දෙවිනුවර පුදබිමේ මහා හිටි පිළිමය සහ දෙවොළ

 

 

දෙවිනුවර පුරවරය හා ඒ අවට ගම්වල වැඩිවශයෙන් සිටින්නේ ජීවත්වීමට අරගල කරන ප්‍රජාවකි. ඔවුහු මහසයුරේ, ගොවිපළේ, කම්හලේ, වැඩබිමේ ජීවන සටනට උරදෙති. පවතින සමාජ වටපිටාව හා ගැටෙමින් වේළෙමින් හා ඇතැම් විටෙක එයට ගොදුරු වෙමින් ඔවුහු ජීවන සටන ගෙන යන්නේ අතිශය සියුම් වේදනාකාරී අත්දැකීම් ගොන්නක් සමගිනි. ඉකි ගසා හඬන තරමේ අතීතයක් සමගිනි.   


යෞවනයේ ඉමිහිරි අත්දැකීම් කිසිදා අත්විඳින්නට වරම් නොලද තරුණ පිරිස් මේ පෙදෙසේ ඕනෑ තරම් සිටිති. සතුටින් සිහිපත් කර සිනාසෙන්නට හැකි කිසිවක් සිය අතීත මතකයන් අතර නැති මව්පියවරුද මෙහි අපමණ සිටිති. අනාගතය ගැන හිතන්නට බියවන තනිකමේ රුදුරු බව අත්විඳින වියපත් වූවන්ද මේ පෙදෙසේ අඩු නැත. ඒ සමාජ ආර්ථික විෂමතාවන්හි අනිසි ප්‍රතිඵලයි.   


ඒ අතර පුටුව උඩ හිඳගෙන සිටියත් දුරකතන ඇමතුම් දෙක තුනක් එහාට මෙහාට යවා දිනකට ලක්ෂ ගණනින් මුදල් හොයන සුළු පිරිසක්ද මෙහි වෙති. ධනයට බලයට ඉහළම තැන ලැබී ඇති මේ අසහනකාරී සමාජ ආර්ථික රටාව තුළ වල්මත්වූවන් ලෙස හිසගිනි ගත්තවුන් ලෙස මුදල් හොයන්නට බහුතරයක් දෙනා සටන් වැදී සිටිති. සුළු පිරිසකට අත හිත පුරා මිල මුදල් ලැබෙන, බහුතරයක් දෙනා දුකට විපතට පත්කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මේ කියන දකුණු වෙරළ තීරයේ ගම්වල ජනතාවට පිළිලයක් වී ඇත.   
මත් භාවිතයට තදින් ඇබ්බැහිවී සිටි සිය තරුණ පුතුන් දෙදෙනා නිසා කෙළවරක් නැති දුකකට පත්ව දෙවිනුවර පුදබිමේ සවියෙන් පිළිසරණක් ලද සොයුරු දමින් වෙළුණ කතුන් දෙදෙනෙක් ඉකුත් දිනක අපට හමුවිය. ඒ හමුව සිදුවූයේ අප දන්නා හඳුනන ධීවර සොයුරකුගේ මාර්ගයෙනි.   


තරුණ විය ඉක්මවා සිටි මේ මව්වරු දෙදෙනා පැවසූ කතාව තුළ ඇත්තේ එක් අතකින් රටේ අවිධිමත් පාලන තන්ත්‍රය දූෂිත ප්‍රභූ පන්තිය සහ පයින් පැන නගින විනාශකාරී ව්‍යාපාරයන්ට ගොදුරු වන ජනතාවයි. අනෙක් අතට විසඳුමක් නැති ජීවන ගැටලුවලට සහනය පතා නොපෙනෙන බලවේගවල පිහිට පතන මිනිස් සමූහයයි.   
විවාහ වන්නට පෙර සිටම මේ කතුන් දෙදෙනා යෙහෙළියන්ය. දිවිගෙවූයේ එක ළඟ තිබූ නිවෙස්වලය. ඔවුන් දෙදෙනා අතර බොහෝ විට රහසක් තිබුණේ නැත. ඔවුන් විවාහවී සිටි පුරුෂයන් දෙදෙනා රැකියාව කළේද එකටමය. ඒ කුලියට මුහුදු යාමයි. සති ගණන් එකදිගට මුහුදේ සිට ගොඩබිමට එනවිට සෑහෙන මුදලක් මේ ධීවරයෝ රැගෙන එති. කතුන් දෙදෙනා ඒ අතර කරවල උම්බලකඩ වියළා යම් මුදලක් සොයා ගනිති.   


