පෙර භවයේ  ප්‍රබල සාක්කි

පතල් සොයා ගිය චන්දම දරුවා

 

දෙහැවිරිදි වියේ පසුවූ සිඟිති දරුවා සෙල්ලම් කිරීමට ගෙමිදුලේ වළවල් හාරනු මවට දක්නට ලැබිණි. කුඩා දරුවන්ගේ හැසිරීම් රටාවක් ලෙස තම පුත්‍රයාද ගෙමිදුලේ වළවල් හෑරීම සිදු කරන්නේ යැයි මම සිතුවාය.   
දින කීපයක් මේ අයුරින් ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා එහි ඇති ගල්කැට කීපයක් එකතු කරන අයුරුද මව දුටුවාය. එහෙත් ඒ පිළිබඳවද මව කිසිදු අවධානයක් යොමු නොකළාය. තවත් දින කීපයක් ගතවිය. එසේ එකතු කරගත් ගල්කැට ජල භාජනයකට දමන අයුරුද මවට දක්නට ලැබිණ.  

මව ඒ දෙස බලා සිටියාය. ජලයෙන් සෝදනු ලබන ගල්කැට ඇඟිලි තුඩුවලින් අල්ලා අහස දෙසට දිගුකරමින් බැලීමට සිඟිති දරුවා උත්සාහ ගත්තේය. එය දුටු මව ‘‘මොනවද පුතා බලන්නේ’’ යයි පුංචි පුතුගෙන් ප්‍රශ්න කළාය. ‘‘මැණික් ගල් බලන්නෙ මෙහෙම තමයි’’ යයි දරුවාගේ පිළිතුර වීය. තම දරුවාට මැණික් ගැන අවබෝධයක් ඇති වූයේ කෙසේද? මවට බලවත් ප්‍රශ්නයක් විය. නිවසේදී හෝ කිසි දිනෙක එවැන්නක් කතා කිරීමක් හෝ දරුවාට නෑසුණු බැව්ද පැහැදිලිය. එවැනි දසුනක් හෝ ඔහු කිසි දිනෙක දැක නොතිබිණ.  


පුත්‍රයා කිසියම් පෙරභවයක සිදුවීමක් හෙළි කරන්නේදැයි මවට සිතුණි. එහෙත් ඒ පිළිබඳව මව විමසීමක් නොකළාය. නිතර නිතර මිදුලට ගොස් ගල්කැට රැගෙන එන දරුවා ඒවා සෝදා අහස දෙසට දිගු කරමින් පරීක්‍ෂා කිරීමේ සිරිත දිනෙන් දින වැඩිවන්නට විය. මේ අතර දිනක් මව සමඟ වෙළෙඳසලට ගිය දරුවා එහිදී දක්නට ලැබුණ ​ෙව්වැල් කූඩයක් වෙත ගියේය. එය මවට පෙන්වූ ඔහු.  


‘‘මේ වගේ ඒවයින් තමයි අපි එහෙදී මැණික් ගරන්නේ. පතල් බහින කොට ගල් එකතු කරන්නේ මේවායෙන් තමයි’’ යයි කීවේය. අනතුරුව ඉන් කූඩයක් රැගෙන දෙන ලෙස ඉල්ලා සිටියේය.   


තම පුත්‍රයා නියත වශයෙන්ම මැණික් ගැරීම සිදු කළ තොරතුරු හෙළි කරන බැව් මවට අවබෝධවිය. සැමියා සමඟද ඒ බැව් හෙළි කළ මව තම පුත්‍රයා හෙළිකරන තොරතුරු පිළිබඳව උනන්දු වූවාය. නැවත දිනෙක මැණික් ගැරීම ගැන මව සමඟ හෙළි කළ දරුවාගෙන් මව ප්‍රශ්න කළාය.  


‘‘පුතා මැණික් ගැරුවේ කොහේද?’’ මොහොතක් කල්පනාවේ යෙදී සිටි දරුවා   


‘‘ඇඹිලිපිටියෙදී’’ යැයි පිළිතුරු දුන්නේය.  


ඇඹිලිපිටියේ කොහේද මැණික් ගැරුවේ?  


‘‘පතලෙදි’’  


පතල කොහේද?  


