• මඩු පල්ලිය බිහිවීමේ ආරම්භය මෙම සමූහ ඝාතනයයි

 

අරගලය කොටස් දෙකකි. ලේ සුවඳ ඉන් එකකි. ලේ ගඳ තවත් එකකි. අරගලය කරවන්නන්ට ලේ සුවඳ, සුවඳකි. අරගලයට හසුවන්නන්ට ලේ ගඳ, ගඳකි. අරගලයේ ලේ ගඳ, සුවඳ එක් සාධකයක් මත පවතී. ඒ ලේ සෙලවීම නම් වූ සාධකය මත පමණකි. අරගලයන්හි ලේ ගඳ, සුවඳ අරගලය කරවන්නන්ට සුවඳක් බවට පත්වීම ප්‍රබල මූලික න්‍යායකි. එම මූලික න්‍යායයේ සම්භාවනීය සහ උත්කෘෂ්ට ජයග්‍රහණය මරණය නම් අර්ථය ගනී. 


ඉන් මෙහා සිදුවන සියලු හානිකර තත්වයන් සහ ඒවා දරා මිය නොගොස් ජීවත්වන්නන් සෑම කල්හිම, අතීතය අනාගතයට ගෙනයමින් වර්තමානයේ තැවෙමින් අනාගතය වෙනුවෙන් ජීවත් වෙති. පාස්කූ ඉරිදා ඝාතනයන් එයට හොඳම මෑත කාලීන සාක්ෂියකි. එදා මෙදා තූර සැඟවුණු තවත් ඝාතන කීයක් තිබිය හැකිද? මේ ඉතිහාසය පීරා සොයාගත් එවන් එක් දුක්ඛිත ඝාතන කතාවක් පමණි. මන්නාරමෙන් පසුගියදා හමුවූ සමූහ මිනීවල මෙම ඝාතනවලට සම්බන්ධද? 


එළැඹ තිබූ සොළොස්වන ශත වර්ෂය එක් අහඹු සිදුවීමකට මුල පුරා තිබිණ. එක් පසෙකින් උතුරු අර්ධද්වීපයත්, ඊට යාබදව පිහිටි කුඩා කොදෙව්​වෙනුත්, අනෙක් පසින් උතුරු මැද පළාතේ කොටසකත්, මන්නාරම් දූපත දක්වා වූ වෙරළත් අයත්කර ගනිමින් අලුත් රාජ්‍යයක් බිහිව තිබිණ. එය දෙමළ බසින් යාල්පානම් ලෙසින්ද, සිංහල බසින් යාපනය ලෙසින්ද නම්කර තිබිණ. 


පළමුව අර්ධද්වීපයක් ලෙස හැඳින්වූ යාපනය, දෙවනුව රාජධානියක් ලෙස හඳුන්වනු ලැබිණ. යාපනය රාජධානිය පාලනය කරනු ලබුවේ සන්කිළි නම් දෙමළ රජෙකු විසිනි. මෙහි සිටියේ ධීවර කර්මාන්තයේ නියැළුණු ධීවර කාර්මිකයන් පිරිසකි. ඔවුහු තම අඹු දරුවන් සමඟ කාලය ගත කළේ රාජධානිය තුළ රැඳෙමිනි. 


උතුරු අර්ධද්වීපයේ මන්නාරම් ධීවර වැල්ල නිතරම අලුත් ප්‍රබෝධයකින් පිරී තිබිණ. ප්‍රබෝධය ගෙන ආවේ මන්නාරම් ධීවර වැල්ල සෑම දිනකම එකිනෙකට වෙනස් අලුත් ආරම්භයන් වැල්ලට ලබාදීම හේතුවෙනි. අලුත් ආරම්භයත් සමඟින් හිමිදිරි ඇඳිරියේ ඔරුව දියත් කර දියඹට යන ධීවරයන්ට සුබ පැතීමට ධීවර ගැහැනුන් සහ ළමා ළපටින් ඒම පුරුද්දක් කරගෙන තිබිණ. හැමදාමත් ඔවුහු සුබ පැතුවේ කටපාඩම් කරගත් එකම එක වගන්තියක් පැවසීමෙනි. 


අරුන්දතියගෙ පිහිටෙන් 
දියඹට යන අපෙ ඇත්තට 
අපෙ බඩකට පුරවන්ටා 
මාළු අයින් අහුවෙන්ටා 


අරුන්දතිය ගැන ධීවරයන්ට තදබල විශ්වාසයක් තිබිණ. මඟ නොවැරදී ගොඩබිමට යාමට පාර පෙන්වනුයේ අරුන්දතී තාරකාව බව ධීවරයෝ විශ්වාස කළහ. ධීවර බිරින්දෑවරුනගේ පතිවෘතාවේ සංකේතය අරුන්දතී තාරකාව බව ධීවර ගැහැනු විශ්වාස කළහ. ධීවර ජනතාව අරුන්දතී තාරකාව දේවත්වයේලා සැලකුවේ එබැවිනි. 


එක් අලුත් ඉරිදා දිනෙක......, ධීවරයන් ධීවර රැකියාවේ නොගිය එක් සුන්දර නිවාඩු දිනෙක උදය වරුවක සත්තකින්ම......, ඒ ක්‍රිස්තු වර්ෂ 1544 බව වටහා ගැනීමට පුළුවන. 


