සලරුවක කතාව

චන්ද්‍රා (රුක්මණී දේවි) සිහිසුන්ව සිටියදී දොස්තර පණ්ඩිතරත්න (එඩී ජයමාන්න) ඇයට ප්‍රතිකාර කරයි.   

අගමැති සර් ජෝන් කොතලාවල නිෂ්පාදක කේ. ගුණරත්නම් විසින් පිළිගනී. පසුබිමේ පත්‍ර නියෝජිතයෝ එල්මෝ ගුණරත්න, කරුණාසේන ජයලත් හා ජයවිලාල් විලේගොඩ.   

 

හර්බට් එම්. සෙනෙවිරත්න හා රුක්මණී දේවි   

 

 

ප්‍රංශ ජාතික මෝලියර් (Moliere) (1622 - 1673) (ඔහුගේ සැබෑ නාමය ෂෝන් බැස්ටිස්තෙ පොක්ලින්) ප්‍රහසන නමින් හැඳින්වෙන සමාජ උපහාසය රැඳුණු නාට්‍ය ගණනාවක් බිහිකළ ලංකාවට අමුත්තෙක් නොවන ප්‍රංශ නාට්‍ය රචකයකු බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ලියූ විශ්ව නාට්‍ය හා නාට්‍යකරුවෝ ග්‍රන්ථයේ සඳහන් වෙයි. මෝලියර්ගේ කතාවක අාභාසයෙන් ඩබ්ලියු.ඒ. සිල්වා විසින් (විචාරකයන් හඳුන්වන) රදල පිළිරුව නවකතාව ඇසුරෙන් නිෂ්පාදිත චිත්‍රපටය ගැන අපි කතා කළෙමු.   


1956 වසරේ පෙබරවාරි 02 වෙනිදා තිරගත වූ 32 වැනි සිංහල චිත්‍රපටය වූ ‘‘දොස්තරට’’ පසුබිම් වී ඇත්තේ ද මෝලියර් ගේ කතාවකි. මේ කතාව ඇසුරෙන් 1942 වසරේ කේ. (කන්නන්) ශංකර් නම් මලයාලම් අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කළ ‘‘එන් මානවී’ (En Manaivi) නම් දෙමළ චිත්‍රපටය නිපදවී ඇත. එය මෝලියර්ගේ My Wife නම් කතාව ඇසුරෙන් වල්ලිපුරම් සෝමනාදන් විසින් දෙමළ චිත්‍රපටයේ කතාව හා දෙබස් ලියා ඇත. 2000 වසරේ සිංහල සිනමාවේ තිඹිරිගෙය සොයා දකුණු ඉන්දියාවට ගිය මියගිය මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල කෝඩ බක්කම්හි පිහිටි වල්ලිපුරම් සෝමානදන්ගේ නිවසට ගොස් ඇත. ‘‘දොස්තර’’ චිත්‍රපටයේ කතාව සකස් කළ ඔහු ලංකාවට පැමිණ බම්බලපිටියේ ග්‍රීන්ලන්ඩ් හෝටලයේ නැවතී සිට සිරිසේන විමලවීරට දොස්තර චිත්‍රපටයේ කතාව කියූ බවත් ඔහු එය සිංහලට පරිවර්තනය කළ බවත් සෝමනාදන් පවසා ඇත.   
‘‘දොස්තර’’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ය. සිනමාස් චිත්‍රපට මීට පෙර නිපදවා තිබුණේ මදුරාසියේ මොඩර්න් චිත්‍රාගාරයේ වුවද දොස්තර නිපදවූයේ මදුරාසියේ A.V.M. චිත්‍රාගාරයේ දී වීම විශේෂයකි. මීට වසර 71 කට ඉහත ඒ.ඩී. මෙයියප්පන් ආරම්භ කරන ලද A.V.M. චිත්‍රාගාරයේ දී 1955 ආරම්භ කළ ‘‘දොස්තර’’ ඇතැම් දර්ශන රූගත කරනවා බැලීමට මෙයියප්පන් හා බිරිඳ රත්මලානේ ගුවන්තොටුපළට පැමිණි විට කේ. ගුණරත්නම් පිළිගත් ඡායාරූප එකල පුවත්පත්වල පළ වී තිබුණි. දොස්තර චිත්‍රපටයේ රඟපෑ (දොස්තර ලෙස) එඩී ජයමාන්න සමග භාරතීය චිත්‍රපට නළු භගවාන් ඩාඩා (Bhgawan Dada) රඟපෑම ද සුවිශේෂ සිද්ධියකි. ලංකාවේ තිරගත වූ අල්බේලා හින්දි චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස විකට චරිතයක් රඟ පෑ භගවාන් අපේ විකට රාජා වූ එඩී ජයමාන්න සමග ‘දොස්තර’ චිත්‍රපටයේ ඇත්තටම ගහගත් බව පැවසේ. යකෙකුටවත් බය නැති දොස්තර පණ්ඩිතරත්නගේ චරිතය රඟපාන එඩී ජයමාන්නගෙන් බෙහෙත් ගැනීමට ලොකු අරක්කු බෝතලයක් රැගෙන එන දර්ශනයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවලට මතකය.   
‘‘දොස්තර’’ ප්‍රචාරක පත්‍රිකාවක භගවාන් ගැන මෙසේ සඳහන්ව තිබිණ.   