‘‘ඇඹිලිපිටියෙ ඉඳල තව දුර යන්න ඕනෑ. අපි යාළුවොත් එක්ක පතලට ගිහින් ගල් කූඩවලට දාලා ගගේ හෝදනවා ඉතින් ඒවායේ මැණික් තියෙනවා. යැයි පැවසූ දරුවා පෙරභව මතක සටහන් හෙළිකරන්නට විය. පෙරභවයේදී ගලකට යට වී මිය ගිය බවත් මිතුරන් එකතු වී ගොඩගත් නමුත් මරණයට පත් වූ බවත් පැවසීය.  


පුත්‍රයාගේ මෙම ප්‍රකාශය මගින් හෙළිකරන පෙරභව ජීවිත තොරතුරු විමසීමට පියාද උනන්දු විය. පෙර භවයේදී සිටි මිතුරන් කවුරුන්ද යන්න ඔහු විමසීමක් කළේය.  


පෙරභවයේදී සිටි එක් මිතුරකු හඳුන්වනු ලැබුවේ ‘බාලේ’ යනුවෙන් බැව් ඔහු කීය. පෙරභවයේ නිවස සොයාගතහොත් බාලේවත් සොයා ගත හැකි බැව්ද මෙම දරුවා පැවසීය.  


අනතුරුව පෙරභවයේ දෙමාපියන් ගැනද හෙළි කළ ඔහු පියාට වෙළෙඳසලක් තිබූ බැව්ද අනාවරණය කළේය. මවගේ නම ‘බීටා’ යනුවෙන් හැදින්වූ බවද මෙම දරුවාට මතක තිබිණි. සොයුරු සොයුරියන් දෙදෙනෙක් පිළිබඳවද ඔහු හෙළි කළේය.  


පෙරභවයේ නිවසේ ලොරි රථයක් ඇති බවත් නිවසට යන මාර්ගයේ වෙල්යායක් අසල පෙට්ට්‍රල් පිරවුම් හලක් ඇති බවත් ඔහු කීය. 

 
මේ අයුරින් පෙරභව තොරතුරු අනාවරණය කළ දරුවා උපත ලැබුවේ 1976 වසරේදී කෑගල්ල ප්‍රදේශයේදීය. චන්දිම නම් එම දරුවා අනාවරණය කළ තොරතුරු විමර්ශනය කිරීම සඳහා පියා දැඩි උත්සාහයක් ගෙන තිබිණි. පර් යේෂණයක් සඳහා අපි ඔහු හමුවන විට එම දරුවාට වයස අවුරුදු දහයක් පමණ විය.  


මැණික් පතල් පිළිබඳව ඔහුට තිබූ අවබෝධය නිරීක්‍ෂණය කිරීම සඳහා එම දරුවා සමඟ මැණික් පතල් ඇති ප්‍රදේශයකට ඔහු රැගෙන යෑමටද අපට අවස්ථාවක් ලැබිණි. රත්නපුර මාර්ගයේ ගමන් ගනිමින් සිටි මෙම දරුවා මැණික් හාරන ස්ථානයක් දැක එහි ගොස් මැණික් හෑරීම පිළිබඳව අප සමගද තොරතුරු අනාවරණය කළේය. මැණික් ගල්වර්ග කීපයක නම්ද මෙම දරුවාට පැහැදිලි දැනුමක් තිබිණි.  


මෙම දරුවා හෙළිකළ පෙර භව නිවස සොයා ගැනීම සඳහා කීප විටක්ම උත්සාහ ගත් බවත් එහෙත් නියමිත ප්‍රදේශය විමර්ශනය කිරීම තරමක් අසීරු වූ බවත් පියා අප සමඟ පැවසීය. කෙසේ වෙතත් මෙම දරුවා කුඩා කල සිට මැණික් ගැරීම සහ මැණික් ගල් පිළිබඳව අනාවරණය කළ තොරතුරු උපතින් ඔහු ලැබූ දැනුමක් බැව් පර් යේෂණයේදී තහවුරු වීය.  