පැහැපත් වූ එම දින හිමිදිරි උදෑසන මන්නාරම් වැල්ලේ ධීවරයන්ට එක් සුබ ආරංචියක් ලැබිණ. එ් මන්නාරම් වැල්ලට ධීවර කර්මාන්තයේ නියැලීමට පැමිණි ඉන්දීය ධීවර වැල්ලේ ධීවරයන් පිරිසකගෙනි. ඔවුහු ගෙන ආවේ මන්නාරම් ධීවර වැල්ලේ ධීවරයන් කිසිදිනෙක නොඇසූ පුවතකි. 


සත්‍යයේ විශ්වාසයේ ගිලෙන්න. අලුත් ක්‍රිස්තු ලබ්ධිය ලබන්න. සත්‍යයේ විශ්වාසය වූ කිතු දහම වැළඳ ගැන්මට සැවොම උනන්දු වන්න. 
දෙවියන්ගේ රාජ්‍යය පැමිණේවා. දෙවි ඔබගේ කැමැත්ත පොළොවේ සිදුවේවා. 


ඉන්දීය වැල්ලේ ධීවරයන් මන්නාරම් වැල්ලේ ධීවරයන්ට යේසුස් වහන්සේගේ ආදර්ශ සාකච්ඡාවේ කොටසක් කියා දුණි. 


රාජ්‍යය පිහිටුවා තියෙන්නේ ස්වර්ගයේ. ස්වර්ගයේ කිසිම දෙයකට මිනිසුන්ගෙන් මුදල් ගන්නේ නැහැ. ඒ වගේ ආණ්ඩුවක් යටතේ යටත් වැසියන්ට කෙතරම් සහනයක් දැනෙයිද? 
පො​ළොව ධාන්‍යවලින් පිරී තිබේ... කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි. එ් වෙනකල් කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් ඇත්නම් අපි එම දේවල්වලින් සෑහීමකට පත්වෙමු. 
ඉන්දීය වැල්ලේ ධීවරයෝ මන්නාරම් වැල්ලේ ධීවරයන්ට දෙවි පියාණන්ගේ අසිරිය කියාදෙමින් සිටිති. ඒ ශුද්ධ වූ සවියෙර්තුමාගේ දේශනයක් මගිනි. ඔවුන් කියූ දෑ ගැඹුරින්ද, හරයෙන්ද පිරී තිබිණ. අලුත් කිතුනු ලබ්ධිය ඇසූ මන්නාරම් ධීවර වැසියෝ දෙවියන්ගේ ප්‍රාතිහාර්ය සිතින් දකිමින් සිටියහ. ක්‍රිස්තු ලබ්ධිය දිනෙන් දින වැඩිණ. සුබාරංචිය මන්නාරම් වැසියන්ගේ ජීවිතවලට අලුත් ආලෝකයක් ලබාදෙමින් තිබිණ. 


දෙව් පියාණන්ගේ ප්‍රේමය ඔබ බොහෝ සෙයින් ආධ්‍යාත්මික කරවනු ඇත. දෙවියන්ගේ පරම සතුරා වන සාතන් ශාරීරික අවශ්‍යතා ගැන විතරක් හිතන්න මිනිසුන් පොළඹවා ඇත. මේ මුලු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්. දුෂ්ටයාගෙන් අපව ගලවා ගන්න. මොනවා කළත් බලාපොරොත්තු නොවන දේවල් වෙන එක වළක්වන්න බැරිවෙන අවස්ථා තිබේ. වැරදි වෙලාවක වැරදි තැනක සිටියොත් අනතුරක් වෙන්න පුළුවන්. දෙවියන් සතුටු කරන්න උත්සාහ ගන්නා අයටත් කනස්සල්ල ඇතිවෙනවා. 


හයසියය ඉක්මවූවන්ගේ සිත් අලුත් ක්‍රිස්තු ලබ්ධියෙන් ප්‍රීතිමත්ව තිබිණ. ලැබූ සුබ ආරංචිය තටු සලා ඉගිලුණි. සවියෙර්තුමාගේ, දේශනාකාරයාගේ වචන මන්නාරම් ජනතාවගේ සවන් වැකෙමින් හදවත් පත්ලේ දෝංකාර දෙමින් තිබිණ. 


අනුන් ඔබට කරන ඔබ කැමති දෙයම, ඔබත් ඔවුනට කරන්න. 


දේව වචනයන්හි කීර්ති රාවය සවනත වැකුණු මන්නාරම් වැසියෝ සවියෙර්තුමාට පැමිණෙන ලෙස ආරාධනා යැවූහ. තමන් වෙත පැමිණ ක්‍රිස්තු ලබ්ධිය ලබාදෙමින් අලුත් ක්‍රිස්තු ලබ්ධිය බවට තමන්ද හරවන ලෙස ඉල්ලා දූත පිරිසක් යැවීමට කටයුතු කළහ. 


අවසානයේදී......, අප වෙරළ කරා කිතු දහම ගෙන ආ අැත්තෝ දෙව්මව් කෙරෙහි ළැදිකම්ද අප අතර පෝෂණය කළහ. 


ඔවුහු තමන් ලත් කිතු දහමේ සුබාරංචිය පතුරවමින් උන්හ. පළමුව අසල්වැසියාටත්, අල්ලපු ගෙදරින් එහා අසල්වැසියාටත්, ඉන් එහාටත් සුබාරංචිය ලැව්ගින්නක් සේ පැතිරුණි. මන්නාරමෙත් ඒ අවටත් රෝපණය කළ අලුත් ක්‍රිස්තු ලබ්ධිය දිනෙන් දින වැඩිණ. සුබාරංචිය මන්නාරම් වැසියන්ගේ ජීවිතවලට අලුත් ආලෝකයක් ලබාදෙමින් තිබිණ. 