මුදල් හිඟ පාඩුවක් එතරම් නැතත් මුහුදු නොයන කාලයේ කණකර උගසට තබා මුදල් ගෙන දිවි ගෙවන්නට වන හෙයින් කියන්නට තරම් දියුණුවක්ද නැත. දෙදෙනාගේම දූපුතුන් ඉහළට ඉගෙන ගත්තේ නැත. ධන උල්පත් පාදන මාර්ගය හැටියට ඔවුන් දුටුවේ සුපුරුදු මහ සයුරමය. මේ ඔවුන්ගේ ජීවන රටාවයි.   


තරුණ වියේ සිටි පුතුන් දෙදෙනාද ඉඳහිට මුහුදු ගොස් මුදල් ඉපයූහ. නැවත යන්නේ අතමිට මුදල් හිඟ වන විටය. ස්වාධීන ජීවිතයක සිහින දකිමින්ද නිසරු දේ හොඳ යැයි වැළඳ ගනිමින්ද සිටි ඔවුනට අවවාද අනුශාසනා එතරම් රුස්සන්නේ නැත. අළුත්ම මෝස්තරයට රැවුල් සහ කොණ්ඩා සකස් කරගනිමින්, කනේ කරාබු, ගෙලේ දම්වැල්, අතේ ලෝහ වළලු පැළඳ මෝටර් බයිසිකලයෙන්, ස්කූටියෙන් ඉගිලෙන මේ ධීවර පුතුන් යොවුන් තරුණියන් වටා කැරකුණහ. ඔවුන් වෙතින් දිස්වූයේ තාරුණ්‍යයේ උමතුව සහ රැළි සංස්කෘතියයි.   
මෙසේ සිටියදී ඔවුන් ගැන නරක ආරංචි මව්පියන්ට ලැබෙන්නට විය. මේ යොවුන් තරුණයෝ ඇතැම් දිනවල නිවසින් පිට මිතුරු නිවෙස්වල ගත කළ හෙයින් මව්පියෝ ඒ ගැන එතරම් සොයා බැලුයේ නැත. ඒ තමන් දන්නා හඳුනන නිවෙස් බැවිනි. මත් වන දෙයට ඔවුන් යොමුවී ඇතැයි දැනගන්නට ලැබුණත් ඒ පවුල්වල වැඩිහිටියෝ ඒ ගැනද එතරම් නොතකා හැරියේ මත්පැන් ටිකක් දුම්වැටියක් තොල නොගෑ තරුණ අයකු මේ කලාපයේ නොමැති බැවිනි.   

 

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලය

 


අරක්කු ටිකක් නොබොන එකාගෙන් ඇති වැඩේ මොකක්ද? එහෙම තමයි කොල්ලො වුණාම.   


ඒ මෙහි ඇතැම් වැඩිහිටියන්ගේ මතයයි.   


ඔවුන් යොමුවී සිටියේ මත්වතුරට වඩා මත්ද්‍රව්‍යවලටය. කේරළ ගංජා ඇතුළු විවිධ නම්වලින් හැඳින්වෙන සියලු මත්වන දේ ඒ වනවිට ඔවුන් අත්විඳ තිබිණි. ඒ සියල්ලට මුදල් විශාල වශයෙන් අවශ්‍ය විය. මේ සියල්ල සිදුවෙද්දී ඔවුන් මුහුදු යන්නට උනන්දු විය. ඒ අන්කිසිවක් නිසා නොව බහුදින යාත්‍රා හිමියාගේ උපදෙස් මත මුහුදේදී යාත්‍රාවේ සිටින සියලුදෙනාට මත්වන දේ බෙදාදෙන බැවිනි. එවිට ඔවුහු වෙහෙස නොබලා දිවා රාත්‍රී වැඩ කළහ.   