පෙරභවයේ රත්නපුර ප්‍රදේශයේ ජීවත්ව සිටි බැව් හෙළි කළ දරුවෙක්ද මීට වසර ගණනකට උඩදී මැණික් ගැරීමක් පිළිබඳව තොරතුරු අනාවරණය කළේය. 1974 වසරේදී ඇල්පිටිය ප්‍රදේශයේදී උපත ලද එම දරුවා පෙරභවය හෙළිකරමින් කියා සිටියේ මැණික් ගල් විකිණීමෙන් ඔහු ලක්‍ෂ ගණන් මුදල් උපයාගත් බවය. වාසල නම් එම දරුවා පෙරභවය හෙළි කිරීම ආරම්භ වූයේ වයස අවුරුදු දෙකේ සිටය.  


දිනක් එම දරුවාගේ ඡායාරූපයක් ගැනීම සඳහා ඔහු ඡායාරූප ශාලාවකට රැගෙන ගියේය. ඡායාරූපය ගැනීම සඳහා ඔහුට සෙල්ලම් කාරයක් පෙන්වනු ලැබීය එය දුටු විගස දරුවා මහත් බියට පත් විය. අනතුරුව ඔහු ප්‍රකාශ කළේ පෙරභවයේදී මෝටර් රථ අනතුරකින් ඔහු මරණයට පත් වූ බවකි. ඔහුට පෙන්වූ සෙල්ලම් කාරය වැනි කාරයකින් යනවිටදී අනතුරකට ලක් වූ බැව් ඔහුගේ මතකයට නැගී තිබිණි.  


මෙම දරුවාට පෙරභවයේ මැණික් වර්ග පිළිබඳව මතක තිබීමද විශේෂත්වයක් විය. මැණික් ගල්වර්ග නිවැරැදිව හෙළි කිරීමට එම දරුවාට හැකිවීම පිළිබඳව දෙමාපියෝ මවිතයට පත්ව සිටියහ. පෙර භවයේදී මරණයට පත්වන විටදී ඔහු තිස් වන වියේ පසුවූ බවත් පදිංචිව සිටියේ විශාල නිවසක බවත් අනාවරණය කළේය.  

 

මැණික් පතල් පිළිබඳව ඔහුට තිබූ අවබෝධය නිරීක්‍ෂණය කිරීම සඳහා එම දරුවා සමඟ මැණික් පතල් ඇති ප්‍රදේශයකට යෑමටද අපට අවස්ථාවක් ලැබිණි. රත්නපුර මාර්ගයේ ගමන් ගනිමින් සිටි මෙම දරුවා මැණික් හාරන ස්ථානයක් දැක එහි ගොස් මැණික් හෑරීම පිළිබඳව අප සමගද තොරතුරු අනාවරණය කළේය. මැණික් ගල්වර්ග කීපයක නම්ද මෙම දරුවාට පැහැදිලි දැනුමක් තිබිණි.  
මෙම දරුවා හෙළි කළ පෙර භව නිවස සොයා ගැනීම සඳහා කීප විටක්ම උත්සාහ ගත් බවත් එහෙත් නියමිත ප්‍රදේශය විමර්ශනය කිරීම තරමක් අසීරු වූ බවත් පියා අප සමඟ පැවසීය. කෙසේ වෙතත් මෙම දරුවා කුඩා කල සිට මැණික් ගැරීම සහ මැණික් ගල් පිළිබඳව අනාවරණය කළ තොරතුරු උපතින් ඔහු ලැබූ දැනුමක් බැව් පර් යේෂණයේදී තහවුරු වීය. පෙර භවයේ රත්නපුර ප්‍රදේශයේ ජීවත්ව සිටි බැව් හෙළි කළ දරුවකුද මීට වසර ගණනකට උඩදී මැණික් ගැරීමක් පිළිබඳව තොරතුරු අනාවරණය කළේය. 1974 වසරේදී ඇල්පිටිය ප්‍රදේශයේදී උපත ලද එම දරුවා පෙරභවය හෙළි කරමින් කියා සිටියේ මැණික් ගල් විකිණීමෙන් ඔහු ලක්‍ෂ ගණන් මුදල් උපයාගත් බවය. වාසල නම් එම දරුවා පෙරභවය හෙළි කිරීම ආරම්භ වූයේ වයස අවුරුදු දෙකේ සිටය.