දෙවියන් සමග ගමන් කරන්න. ගමන අරඹන්න. මන්ද යත්, දෙවියන් දැනටමත් ගමන ආරම්භ කර තිබෙන බැවිනි. දෙවි සමග යන ගමන ඔබේ ජීවිතයේ විඩාව නිවා දමනු ඇත. ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනු ඇත. ඔබට අවශ්‍ය සියල්ල ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පහැදිලිවම දනියි.

 
හයසියය ඉක්මවූවන්ගේ සිත් අලුත් ක්‍රිස්තු ලබ්ධියෙන් පිරී තිබිණ. ලැබූ සුබ ආරංචිය තටු සලා ඉගිලුණි. සවියෙර්තුමාගේ, දේශනාකාරයාගේ වචන මන්නාරම් ජනතාවගේ සවන් වැකෙමින් හදවත් පත්ලේ දෝංකාර දෙමින් තිබිණ. 


අනුන් ඔබට කරන ඔබ කැමති දෙයම, ඔබත් ඔවුනට කරන්න. 
සමස්ත මාහැඟි දේව සභාවේම ශුද්ධ වූ දර්ශනය දිවැසිවරයා වචන මතින් ගළපමින් දිගහරිමින් උන්හ. ජීවිතයේ තාඩන පීඩන සමයන්හිදී නැගෙනහිර වැල්ලේ ධීවර ජනතා සවන වැකුණු විශ්වාසයේ බීජයන් ධීවර සිත් තුළ රෝපණය වීම සඳහා තවාන් ගතවීම ඇරඹී තිබිණ. 
සමාද‌ානයේ කුමාරයා වූ යේසුස් මාර්ගයෙන් දෙවියන් සදහටම පො​ළොවේ සිදුවන සියලු යුද්ධ සදහටම නවත්වා දමනවා. දෙවියන් බොහෝ ජනයා අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය. ඒ සෙනග තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත. කිසිවෙක් ඔවුන් බිය ගන්වන්නේවත් නැත. දේව රාජ්‍යයෙන් මේ පොළොවේ පාලනය බාරගන්නවා. 
පියතුමා ඔවුනට ඉගැන්වූහ. ප්‍රසාද ස්නානය ද‌ානය කළහ. ස්ත්‍රී පුරුෂ ළමෝ හයසියකටත් අධික පිරිසක් සත්‍ය විශ්වාසය වැළඳ ගති. යේසුස් වහන්සේ මත විස්වාසය රැඳවූහ. ඔවුහු දෙවි පියාණන් ළයේ ලැගුම් ගත්හ. යේසුස් ඔවුනට බොහෝ සෙයින් ප්‍රේම කරන බව වටහා දුණි. 


ඉන්පසු උදාවූයේ අඳුරු කාල පරිච්ඡේදයකි. යාපන රාජධානිය පාලනය කළ දෙමළ සන්කිලි රජුට අලුත් ක්‍රිස්තු ලබ්ධිකයන් පිළිබඳ තොරතුරු සවනත වැකුණි. සුබාරංචිය පිළිබඳ ආරංචි හිතට වදදෙමින් තිබිණ. ඵ් තම රාජ්‍යයේ තම යටත්වැසියන් රාජ්‍යයේ විශ්වාසය බිඳහැර වෙනත් විශ්වාසයක් යයි කියන්නාවූ කිතු දහමක් වැළඳගෙන තිබීම හේතුවෙනි. දේශනාකාරයා පැවසූ එක් කරුණක් සන්කිලි රජුගේ සිත තදබල ලෙස කෝපගන්වා තිබිණ. 


දේව පාලනයට විරුද්ධ වන අය දෙවියන් ඉවත් කරනවා. දේව රාජ්‍යය පැමිණේවා කියල ඉල්ලන එකෙන් කරන්නේ මිනිස් ආණ්ඩු වෙනුවට දේව රාජ්‍යය පිහිටුවන ආණ්ඩු ඕන කියලා කියන එකයි. 
කෲරතර ඝාතනය ඇරඹිණ. සාමය හා ජීවනය පතා කැප වී සිටි හයසීයකට ආසන්න ස්ත්‍රී, පුරුෂ, බාලයන්ට මරණය පතා අවි එසවිණ. ඔව්හු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය උදෙසා සිය රුධිරය වගුරුවමින් දිවි පිදූහ. දෙවියාගේ සත්‍ය විශ්වාසය වැළඳ ගත්හ. මන්නාරම් වැල්ල රක්ත වර්ණයෙන් බැබළිණ. කරදිය රසයට ලේ රසය මුසුවිණ. සාතන් හෙවත් සන්කිලි රජුගේ සිත සතුටට පත්වුණි. 
ලංකා ක්‍රිස්තු ඉතිහාසයේ පළමු ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතන සංහාරය එසේ සටහන්ව තිබිණ. මන්නාරමේත් එය අවට ප්‍රදේශයේත් රෝපණය කරන ලද අලුත් ක්‍රිස්තු ලබ්ධියට ඵය හානිකර නොවිණි. ඝාතනය ක්‍රිස්තු භක්තිකයන් ඉහළ යාමට හේතුවක් වී තිබිණි. වර්ෂ 1583 දී උතුරු ක්‍රිස්තු ලබ්ධිකයන් 43000 ක් දක්වා වැඩි වී තිබිණ. ක්‍රිස්තු දේවස්ථාන විසිහයක් ගොඩනැගී තිබිණ. එක් දේවස්ථානයක් මන්නාරමෙන් සැතපුම් හයක් රට ඇතුළට වන්නට ඉදිවී තිබිණ. එම ප්‍රදේශය මාන්තෙයි නමින් හැඳින්විණි. අද මඩු මෑණියන් නමින් හඳුන්වන එකල ජපමාල මෑණියන් නමින් හැඳින්වූ මාතාවන්ගේ මුල් ගෘහය එය වී තිබිණ. 
ලන්දේසින්ගේ ලංකා ගමනය ක්‍රිස්තු ලබ්ධිකයන්ට මහත් පීඩාවක් ගෙන දුනි. ඒ ඔවුන්ද ක්‍රිස්තු භක්තිකයන්ට විරුද්ධ වූ බැවිනි. ජපමාල මාතාවන් බරපතළ අනාරක්ෂිත තත්ත්වයකට පත්වුණි. ආරක්ෂාව සඳහා ජපමාලා මාතාවන් සඟවා තැබීමට තීරණය කෙරිණි. ඔවුන්ට ආත්මික සහනය ලැබීමට පියවරුද නොසිටියහ. සතුරු කරදරවලින් ප්‍රතිමාව බේරාගත යුතුව තිබිණ. පවුල් විස්සක් එකතුව ගත් තීරණයක් මත ප්‍රතිමාව නුවර රාජධානියට ගෙන ගියහ. වර්ෂ 1670 දී වන්නි වනාන්තරය හරහා ගිය එම ගමනට ස්වර්ගීය මෑණියන්ගේ ආශිර්වාද රැකවරණය ලැබී තිබිණි. 