‘‘හින්දි තිරයේ සිය නම   
තැනක තබා ගත් ඉහළම   
විකට රජා භගවාන්ව   
හඳුනති ලොව හැම කෙනෙක්ම   
චිත්තර පටියෙහි ‘‘දොස්තර’’   
රඟ පා දෙන රස මතුකර   
ඔහු පිළිබඳ මොටද ඉතින්   
කරන්න වැඩිපුර විස්තර   


‘‘දොස්තර’’ චිත්‍රපටයට විශාල වියදමක් දරා ජීව වර්ණයෙන් එක් කරන ලද නැටුමක් නිසා සිංහලෙන් මේ තාක් නිපදවන ලද ඉතාමත් නේත්‍රාංජන චිත්‍රපටය විය හැකි බව පෙනෙන බව සිනමාස් සමාගම විසින් ප්‍රකාශයට පත් ‘‘කලා’’ පුවත්පතේ (1956 සැප්තැම්බර් 05) පළ වී ඇත. 1956 අගෝස්තු මාසයේ අරඹා ඇති ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පත්‍රයක් වන ‘‘කලා’’ පත්‍රයේ ආරම්භ කර්තෘ පත්‍රකලාවේදී මාරක කතා ලිවීමේ සූරයකු වූ ඇස්. පියසේනය. මේ පත්‍රයේ “ජීව වර්ණ නැටුම් වලින් හා අමද්‍යප නැටුමින් දොස්තර අලංකාර වේ” යන ප්‍රවෘත්තියෙන් භගවාන් සහ තරුණියන් 25 දෙනෙකු නටන අමද්‍යප ව්‍යාපාරයට රුකුල් දෙන නැටුමක් නිසා චිත්‍රපටයේ අාධ්‍යාත්මික වටිනාකමද වැඩි වන බව පෙනෙන බව සඳහන් කර ඇත. 1913 උපන් භගවාන් 2002 දී මිය ගියේය.   


එ​තෙක් (1947 - 1955 දකවා) බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා චිත්‍රපටවල පමණක් රඟ පෑ එඩී හා රුක්මණී වෙනත් චිත්‍රපට සමාගමක විත්‍රපටයක රඟ පෑ මුල් අවස්ථාව සනිටුවන්නේ දොස්තර චිත්‍රපටයෙනි. සිනමාස් සමාගමේ වජ්‍ර ජයන්ති වර්ෂය ඇරඹී ඇත්තේද දොස්තර චිත්‍රපටයෙනි. ශ්‍රී ලංකාවේ මුල් වරට චිත්‍රපට නිළියකගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථයක් නිකුත්කර ඇත්තේද ‘‘දොස්තර’’ චිත්‍රපට තිරගතවීම නිමිත්තෙනි.   
ඒ කෘතියේ නම ‘‘මගේ ජීවිත විත්ති’’ ය. කතුවරිය රුක්මණී දේවිය. රුක්මණී ​දේවි විසින් 1955 වසරේ සිට සතිපතා ඉරිදා ලංකාදීප පත්‍රයට ලියන ලද ලිපි එකතුවකි මේ. මේ ලිපි පෙළ රුක්මණී වෙනුවෙන් රචනා කළේ ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සිටි කරුණාසේන ජයලත් විසිනි. මේ පොත ලක්ෂණ ඡායාරූප සහිත රසවත් පොතක් ලෙසත් එහි මිල රු. 2.00 ක් බවත් සිනමාස් සමාගමේ පළකර තිබූ වෙළෙඳ දැන්වීමක සඳහන්ව තිබුණි.   
‘‘දොස්තර’’ කතාව විකාශය වෙන්නේ මෙසේය. 

