිරුර මහකුඩුගල කන්දේ ගුහාවක සඟවා ඇති බවටත් කියැවේ. තවද එම කර්තව්‍යය සිදුකර ඔහුගේ සිරුර ඇල්ල කන්දගොල්ලේ පිහිටි නිල් දිය පොකුණ ගුහාව තුළ තැන්පත් කර ඇති බවටත් කියැවේ. කෙසේ හෝ මහ කුඩුගල කන්ද තරණය පිණිස ඉකුත් මස අප නුවරඑළියට ගියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් සහිතවය.
ලංකාවේ දොළොස් වන උසම කන්ද වන මහකුඩුගල උස මීටර 2103 ක් පමණ වේ. මෙම කන්ද නුවරඑළිය දිසා වන අඩවියේ හල්ග්‍රන්ඔය අඩවි වන කලාපයට අයත්ය. පසෙකින් මහකුඩුගල පෞද්ගලික තේ වතු යාය ඇති අතර සමස්ත කන්දම රාගල කන්ද දක්වා විහිදුණු වන සංරක්ෂණ කලාපයකි. නුදුරේම මහකුඩුගල කන්දට සම්මත සංචරණ මාර්ගයක් නිර්මාණය කොට ජනතාවට විවෘත කරන බටව නුවරඑළිය අඩවි වන නිලධාරිනිය විසින් පවසන ලදී. එම නිසාම අප බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලයෙන් ලිඛිත අවසරය ලබාගත්තේ නුවරඑළිය අඩවි වන නිලධාරී යටතේ කන්ද තරණය කිරීමටය.
කොළඹින් පිටත්ව හැටන් හරහා නුවරඑළියට පැමිණ පසුව කඳපොළ උඩුපුස්සල්ලාව පාරේ කිලෝ මීටර 20 ක් පමණ පැමිණ මංසන්ධියෙන් වමට ඇති බෲක් සයිඩ් හරහා හයි ෙෆාරස්ට් පාරේ තවත් කිලෝමීටරයක් පමණ ගමන් කළ යුතුය. පසුව මහකුඩුගල වත්තට ප්‍රථම බුදු මැදුරක් ආසන්නයේ වංගුවකදී හල්ග්‍රන්ඔය අඩවි වන නිලධාරී කාර්යාලය අසලට යා යුතුය. අඩවි වන නිලධාරී කාර්යාලයට පිටුපසින් ඇත්තේ මහකුඩුගල වනයයි. එය කෙලවරක් නොපෙනෙන තරම් දුරකට පයින් ගස්වලින් පිරී තිබේ. සුදු පැහැති ඉතා උස් කඳෙහි මුදුනේ සහ ඒ අසල අතු පතර විහිදී කොළ ඇති අතර සමස්ත පොළොවම එම කොළවලින් වැසී තිබුණේ ගුප්ත බවක් එක්කරමිනි. අසල පටු මාර්ගය මහ කුඩුගල වත්තට සහ කම්කරු නිවාස පෙදෙසට දිවෙන අතර එය මඩ පිරුණු බොහෝ අබලන් වැලි මාර්ගයකි.
සැලසුම් කළ පරිදි හල්ග්‍රන්ඔය වන සංරක්ෂණ කාර්යාලයේ මග පෙන්වන්නෙකු අප සමග පැමිණි අතර වන පියස මැදින් අපි ඉදිරියට ඇදෙන්නට වීමු. මෙම ප්‍රෙද්ශයේ ඇත්තේ ඉහත කී උස් ගස් වර්ගය පමණක් වන අතර වැඩි නැග්මක් දැක්මට නොතිබුණි. කෙසේ හෝ පැය භාගයක පමණ ගමනකින් පසු අප වන පියසකට ඇතුළු වුණෙමු. මෙය මහකුඩුගල කන්ද ආශ්‍රිත වන රොද විය. අක්‍රමවත් අඩි මාර්ගය දිගේ අප ඉදිරියටම ඇදෙන්නට වූ අතර ක්‍රමයෙන් ගල් කුට්ටි මතින් ගස් කඳන් හා වැල් අල්ලාගෙන ඉහළට නැගීමට අපට සිදුවිය. මෙසේ අප ප්‍රවේශමෙන් ඉදිරියට ගමන් කළේ අවට පරිසරයේ තිබූ දැඩි නිහඬතාව මගින් පරිසරයේ සුන්දරත්වය විඳිමිනි. විශාල ගස් වුවත් අතරින් පතර හිඩැස තිබූ අතර ඇතැම් ස්ථානවල කුඩා ජල, මූලාශ්‍ර දක්නට ලැබුණි. කූඩැල්ලන්ගෙන් කරදරයක් නොවුණු අතර අපි මේ වනවිට මුහුදු මට්ටමින් මීටර 1900 කට වැඩි ඉහළකින් ගමන් කරමින් සිටියෙමු.