දේව ශ්‍රී හස්තයේ මඟ පෙන්වීම මත මහනුවර රාජකීය මාවත අද්දර පරණ ජලාශයකට මායිම්ව තිබූ කුඩා ගමකට පැමිණියහ. සෙංකඩගල නුවර රජුට තීරුබදු අයකරන ස්ථානයක් එහි තිබුණි. එම කුඩා ගමට මරදමඩු යන නම පටබැඳ තිබුණි. ගම එක් පසෙකින් යාපනය රාජධානිය දිස්විණ. රාජධානිය ගෙනහැර දැක්වූයේ තදබල බිහිසුණු බවකි. බිහිසුණු ආගමික ගින්න රාජධානිය තුළ බුර බුරා ඇවිලුණි. මරදමඩු යනු නිස්කලංක ගමකි. එහි තිබුණේ දැකුම්කලු පරිසරයකි. සැම සිත් ඇද ගති. මාන්තයි ග්‍රාමවාසීහු ප්‍රතිමාව එහි තැන්පත් කරනට සිතූහ. මන්නාරම් වැල්ලේ ධීවරයන් වූ අලුත් ක්‍රිස්තු ලබ්ධිකයන් අතින් අද පවත්නා මරදමඩු දේවස්ථානයට මුල්ගල් තැබුණේ එලෙසිනි. 


සන්කිලි රජුගේ ම්ලේච්ඡ ආගමික ඝාතනයන් සමගින් යාපනය තුළ සිටි ක්‍රිස්තු ලබ්ධිකයන් සෙලවීමකට ලක්ව තිබිණ. අර්ධද්වීපයේ ලබ්ධිකයෝ යාපනයෙන් පිටවන්නට උත්සාහ ගනිමින් සිටියහ. ලන්දේසින්ගේ සැහැසිකම්වලින් පීඩාවිඳි ජනතාව එයින් මිදෙනු සඳහා හත්සියයක් වූ කිතුනු ලබ්ධිකයන් පිරිසක් පූනරීන් නම් ස්ථානය හරහා වන්නි වනාන්තරයේ රැකවරණ සෙවූහ. භීතිය සහ කනස්සල්ල ඔවුහු පෙළමින් තිබිණ. හරිහමන් පාරක් තොටක් නොදැන ඉබාගාතේ යාම හැර වෙනත් විකල්පයක් ඔවුනට නොවිණි. ක්‍රිස්තු භක්තිය පමණක් ඔවුනගේ හදවත්හි රැඳී පැවතුණි. 


හදවත්හි නැගුණු භක්තිය ලන්දේසින්ගේ සැහැසිකම්වලට බියව මුහුණ දීමට ඔවුනට ශක්තිය ලබාදී තිබිණ. යාපනය තුළ පැවති ලන්දේසි පාලනයෙන් මිදුණු හත්සීයක් වූ පිරිස කුඩා කණ්ඩායම් ලෙස සෑදී එක් කණ්ඩායමක් පසුපස තවත් කණ්ඩායමක් ලෙස ගමන් කළහ. ඵ් සියල්ලන්ගේම ඇස් උකුසු ඇස් බවට හරවා ගනිමිනි. 


ජීවිතයන්හි නිදහසත්, ජීවිතයන්ට ක්‍රිස්තු දහමේ ආධ්‍යාත්මික හරයත් ආරක්ෂාකර ගැනීම හැර වෙනත් කිසිවක් ඔවුනට හිමිව නොතිබිණ. හරි හමන් පාරක් තොටක් නොදැන ඝන වන්නි වනය මැදින් සිත් සෝදිසියට ගමන් කරන ඔවුන්ගේ සිතට වද දුන් බරපතළ කරුණු දෙකක් තිබිණ. කුසගින්නට ප්‍රමාණවත් තරමට නොව, අප්‍රමාණවත් තරමට හෝ යම් අහරක් නොලැබීමේ දුක සිත පෙලූ එක් කරුණක් වී තිබිණ. පිපාසයට පිරිසිදු දිය බිඳක් නොව, රෙදි පාංකඩකින් හෝ පෙරා උගුර තෙත් කර ගැනීමට මඩ දිය බිඳක් නොවීම සිත පෙලූ අනිත් දුක වී තිබ්ණ. 