ඔවුහු දවසින් දවස කෘශ වන්නට විය. පෙර තිබූ යොවුන් පෙනුම යොවුන් ගති නැති විය. මතට මුල්තැන ලැබිණි. අරමුණක් ගැන අනාගතයක් ගැන දිනාගන්නට දෙයක් ගැන ඔවුනට අවශ්‍ය නොවීය. එකම දෙය මත්වන දේ තොල ගෑම පමණි. මත්ද්‍රව්‍ය නැති ජීවිතයක් ගැන සිතිය නොහැකි විය.   


මව්පියන්ට කරකියා ගත හැකි දෙයක් නොවීය. ඔවුහු මැදියම් රැයේදී පවා නොනිදා හිත යොමු කළේ තරුණ පුතුන්ගේ හෙට දවස ගැනය. මව්වරු කඳුළු සැලූහ. බැණවැදුණහ. රණ්ඩු කළහ. ඒ කිසිවකින් පළක් වූයේ නැත.   


ඒ මව්වරු පියවරු දහඩිය වැගුරුවේ බලාපොරොත්තු තබා ගත්තේ තමන්ට වඩා තම දරුවන් රටේ ලෝකයේ දියුණු පුරවැසියන් වනු දකින්නටය. ඉතා අඩු වශයෙන් මුහුදු රැකියාවෙන් හෝ කාටවත් අතනොපා හරිහම්බකරගෙන හොඳින් ජීවත්වනු දකින්නටය.   


දැන් ඒ සියල්ල බොඳවී දුක්ඛාන්තයක් වී ඇත. පවතින සමාජ වටපිටාවේ දුෂ්ට පාපකාරී බලවේග විසින් තරුණ පුතුන් යොවුන් දරුවන් ගොදුරු කරගෙන විනාශය කරා ගෙන යන අන්දම ගැන සිතා කොතරම් කඳුළු සැලුවත් කුමක් කළ යුතුද? කාට කියන්නද යන්න ගැන සිතාගත නොහැකි විය.   


සිත කය නොමගට යවන පාපකාරී සිතිවිලි සහ ක්‍රියාවන් විසින් මිනිස් ජීවිත කොතරම් සියුම් අන්දමින් විනාශය කරා ගෙන යන්නේද යන්න ගැන ඒ පවුල්වල ඇත්තන් යම් අත්දැකීමක් ලබන විට විනාශය නමැති රකුසා ගේ තුළට විත් දරුවන් ගොදුරු කරගෙන හමාරය.   


කිසිදා සුව නොවන රිදුමක් හදවතට දැනෙන මේ ගැටලුවට එකම විසඳුම හැටියට ඔවුන් අවසානයේ තීන්දු කළේ දෙවිනුවර පුදබිමේ පිහිට පැතීමයි.   


මව්වරු දෙදෙනා එක් සෙනසුරාදා දිනෙක දිය නා පිරිසුදු වී සුදුවතින් සැරසී අවශ්‍ය දේ රැගෙන පුදබිමට ගියහ. චෛත්‍යය, බෝධිය, බුදුමැදුර අබියස පුද සහිතව තෙරුවන් වන්දනා කළ ඔවුන් දෙවියන්ට පින්දුන්හ. මහා විෂ්ණු දෙවොලේ දිවා පූජාවට සහභාගිවී පින්දී දුක කිවූහ.   


පඬුරු ගැට ගැසිණි   
පළමුව බුදුන් වැඳ   
දෙවනුව දෙසූ දහම් වැඳ   
තෙවනුව සඟුන් වැඳ   
විෂ්ණු දෙවිඳුට කියමි දුක වැඳ   
වෙන්ට මතු බුදු වර   
ඉන්ට නොදෙමින් ගිනි සැර   
ගන්ට ඔබෙ පිරිවර   
දෙන්ට යහපත මෙමට අවසර   