එහිදී අප එක්තරා ඉසව්වකදී කුඩා ගල්ලෙනක් දුටු අතර එය හුදෙක් ගල් කුට්ටි අතරින් විවෘතව සෑදුණු ගුහාවක් බවට අප දුටුවේ එහි අවසානයක් පැහැදිලිව අප දුටු හෙයිනි. නමුත් මෙහිදී මීට පෙර මා ඇසූ පරිදි ප්‍රදේශයේ ව්‍යවහාරය පරිදි රාවණා රජුගේ සිරුර ගල් ගුහාවක බහා ඇති වග පසක් වුණි. නමුත් මෙය පැහැදිලි අවසානයක් හා පිහිටීමක් සහිත වූ හෙයින් අපි කන්දේ ඉහළට නඟින්නට වූවෙමු.
තවත් අඩ හෝරාවකට අධික කඳු නැග්මකින් පසුව අපි සමතලා බිමකට පැමිණියෙමු. ඝන වන පියසක් වුවද මහකුඩුගල කඳු මුදුනට යන අඩි පාර දැකගත හැකි විය. තවද අනෙක් පසින් අපට රාගල කඳු මුදුන දැකගත හැකි විය. ඊටද මෙම ස්ථානයේ සිට යා හැකි බව මාර්ගෝපදේශක මහතා අපට පැවසීය. සිහින් පිනි පොදක් අතු පතර අතරින් බිමට වැටෙන්නට වූ අතර ප්‍රදේශයම සුදු මීදුමෙන් වැසිණි.
මීදුම් වලාකුළ මත තිබෙන ජල වාෂ්පවලින් මහ කුඩුගල කඳු මුදුනත නිතරම පෝෂණය වන අතර තවත් සුළු දුරක් ඉදිරියට ගිය පසු ජල පෝෂක බව අපට දැක ගැනීමට හැකි විය. මන්ද ක්‍රමයෙන් මීදුම ඈත් වුවද කන්ද මුදුෙන් ගල් තලාව සහිත පහළට බෑවුම් වූ ගල් බිත්තිය මුළුමනින්ම පාහේ පාසිවලින් වැසී තිබුණි. තවද අවට පිහිටි විශාල හා කුඩා ප්‍රමාණයේ ගස් කඳන්ද පාසිවලින් වැසී ගොස් තිබුණි. තවද ගල් බිත්තියේ අධික තෙතමනයක් තිබූ අතර ජල බිංඳු වැටෙමින් තිබුණි.
ගල් බිත්තිය අසලින් ඉදිරියට ගමන් කළ අපට එක්තරා ස්ථානයකදී අඩි 10 ක් පමණ ගල දිගේ ඉහළ පිහිටි මාන පඳුරු මතින් යාමට සිදුවිය. එහිදී ආරක්ෂාකාරී ලෙස අප මුදුනට ළඟා වූ අතර යම් හෙයකින් වම් පසට බරවුවහොත් අපට අඩි 15 ක් පමණ පහළ පිහිටි ගල් මතට වැටීමට ඉඩ තිබුණි. එම අවදානම්කාරී මග ඔස්සේ මීටර 70 ක් පමණ ගිය පසු අපි නැවතත් කඳු මුදුනේ පිහිටි වන රොදට රිංගා ගත්තෙමු. ප්‍රදේශයේ තිබුණේ දැඩි නිහඬතාවකි. ගස්වල පිහිටීමද යම් ගුප්ත බවක් ගෙනදුණි.