සැබැවින්ම, එම කාලය යාපන අර්ධද්වීපය හෙවත් යාපන රාජධානියට තදින් හිරු පායන, පො​ළොවේ රැඳී තිබෙන ජල බිඳ පවා වියළවන කාලගුණයක් වී තිබිණ. සියලු දුක පරදා ශක්තිය පෙරදැරි කරගත් විට දෙවියන් වහන්සේගේ සහනය ඉතා ඉක්මනින් ලැබෙන බවට වන විශ්වාසය පමණක් හත්සියයක් වූ පිරිසගේ හදවත්හි රැඳී තිබිණ. 


හසරක් නොමැතිව වනයේ සැරි සැරෑ ගමනට යම් නැවතුමක් ලැබී තිබිණ. ඒ පූනරින් නම් ස්ථානයට පැමිණීමට හැකිවීමෙනි. එම ගමන සැබෑම අහම්බයකි. පූනරින් පහුකර තව ඉදිරියට යාම එතෙක් සිත පැවති භීතිය සහ කනස්සල්ල පහකර දෙන්නට සමත්ව තිබිණ. ඔවුහු ප්‍රීතියෙන් කඳුලු බිඳු වැගිරූහ. හාස්කම් භක්තිය පෙරදැරිව සෙවූ සෙවණෙහි රැකවරණය අවසානයේදී උදාවෙමින් තිබිණ. දෙවියන් ඔවුන් කෙරෙහි දයාබරිත වී තිබිණ. 


යාපනය සන්කිලි රජුට බියෙන් පලා ආ හත්සියයක්වූ යාපන ක්‍රිස්තු ලබ්ධිකයන් සහ ඝාතන සංහාරයෙන් බේරී පලා ආ අලුත් ක්‍රිස්තු ලබ්ධිකයන් මරදමඩු නම් කුඩා ග්‍රාමය තුළදී මුහුණට මුහුණ මුණ ගැසිණි. මන්නාරම් වැසියන් ගෙන ආ, ආරක්ෂිතව තැන්පත් කර තිබූ ජපමාල මෑණියන් හමුවේ ඔවුහු වැඳ වැටුනහ. 


මෙම ඝන වනය ඔබගේ රාජධානිය කරගෙන සෑම අන්දමේ වරප්‍රසාද සැමදෙනාටම එකිනෙකාගේ විශ්වාසයේ අන්දමට ලැබෙන ලෙසට සේක් වේද මරද මඩු මෑණියනි, සදහටම ඔබ ආශිර්වාදය වේවා. ප්‍රශංසා කරනු ලැබේවා. එකිනෙකාගේ විශ්වාසයේ අන්දමට ලැබෙන ලෙසට සේක් වේද මරද මඩු මෑණියනි, සදහටම ඔබ වේවා. 


යාපන ක්‍රිස්තු ලබ්ධිකයන් මන්නාරම් ක්‍රිස්තු ලබ්ධිකයන්ට වඩා ආගමික දැනුමෙන් පරිපූර්ණවී තිබිණ. හෙලේනා ඒ අතර සිටි පෘතුගීසි ජාතික කාන්තාවකි. ඇයගේ පියා කප්පිත්තෙකි. ඇයට තිබුණේ ජ්වලිත භක්තියකි. අවවාදාත්මක ජීවිතයකි. එම හේතුව මත ඇය ශාන්ත හෙලේනා හෙවත් ශුද්ධ වූ හෙලේනා නම් ගති. යාපන සහ මන්නාරම් ලබ්ධිකයන් නැවතුණු ස්ථානය තීරුබදු අයකරන තැනකි. නැවතී සිටි කාලය තුළ එහි නිලධාරියා සමග පෙමින් වෙළී විවාහ වූ හෙලේනා විසින් ජපමාල මෑණියන්ට කුඩා දේව ස්ථානයක් තනන්නට යෙදුණි. එහි සිටියවුන් හෙලේනාගේ ක්‍රියාව අගය කළහ. ගරු කළහ. ඒ මත පිහිටා එම ස්ථානයට සිලේනා මරදමඩු නාමය ලබා දුනි. අදද එම නම ක්‍රිස්තු ලබ්ධිකයෝ හෙලේනාට ගරු කරනු වස් භාවිතා කරති. 


එකල මඩු මාතා හැඳින්වූ තවත් නමක් තිබිණ. එම නම වනගත ප්‍රතිමාව නම ගති. වනගත ඕතොමෝ රැකවරණය පතා එන තම දරුවන්ට ආත්මික ශාරීරික දීමනා නොමසුරුව වැස්සවූහ. මඩු මාතා වැඩ හුන් ප්‍රදේශය තුළ මහත් වූ හාස්කම් පැතිරවූහ. එය විශේෂ මැදහත්කාරකමක්වී තිබිණ. දේවස්ථාන භූමි භාගය තුළදී සර්ප විසෙන් හානිවීම වැළකුණි. රට පුරා එය ප්‍රසිද්ධ වුණි. දේවස්ථානයට පැමිණියවුන් එබිමෙන් පස් පිඬක් රැගෙන ගියහ. එම පස්ද සර්ප විස නසන්නට සමත්ව තිබිණ. එය අදද පුදුමයට කරුණකි. 