දෙවොල ඉදිරිපිට දඩිබිඩි දඩිබිඩි යන හඬින් මව්වරු දෙදෙනා වැරෙන් පොල් ගැසූහ. දින කිහිපයක් ගිය තැන දෙවන තුන්වන වරටත් මේ සාධාරණ කන්නලව්ව ඉදිරිපත් කෙරිණි.   
සතියක් ඉක්ම ගියේය. ප්‍රතිඵල නැත. සති දෙකක් ගියේය. ප්‍රතිඵල නැත. සති තුනක් ගියේය. ප්‍රතිඵල නැත. සති තුනක් (දින 21 ක්) ඉක්ම ගොස් දවසක් දෙකක් යන විට තරුණයින් දෙදෙනා පුනරුත්ථාපනයට වහාම භාර දෙන්නැයි මව්වරුනට අදාළ අංශවලින් දන්වනු ලැබූ අතර ඔවුහු මහත් වෙහෙසක් දරා එය ඉටුකළහ.   


ඒ අතර ප්‍රදේශය පුරා පැතිර යන්නට වූ ආරංචියක් විය. එයින් කියවුණ දේ රූපවාහිනී නාලිකාවලද ජාතික පුවත්පත්වලද ප්‍රධාන තැනක්දී පළ කෙරිණි. දෙවිනුවර රජු හැටියට (මුදල් බලයෙන්) කිරුළු දරා සිටි රටේ මෙන්ම ජාත්‍යන්තරවත් ව්‍යාපාරයේද ප්‍රමුඛයෙක් වූ තැනැත්තෙක් විවිධ තැන්වල සිටි සිය ගෝලබාලයන්ද සමග අත්අඩංගුවට පත්වූ පුවත ඇතමුන්ට අදහා ගත නොහැකි විය.   


නංගියෙ අපේ වැඩේ හරිගියා. ඔය තියෙන්නෙ හිතුවටත් වඩා හොඳට. දෙයියො අපේ මූණ බැලුවා.   


එක මවක් අනෙක් මව හමුවට දුව ඇවිත් කීවාය. ඔවුහු එකිනෙකා බදාගෙන කඳුළු සැලූහ. දේව දානයකින් භාරය ඔප්පු කෙරිණි.  


පුදබිමේ කොහොඹ වෘක්ෂයන් පිස එන සිසිල් වාරැල්ලෙන් ගතේ දාහය නිවී ගියේය. අප සමීපයේ ඇති දැවැන්ත හිටි බුදුපිළිමයේ මුවකමලෙන් දිස්වන්නේ අසීමිත කරුණා මෛත්‍රියකි. ඒ සමග නෙත ගැටෙන නීල වර්ණයෙන් යුක්ත මහ විෂ්ණු දෙවොලේ උස්වූ ගොඩනැගිල්ල සටන් බිම මත නැගී සිටින සෙන්පතියකු බඳු යයි මට සිතේ.  


මා සමග පුදබිමේ හිඳගෙන සිටි කතුන් දෙදෙනාගෙන් එක්අයෙක් මගේ මුහුණට එබී පැනයක් විමසීය.  


අපි මේ කළ දේ කරන්න පුළුවන් වෙන්නෙ මොන ඇමති තුමාටද? මොන මන්ත්‍රී තුමාටද මොන සභාවටද මොන පොලිසියටද මොන සංවිධානයටද ඉතින් අපි දෙවියන්ට හැර කාටද කියන්නෙ කියල මට කියන්නකො? ඇය මා දෙස බලා සිටී.  


මම නිරුත්තරව සිටියෙමි. සමුගෙන යන්නට මම හුන්තැනින් නැගී සිටියෙමි.  


පවිටු පුද්ගලයෝ මෝහයෙන් මුලාවී වැරදි දේ කරති. පව් මෝරන තෙක් එය නිවැරදි යයි සිතති. පව මෝරා විපාක දෙන විට ඒ කළ දේවල් වැරදි යයි වටහා ගනිති. මත්වන දේ සම්බන්ධ ව්‍යාපාර කරන ඇත්තන්ද එබඳු අයයි. මිනිස් ක්‍රියාකාරකම් සියල්ල ගැනෙන්නේ සුචරිත දුෂ්චරිත දෙකටයි.  


හිමිනමක් දම් දෙසුමකදී සඳහන් කළ ධර්ම කරුණක් මගේ සිතට නැගිණ.  


දෙවිනුවර දම්සිරි කරුණානායක