‘‘එහෙදී අපි හිටියෙ ලොකු ගෙදරක. ලොකු අල්මාරියක් තිබුණ. මැණික් විකුණල ගේන සල්ලි ටිකක් අල්මාරියෙ දානව. අනිත් ඒවා බැංකුවේ ද‌ානවා’’ යයිද ඔහු මතකයෙන් හෙළි කළේය.  


මෙම දරුවා හෙළි කළ පෙරභවයේ තොරතුරු සනාථකිරීම සඳහා වර්ජීනියා සරසවිය මගින් මහාචාර්ය ස්ටීවන්සන් විසින් පුවත්පත් දැන්වීමක්ද පළකරනු ලැබීය. මැණික් ව්‍යාපාරිකයා යළි ඉපදිලාද? මැයෙන පළකළ එම දැන්වීමට දරුවා විසින් හෙළිකරන ලද තොරතුරු අඩංගු වූයේ මෙසේය.  


‘‘රත්නපුර ප්‍රදේශයේ ජීවත් වූ බව කියන දොළොස් හැවරිදි පිරිමි දරුවකු ඔහු පෙර භවයේ සිටියදී මැණික් ව්‍යාපාරික කටයුතු කළ බැව් හෙළි කරයි. ඔහු කියන අන්දමට පෙර භවයේදී නම තිලකය. බිරිඳගේ නම සීතා බවත් සුසන්තා නම් පුතකු හා හේමන්ති නම් දුවෙකු සිටි බවද ඔහුට මතකය. ලොකු නිවසක ජීවත් වූ බව කියන මෙම දරුවා ඔහුට රතු පාට කාරයක් තිබූ බවත් රත්නපුර සීවලී විද්‍යාලයේ ඉගෙන ගත් බවත් හෙළිකරයි. දිනක් බයිසිකලයකින් යද්දී කාරයක හැපීමෙන් මිය ගිය බවද කියයි’’ යනුවෙන් එම දැන්වීමේ පළ කැරිණි.  


තවමත් පර් යේෂණ මට්ටමේ පවතින මෙම දරුවා හෙළි කළ තොරතුරු විමර්ශනය කිරීමේදී ඔහු සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඒවාට එදා ඔහු දුන් පිළිතුරුත් මෙහි සඳහන් කළ හැකිය.  


ප්‍රශ්නය:- ඉස්සර හිටියෙ කොහේද?  
පිළිතුර:- රත්නපුරේ.  
ප්‍රශ්නය:- එහෙදී ඔයා ලොකුද පොඩිද?  
පිළිතුර:- ගොඩක් ලොකුයි. එතකොට මට වයස තිහයි.  
ප්‍රශ්නය:- ගෙදර කවුද හිටියෙ?  
පිළිතුර:- ළමයි හිටියා.   
ප්‍රශ්නය:- ඔයාගෙ එහෙදී නම මොකක්ද?  
පිළිතුර:- තිලක.  
ප්‍රශ්නය:- එහෙදී ඔයාට මොකද වුණේ?  
පිළිතුර:- ඇක්සිඩන්ට් වුණා.  
ප්‍රශ්නය:- මොකක්ද ඇක්සිඩන්ට් එක?  
පිළිතුර:- බයිසිකල් ඇක්සිඩන්ට් එකක්.  
ප්‍රශ්නය:- බයිසිකලය ඇක්සිඩන්ට් වුණේ මොකකද?  
පිළිතුර:- කාර් එකක.  
ප්‍රශ්නය:- කාර් එකේ හැපිල මොකද වුණේ?  
පිළිතුර:- මැරුණ.   
ප්‍රශ්නය:- ඇක්සිඩන්ට් වුණ තැනදීම මැරුණද?  
පිළිතුර:- ඔව්, එතනම මැරුණා.  
ප්‍රශ්නය:- ඔයා ගමන් ගියේ බයිසිකලයෙන්ද?  
පිළිතුර:- නෑ මට කාර් එකකුත් තිබුණා. ඒක එළෙව්වෙත් මම. වැඩ කරන එක්කෙනත් එළෙව්වා.  
ප්‍රශ්නය:- වැඩ කරන එක්කෙනාගෙ නම මොකක්ද?  
පිළිතුර:- මතක නෑ.  
ප්‍රශ්නය:- එහෙදී ඔයා කොහේද යන්නෙ  
පිළිතුර:- සිරිපාදෙ. ඒ ගෙදර ඉඳල ළඟයි.   
ප්‍රශ්නය:- ඒ​ ගෙදර මොනවද තිබුණේ?  
පිළිතුර:- ලොකු අල්මාරියක් තිබුණා.  
ප්‍රශ්නය:- කාගෙද අල්මාරිය?  
පිළිතුර:- මගේ සල්ලි දාන්නෙ අල්මාරියෙ.  
ප්‍රශ්නය:- ඔයාට සල්ලි තිබුණද?  
පිළිතුර:- ඔව් ලක්‍ෂ ගණන් තිබුණා.  
ප්‍රශ්නය:- ඒ සල්ලි කොහෙන්ද?  
පිළිතුර:- මැණික්වලින්  
ප්‍රශ්නය:- ඔයා මැණික් ගැරුවද?  
පිළිතුර:- නෑ ගරවනවා, කට්ටිය දාල ගරවනවා.  
ප්‍රශ්නය:- මැණික් හම්බවුණාද?  
පිළිතුර:- ඔව් රතුකැට වෛරෝඩි නිල් කැට එහෙම ලැබුණ.   
ප්‍රශ්නය:- හුඟක් සල්ලි ලැබෙන්නෙ මොනවාගෙන්ද?  
පිළිතුර:- නිල් කැටවලින්.  