සර්ව බලධාරි වූ අනාදි අනන්ත වූ දෙවියනි, මෝක්ෂ සම්පන්න කන්‍යා මරියතුමන්ගේ ගත හා ප්‍රාණය ඔබගේ ශ්‍රී කුමාරයාට ඔබින වාසස්ථානය වන ලෙස ස්ප්‍රිතු සාන්තු වරමින් හේතු යුක්ත කරදී වදාළ වේද, අප සතුටුව සිහිකරන ඕතුමන්ගේ දයාබර යාච්ඤාව බලා අපට යෙදෙන්නා වූ නපුරුවලි හා අනවරත මරණයෙන් ගැලවීම සැලසුව මැනව. 
මෙකී දේ අපේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තු උදෙසාම ලැබේවා ආමෙන්. 


වර්ෂ 1656 සිට 1686 දක්වා වූ කාලය ක්‍රිස්තු පූජාප්‍රසාදීන්ට මහත් අපල ගෙනදී තිබිණ. ඒ ලන්දේසීහු තම පාලන පළාත්වලින් පූජාප්‍රසාදීවරුන් නෙරපා හැරීම හේතුවෙනි. එම කාලය තුළ ලක්දිව ආත්මික සේවයක් නොතිබිණි. මේ අතරම ලංකා තරණයක්ද සිදුවුණි. ඒ ඔරතෝරියානු පියවරුන්ගෙනි. ඔරතෝරියානු පියතුමකු ප්‍රධාන කරගත් පියවරුන් කිහිප දෙනකු ලංකාවට පැමිණීම හේතුවෙන් ලංකාවේ ක්‍රිස්තු ලබ්දිකයන් අතර ඇතිවූයේ පුනර්ජීවයකි. එය ධර්ම දූත මධ්‍යස්ථාන පිහිටුවීමට හේතුවක් වුණි. 


වර්ෂ 1706 වනවිට මන්නරමේ සිලෝනා මරදමඩු ධර්මදූත මධ්‍යස්ථානයක් ලෙස නම් කරනු ලැබිණි. එහි පාලනය දැරුවේ පෙඩ්‍රෝ පෙරේරා නම් ලත් ඔරතෝරියානු පියතුමකු විසිනි. වර්ෂ 1606 දී ලංකාවට පැමිණි එතුමා මඩුහි දේව ස්ථානය පළමුවද, පසුව තවත් ඔරතෝරියානු පියතුමකු වූ අන්තෝනියෝද ත්‍රාවේරා පියතුමන්ගේ සහායෙන් මඩු දේවස්ථානය විශාල කෙරිණි. 


ලංකාවට ඉංග්‍රීසීන්ගේ පැමිණීම තුළ ක්‍රිස්තු ආගමට යම් සහනයක් ගෙන දුණි. ඒ ක්‍රිස්තු ආගමට වූ තාඩන පීඩන අවසන් වීමෙනි. දේවස්ථානයේ ඉඩපාඩු නොවීම තදබල ලෙස දැනෙමින් තිබිණ. මන්නාරමේ විනිශ්චයාධිකරණයේ ලේකම් ධුරය දැරූ බර්ගර් ජාතික මොයිස් 1823 දී කුඩා දේවස්ථානයක් මැටියෙන් ඉදිකරන්නට යෙදුණි. එය අශ්ව ලාඩමක හැඩ ගති. අඩි අටක් උස බිත්ති තුනක් තිබිණ. අසම්පූර්ණ වූ එම බිත්ති ඉරි තැලී තිබිණ. එහි මැද කුඩා මේසයකි. එය අල්තාර පීඨයකට භාවිත කළ හැකි එකකි. දේවස්ථානයට පිටුපසින් කුඩා කාමරයකි. එහි පමිණෙන පියතුමන්ලාගේ නවාතැන් සඳහා එය වෙන් කෙරිණි. මේ අතර උදාවූයේ අභාග්‍ය සම්පන්න කාලයකි. ඒ 1834 දී පියතුමන්ලාගේ කූට්ටම අත්හිටුවීමෙනි. එය මහත්වූ අවහිරයක් ගෙන දුනි. 


වඩාත්ම වැදගත් කාල සීමාව එළඹෙමින් තිබිණ. අත්හිටවූ කූට්ටමෙන් පසු කරන්නේ කුමක්ද යන්න කතිකාවට ලක්විණ. එහිදී රෝම නුවර පාලන මණ්ඩලයෙන් අලුත් විධි විධාන සකස් කෙරිණි. ඒ යටතේ වර්ෂ 1846 දී උතුරු විකාර පදවිය ඇරඹිණි. අලුත් විකාර අපෝස්තලික තනතුරට මොන්සිඤෝර් බෙතිකිනි පියතුමන් නම් කෙරිණි. නව පියතුමන් ඔබිලේට් පියවරුන්ට ආරාධනා කළහ. 
හදිසියේම සිදුවූ බෙතිකින් පියතුමන්ගේ අභාවය උදාකළේ අභාග්‍ය සම්පන්න කාලයකි. හිස්වූ තනතුරට පත්වූ සෙමේරියා රාජගුරු ප්‍රසාදිතුමන්ගෙන් වනගත ප්‍රතිමාවේ අභිවෘද්ධියට කිසිවක් නොකෙරිණ. වර්ෂ 1868 දී රාජගුරු ප්‍රසාදි පදවියට බොන්ජමින් පියතුමන් නම් කෙරිණි. අද මඩු සිද්ධස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මඩු මංගල්ල්‍යය ඇරඹියේ එතුමාගේ මෙහෙයවීමෙනි. වර්ෂ 1870 ජූලි 02 වැනි දින මඩු දේවස්ථානයේදී පළමුවරට එය පැවැත්විණි. ඒ පිළිබද ඥානප්‍රකායර් පියතුමන් මෙසේ පවසා තිබිණ. 