වන පියස තුළින් ඉහළ ගල් තලාව පෙනෙන විවෘත ප්‍රදේශයට යත්ම කඳු මුදුනේ සවි ෙකාට ඇති කොඩිය දක්නට ලැබුණි. ඉන්පසු අප අවතීර්ණ වූයේ මීටර 2013 ක් උසින් පිහිටි මහකුඩුගල කඳු මුදුනටය. එහි විශාල ගල් තලා පිහිටි ප්‍රදේශ 2 ක් පවතින අතර ඉන් එකක් හයිෙෆාරස්ට් පසට වන්නට ඇති අපූරු ස්ථානයකි. මෙම ස්ථානයට පිදුරුතලාගල සහ එහි කුලුනු, කොඩියආරගල, නාරංගල, නමුණුකුල, හන්තාන සහ නකල්ස් වන පෙතේ පිහිටි කොබෝනීලගල සහ දුම්බානගල පැහැදිලිව දැක ගැනීමට ලැබුණි. ඒ අංශක 180 ක ඉදිරියෙන් විවෘත වපසරියේ පමණයි.
මන්ද අපට පිටුපසින් ඇත්තේ කන්ද මුදුනේ පිහිටි වන පියස වූ නිසාවෙනි. අඩි දෙතුන් සියයක දැවැන්ත ප්‍රපාතයක් ඍජුවම අංශක 90 ක බෑවුමකින් පහළ මහකුඩුගල වත්ත හා වනය ඇති අතර හයිෆොරස්ට්, මන්දාරම් නුවර, මතුරට, රාගල මාර්ගය, හල්ග්‍රන්ඔය සහ නැගෙනහිර සහ දකුණු මායිම්වලින් බදුල්ල දක්ව දුරක් දැක ගත හැකිය. මහකුඩුගල බොහෝ විට බොහෝ මාර්ගවලට නොපෙනෙන අතර ඊට හේතුව කන්ද වනපෙත හා තුරු ගොමු අතරින් සැඟව තිබීමත් කඳු මුදුනත නිතරම මීදුමෙන් වැසී තිබීමත්ය. කෙසේ හෝ අපි තවදුරටත් කඳු මුදුනත ඉහළ පිහිටි තෙත් කලාපීය සහ වලාකුළු වනාන්තරවල ලක්ෂණ පිහිටි වනපෙත පීරන්නට වූයෙමු.
හෝර්ටන් තැන්න හා ඒ අවට හැරුණු විට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහරත්මල් ශාකය හා පුෂ්ප දැකිය හැකි ස්ථාන විරලය. මීට පෙර අප මහරත්මල් පිදුරුතලාගල කන්දේත්. හක්ගල කන්දේත් දුටු අතර ඊට අමතරව දුරකින් අප දුටුවේ මෙම මහකුඩුගල කඳු මුදුනේදීය.
මහකුඩුගල කඳු මුදුනේ මහරත්මල් ශාක ව්‍යාප්තියක් ඇති අතර ඊට අමතරව තවත් අලංකාර මල් වර්ග කිහිපයක් අපි දුටුවෙමු. තවද කුරු ශාක ව්‍යාප්තියක් කන්දේ එහා පස තිබූ අතර වන ෙරා්ද මැදින් අපි ඒ දෙසට ගමන් කළෙමු. කන්ද සම්බන්ධ ජනප්‍රවාද අනුව මෙම කන්දේ විසිතුරු පැළ, ඖෂධ පැළෑටි සහ පලතුරු ගස් වර්ග පවතියි. එ්වා ඕනෑම එකක් ඉතාමත් අලංකාරව ඇති අතර පලතුරු කෑමට පවා පුළුවන් විය. නමුත් එම පලතුරු කඩාගෙන රැගෙන යාමට සිතුවහොත් ඔවුන් මංමුලාවන බව සඳහන්ව තිබුණි. වන පියස අතර යම්තාක් සැරිසැරුවද පලතුරු ශාක අපට දැකගත නොහැකි විය.
තවද කන්දේ සැඟවුණු ගල් ගුහා කිහිපයක් ඇති බවත් ඉන් එකකට බැස ගත් පසු එහි අතුළට ගමන් කළ විට සතර දිශාවට බෙදෙන තවත් උමං මාර්ග 4 ක් ඇති බව ජනප්‍රවාදවල පැවසේ. අප එන ගමනේ කුඩා ගුහාවක් දුටු නිසාවෙන් මෙවැනි වනරොද තුළ තවත් ගල් ගුහා තිබිය හැකි බව අපටද සිතුණි. නමුත් මෙම වනය රාගලකන්ද දක්වාත් තවත් පසෙකින් හයිෆොරස්ට් සහ වලපනේ දක්වාත් ව්‍යාප්ත වන බැවින් බොහෝ දුර ගවේෂණය කළ නොහැකි විය.