මේ අයුරින් මැණික් ගල්වල වටිනාකම් සහ මැණික්ගල්වල නම් වර්ගද නිවැරදිව හෙලි කිරීමට එම දරුවාට හැකියාව තිබිණි. එහෙත් මැණික් ගැරීම සිදුකළ ප්‍රදේශ පිළිබඳව ඔහුගෙන් අනාවරණය නොවිණි.  


මැණික් ගල් පිළිබඳව හෙළිකළ තවත් දරුවෙක්ද 1976 වසරේදී කොළඹදී උපත ලැබීය. එම දරවාට වයස අවුරුදු දෙකක් පමණ වියේදී දෙමාපියෝ දරුවා සමඟ කතරගම ගියහ. එහිදී ගඟේ නෑමට ගිය විටදී ගඟෙන් ගල් කීපයක් අහුලා ගත් දරුවා ‘‘අපේ තාත්තා මේ වගේ ගල් අහුලනවා. තාත්තා ගඟේ ගිහින් ගල් හෝදනවා. ගල් හොයන්න වළවල්වලට බහිනවා’’ යැයිද කීවේය. ඔහු ප්‍රකාශ කළේද රත්නපුර විලේගොඩ නම් ප්‍රදේශයක ජීවත් වූ බවකි. එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේදී ඔවුන් කුඩා නිවසක ජීවත්ව සිටි බැව්ය.  


‘‘අපේ ඒ ගෙදර පොඩි ගෙයක්. දිය පාරකින් එගොඩවෙලා යන්න ඕනෑ. යයිද පැවසූ එම දරුවාට පෙර භවයේ ජීවිතය අවසන් වූ අන්දම පිළිබඳවද ඉතා හොඳ මතකයක් තිබිණි.  


‘‘මම දවසක් ගලක් අරගෙන ආවා. බස් එකේ නැගල ගියා. මාව වීසිවෙලා බිම වැටුණා. ඔළුව තුවාල වුණා. එය සිදුවූයේ බස්රියේ පාපුවරුවේ ගමන් කිරීමේදී බැව්ද එම දරුවාට මතක තිබිණි. එම අනතුරෙන් ඔහුගේ හිස පිටුපසට තුවාල සිදුවී රුධිරය ගලා ගිය බැව්ද ඔහු හෙළිකළේය.   


පෙර භවයේදී මැණික් ව්‍යාපාර පිළිබඳව අනාවරණය කළ දරුවන් තිදෙනාම පිරිමි දරුවන් වීමද විශේෂත්වයකි.   

 

 

 

 


තිස්ස ජයවර්ධන