එදා සිට අද දක්වා වර්ෂයක්, වර්ෂයක් පාසා දහස් ගණන්, දස දහස් ගණන් වන්දනාකරුවන් මඩු සිද්ධස්ථානය ආකර්ෂණය කරයි. 


මෙහි සැඟව තිබෙනුයේ විස්මයජනක පුවතකි. 1872 දී මඩු වර්ණනා කළ බොන්ජමින් 1872 දී පළමු වරට පළමු වරට මඩු සිද්ධස්ථානය වෙත පැමිණියේය. එවකට මඩු සිද්ධස්ථානයේ තිබුණේ කනගාටුද‌ායක තත්වයකි. මැටියෙන් තනා තිබූ කුඩා දෙවිමැදුර හදවත කම්පා කරවන්නට සමත්ව තිබිණ. එහිදී එතුමා මෙවැනි කතාවක් කරන්නට යෙදුණි. 


රට පුරා කීර්තියක් ඉසිලූ නමුදු ගැම්මකට නැති මේ සිද්ධස්ථානය පළමු වතාවට දුටු විට මම කෙතරම් සෝ දුකින් පෙළුනේද? ඔබිලේට් රාජගුරු ප්‍රසාදි නමක් විසින් සිය නිමල මවගේ ගෘහය මෙතරම් හීන දීන තත්වයක තැබිණි යන්න කීම නොකියවෙන පරිදි කටයුතු කරන බව මම ඒ මොහොතේදීම පැවසුවෙමි. මේ රුදුරු වන ළැහැබෙහි දෙව් මව් සඳහා රමණීය වනයක් ගොඩනැගීමට මම හනික ඉටා ගතිමි. 
බොන්ජන් රජගුරු ප්‍රසාදීතුමන් අතින් නව ගෘහය සඳහා එදිනම මුල්ගල් තැබිණි. 1872 අගෝස්තු 08 දින තබන ලද මුල්ගලට අනුව අද පවතින මනස්කාන්ත මන්දිරය ඉදිවී නිම කෙරිණ. බොන්ජන් ප්‍රසාදී පියතුමන්ට පසුව පැමිණි බෙලිසන්, ජුලෑන් යන රාජගුරු ප්‍රසාදී පියතුමන්ලාගේ පාලන කාලයන් තුළ එහි වැඩ අවසන් වුණි. එම කාලය තුළ අලංකාර මොගොප්පුවද, ඉඩ පාඩු ඇති පූජක නිවසද, විවේක විශ්‍රාමය දෙන දිව්‍ය සත් ප්‍රසදීන් වහන්සේගේ කුඩා පල්ලියද, සම්‍යක් හැඟීම් පහළ කරවන ලුර්දු මෑණියන්ගේ ගුහාවද දහස් ගණන් වන්දනාකරුවන්ට ස්නානය කරනු පිණිස සිසිල් ජලය සපයන විශාල ජලාශයක්ද, වඩාත් ගැඹුරු කරන ලද වෑ කන්දද, පානයට ජලය සපයන ළිංද, ඉදිකෙරිණි. 


1924 දී මරිය මාතාවන් නිල වශයෙන් මඩු මාතාවන් ලෙස නම් කෙරිණි. ඒ එකල වැඩ සිටි ශුද්ධෝත්තම පාප්තුමන්ගේ විශේෂ නියෝජිතයකු මගිනි. ප්‍රථම නිල මඩු මංගල්‍ය එම වසරේ ජූලි 01 දින ඇරඹිණ. පාප්තුමාගේ නියෝජිත පියතුමා, සතර ප්‍රසාදීන් වහන්සේලා, සියලු මීසම් නියෝජිතයන් වූ පියතුමන්ලා අසූ නම, සමඟ එක්ලක්ෂ පනස්දහසක ජනතාවක් මඩු මාතාවන් වන්දනා කිරීමට එදින සහභාගිවී සිටියහ. ඒ නියම යාච්ඤා වත් පිළිවෙත් පැවැත්වීමෙනි. පසුව එළැඹි 1944 දී මඩු දේවස්ථානය අභිෂේක කරනු ලැබිණි. යාපන පදවි පශ්චත්තාපිත ගමන සංචාරය කෙරිණි. ආත්මීය චාරිත්‍රානුකූල ජීවිත ආත්මයන් 51500 ක් යාපන පදවි පෙරහැරේ ගමන් කළහ. පෙරහැර සැතපුම් දහසක දුරක් ගෙවා තිබිණ. එහිදී දේවමාතාවට කැපකළ ආකෘති පත්‍ර 51500 ක් මඩු මාතා පා කමල යට තැන්පත් කළහ. 
මඩු මාතාවන්ට ඔටුනු පැළඳවීමේ පස්විසි වසර 1949 දී සිදුකර තිබිණ. 1975 වසරේදී ශුද්ධ වූ පාප් යෝජනාවක් වූ, නවීකරණය කරන දෙවිඳුන් යන මැයෙන් මංගල්‍යයක් පැවැත්විණ. වර්ෂ 1974 ජූලි 02 මඩු කඳවුරේ දේවමාතාවන්ගේ ස්වර්ණ ජුබිලිය පවත්වන්නට යෙදුණි. ඒ කොළඹ අගරදගුරු ප්‍රසාදීන් වූ අති උතුම් තෝමස් බෙන්ජමින් කුරේ කාදිනල් තුමන් විසිනි. 