නමුත් වන පියස තුළ ශාක ව්‍යාප්තිය අනෙකුත් වන පියස්වලට වනරොද ආශ්‍රිතව වලාකුළු වනාන්තරයක ලක්ෂණ අපි දුටුවෙමු.
මන්ද බහුල වශයෙන් පාසිවලින් බැඳුණු ගස් කඳන් ගල් දිගේ ගලන දිය සීරාවන් සහ නිතරම මීදුම මගින් කන්ද වසා ගන්නා නිසාවෙනි. පිදුරුතලාගල සහ සඳතැන්න වැනි ඉසව් ඉතා පැහැදිලිව වෙනස්ම කෝණයකින් දැකිය හැකි වීම අගනා කරුණක් විය. විශේෂයෙන් පිදුරුතලාගල රක්ෂිතයේ දිග බව හා විශාල බව පැහැදිලිව දක්නට ලැබුණි. එහිදී තවත් උස් කඳු මුදුනක් අපගේ නෙත ගැටුණේ මන්දාරම් නුවර කොඩියාරගලට පසෙකිනි.
කෙසේ හෝ කාලය ගත වන්නට වූයෙන් අපි නැවතත් හල්ග්‍රන්ඔය වන සංරක්ෂණ කාර්යාලය වෙත යාමට පටන් ගත්තෙමු. එහිදී සුළු වර්ෂාමය තත්ත්වයක් ඇති වුවද එය විනාඩි කිහිපයකට පමණක් සීමා විය. පසුව ආ මගේම පල්ලම් බසින්නට පටන් ගත් අතර කන්ද මුදුනේ සිට ගල් බිත්තියට නැවත බැසීම තරමක් අසීරු විය.
ෙකසේ හෝ හෝරා දෙකක කාලයක් තුළදී අපි නැවතත් හල්ග්‍රන්ඔයට පැමිණියෙමු. එහිදී අසල ගම්මානයට ජලය ගෙන යන බටයද අපට හමුවුණි. එනම් මහකුඩුගල කන්දෙන් ඇරඹෙන උල්පතකින් මෙම ජලය සපයා ගන්නා බවයි.
රාවණා රජතුමාගේ සිහිමුර්ඡා වූ දේහය මහකුඩුගල තැන්පත් කිරීමට යම් හේතු තිබුණා විය හැක. මන්ද රාම - රාවණා - සීතා කථා පුවතට සම්බන්ධ ලංකාවේ ස්ථාන අතර පෙරට්ටාසි කඳුළු මාවත, ස්ත්‍රීපුර උමග, හග්ගල මල්වත්ත ආදිය මහකුඩුගලට පෙනෙන දුරක පිහිටි ඉසව් කිහිපයක් වූ හෙයිනි. තවද වලපනේ සීතාව ප්‍රදේශය මතුරට ප්‍රදේශය පැවතෙන ජනප්‍රවාදද ඊට රුකුලක් බව නොඅනුමානය.
රාම රාවණා කථා පුවතෙහි රාවණා දුෂ්ඨයකු ලෙස සැලකුවද ලාංකේය රජ කෙනෙකු වශයෙන් ඔහු තුළ විශ්මිත හැකියාවක් හා තාක්ෂණයක් තිබී ඇති බව විවිධ ජනප්‍රවාද මගින් අපට පැහැදිලි වේ. එම නිසා රාවණා කතා පුවත අසත්‍යයයි කියා අපට ඉවත දැමිය නොහැක. තවද පහන තැබූ කන්දේ ජනප්‍රවාදයට අනුව ඉතා ඈත අතීතයේ මහකුඩුගල කන්දේ යක්ෂ ගෝත්‍රය වාසය කර ඇති බවත් අමතක කළ නොහැක.
කෙසේ හෝ නුදුරේදීම රාවණා කථා පුවත පිරුණු අබිරහස් ඉසව්වක් සොයා ගෙන යාමේ අරමුණින් අපි මහකුඩුගල කන්දේ චාරිකාව නිමා කළෙමු.
සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රාවණාගේ බෙහෙත් ගැල්වූ සිරුර මේ ගල් කන්දේද?