සත්‍යය සොයන්නන්ගේ ආලෝකය මඩු මධ්‍යස්ථානය බවට විශ්වාසයක් කිතු ලබ්ධිකයන් අතර පවතී. සිද්ධස්ථානය වෙත දෙවියන්ගේ බැල්ම ලැබී ඇති බවට වන විශ්වාසය දිනෙන් දින මෝරමින් පවතී. එය විශේෂ දේව බැල්මකි. ඔවුන්ගේ අදහසට අනුව මුළු ලක්දිවම ක්‍රිස්තු රාජාණන්ගේ අණසකට යටත් කිරීමට දෙවියන් විසින් තෝරා බේරා ගන්න ලද නොවරදිනසුලු මාර්ගය මඩුහි අප මාතාව බවට විශ්වාසයක් පවතී. 


මඩු රාජධානියේදී දස දහස් ගණන් රෝගීහු සහ දුක්ඛිත වූවෝ, අනාථයෝ සහ කනවැද්දුම් ස්ත්‍රීහු, අන්ධයෝ සහ වඳ ස්ත්‍රීහු, සුවයත් සැනසීමත් ලබා සතුටු සිතින් අාපසු ගෙවල් බලා යති. 
මඩුහි අප ස්වාමිදූ රෝගීන්ගේ ආරෝග්‍ය වන සේක. දුක්ඛිත වූවන්ගේ සැනසීම වන සේක. දුකින් වෙළී සිටින දරු දැරියෝ අසරණ සරණ මෑණියන්ගේ පා කමල වටා පැය ගණන් වැතිර සිටිති. ඇතැමෙක් ළය කම්පිත කරවනසුලු වදනින් සෝදුක එළිදරව් කරති. ඇතැමෙක් දයා සහගත මෑණියන්ගේ මුවකුසුම දෙස දෑත් දිගුකර නොමග ගිය සැමියකුගේ පුතකුගේ ආපසු පැමිණීම පතති. නැතිනම් ඔත්පළ දියණියකගේ සුවය පතති. දරු සම්පතක් පුල පුලා බල බලා ඇවිටිලි කියති. 


මරිය මාතාවන් වෙත සරණ පතා දිව එන කිසිවකු සරණය නොලැබ ගිය බව කිසිවෙකුත් නොකියති. ස්තුති දීමනා හා බාරහාර ලෙස මාතාවන්ගේ පා කමල යට තබා තිබෙන අල්තාර පීඨකයේ දැල්වෙන දහසක් ඉටි පහන්, රිදීමය බෝනික්කන්, ශරීර අවයන්හි රූප, වී කරල් හා පොල් පැළ මෑණියන්ගෙන් ලැබුණු කාරුණාව, උදව් පදවු මැනවින් කියා පාති. 


සත්‍යය සොයන්නන්ගේ ආලෝකය ලෙස හඳුන්වන, පාපිෂ්ඨයන්ගේ රාක්ෂස්ථානය ලෙසින් නම් දරන, දුක්ඛිත වූවන්ගේ සැනසීම වන, ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රාණනාළිය වන අක්කර 110ක් විශාල, ක්‍රිස්තියානුවන් පිහිට පතන මඩු අම්මා රැඳී සිටින මඩු පල්ලියේ ප්‍රථම නිල වාර්තාවේ මඩු මංගල්‍යයට සහභාගි වූවකු මෙසේ සටහන් කර තිබිණ. 


සුරලොවින් මෙපිට දැක්මට හා විඳීමට පුල පුලා බලා සිටින පරම ශ්‍රී විභූතිය දුටුවෙමු. ඉමහත් ප්‍රීතිය නොඅඩුව වින්දෙමු. ලක්දිව කතෝලික භක්තියේ හදවත බඳු මඩු සිද්ධස්ථානයේ නිතරම ස්පන්දනය වන නොනවතින ආත්මික ජීවිතය, ප්‍රාණ වායුව ශ්‍රී ලංකා ද්වීපය අස්සක් මුල්ලක් නෑර ප්‍රාණවත් කරමින් පවතියි. 


 වසර පන්සියකට පෙර සහ පසු කිතුනුවන්ට එල්ල කළ ම්ලේච්ව ඝාතනයන් හමුවේ. යාපනයේ සිට ගාල්ල දක්වාද, ත්‍රීකුණාමලේ සිට කොළඹ දක්වාද, ජනාකීර්ණ වූ මුහුදුබඩ ප්‍රදේශවලින්ද, කඳුකර මැද පළාතෙන්ද අලුත් පරණ වෙනසක් නොමැතිව කිතුනු ලබ්ධික වන නොවන ජනතාව මඩු මාතා නැමදීමට අදටත් වැල නොකැඩී ඇදී එමින් සිටිති. අහඹු ලෙස වුව මන්නාරම් ධීවර වැල්ලට කිතු දහම ගෙනා ඇත්තෝ අවසානයේදී දෙව්මව් කෙරෙහි ළැදිකම්ද අප අතර පෝෂණය කළහ. 


 මඩු වන්දනා ස්ථානයේදී දැඩි කතෝලික ජීවිතයකින් ජීවත් වී යාච්ඤාවේ සුපිරිසිදු වාතය ආශ්වාස කිරීම ක්‍රිස්තු ලබ්ධිකයන්ගේ සිරිතකි. ප්‍රසාද නිධානයන්ගේ ජලය පානය කිරීම තවත් සිරිතකි. මඩු පල්ලිය ශ්‍රී ලංකා භූමියේ කිතු දහමේ ආත්මික බල ස්ථානයක් බවට කිතු ලබ්ධිකයෝ විශ්වාස කරති. 

 


අරුණඩේල් විජේරත්න  
ඡායාරූප-වවිනියාව සමීර මලලසේකර