 
පණ්ඩිතරත්න කාල සටහනක් අනුව වැඩ කරන දොස්තරවරයෙකි. එක් දිනක් ඔහු ගමනක් ගොස් වේලාසන ගෙදර පැමිණියේය. ජනේලය හැර පාර දිහා බලන ඔහුට දකින්නට ලැබුණේ සයිකල් අනතුරකට ලක් වූ තරුණියකි. සිහිසුන්ව බිමට වැටීමට ඔන්න මෙන්න තිබිය දී එතැනට ගිය දොස්තර පණ්ඩිතරත්න ඇය අල්ලා ගත්තේය. ඔහු ඇයට ප්‍රථමාධාර දීමට සිය ගෙදරට කැඳවා ගෙන ගියේය.   


‘එන්න මේ තියෙන්නේ මගේ ගෙදර’ දොස්තර කියනු ඔහුගේ බිරිඳ කාන්තිට ඇසිණ.   


කාන්තිට තම සැමියා ගැන සැක සිතුණි. ඇය මේ සිද්ධිය වරදවා සිතුවාය. තම සැමියා ඇය සමග කාමරයට වී කරන්නේ පෙම්බස් කීම යයි සැක කළ කාන්ති අතරමග හමුවන මේ තරුණියට ඔහු සැබවින්ම ආදරය කරන්නේ යයි ඇය සැකකළාය.   


මේ තරුණියගේ නම චන්ද්‍රාය. ඇය නළඟනකි. එහෙත් දොස්තර ඇය මෙයට පෙර දැක නැත. දොස්තර චන්ද්‍රා සමග ඇගේ නිවසට ගියේ ඈ තනියම යාම පරෙස්සම් නැති නිසාය. දොස්තර තම බිරිඳ වූ රූමත් කාන්තිට හොඳටම ආදරේය. කාන්තිත් තම සැමියාට ඒවගේම ආදරේය. එහෙත් කාන්ති දොස්තර සැකකරයි. කාන්තිට පණමෙන් ආදරේ කළත් දොස්තර ද ඇය සැක කරයි.   


කාන්ති කැලණි විහාරයට යන වන්දනා ගමන් ද මේ සිද්ධියට පසු වැඩිවෙන්නට විය. තම බිරිඳ සැක කරන ​දොස්තර ඇය ගැන විපරමින් සිටියේය. කාන්ති එදා අහම්බෙන් අනතුරකදී තම සැමියාට හමු වූ චන්ද්‍රා වැටී සිටි ස්ථානයට ගියාය. බයිසිකලය තිබූ තැන තිබී කාන්තිට තරුණයකුගේ ඡායාරූපයක් හමු විය. කාන්තිට මෙය ප්‍රහේළිකාවකි. මේ ඡායාරූපය කාන්ති පරෙස්සමෙන් තබා ගත්තාය. වරෙක ඇය ඒ ඡායාරූපය කොට්ටය යට තබා සිටි අවස්ථාවක සැමියාට හමු විය. මේ නම් බිරිඳ හා පෙම් බඳින තරුණයාගේ ඡායාරූපය යයි ඔහු සිතයි. දොස්තර මේ තරුණයා කවුදැයි රට පුරා සෙවීය.   


රංජිත් නළඟනක් වූ චන්ද්‍රාට ආලය කළේය. ඔහු ධනවත් පවුලක තරුණයෙකි. ඔහු ආලය කළ තරුණිය දුප්පත් නළඟනක් වීම ගැන ඔහුගේ මිත්‍ර කල්‍යාණප්‍රිය කැමති නොවීය. තම මිතුරාගේ කීමට පිටු පෑ රංජිත් චන්ද්‍රා සමග විවාහ ගිවිස ගත්තේය. එදා චන්ද්‍රා අනතුරට පත් වූ ස්ථානයේදී තිබී දොස්තර බිරිඳට හමු වූයේ රංජිත්ගේ ඡායාරූපයකි.   


මිනිසුන් දෙස ඉතා විමසිල්ලෙන් බලමින් ඡායාරූපයේ සිටි තරුණයා සොයා යන දොස්තරට නොයෙක් අතවරවලට මුහුණ දීමට සිදුවෙයි. අන්තිමට දොස්තරට රංජිත් හමුවෙයි. තමා පෙම්වතිය වූ චන්ද්‍රාට දුන් ඡායාරූපය වෙනෙකකු අතට පත් වී තිබෙනු දුටු රංජිත්ගේ මොළය අවුල් විය.   


‘‘කෝ චන්ද්‍රා මම දුන්න මගේ පින්තූරය?” රංජිත් අසන විටය චන්ද්‍රාට පින්තූරය සිහියට ආවේ.   


චන්ද්‍රා සිතා සිටියේ රංජිත්ගේ පින්තූරය කොහේ හෝ ඇති කියාය. එයට සිදු වූ ඇත්ත සිද්ධිය චන්ද්‍රා දැන නොසිටියාය. රංජිත් පින්තූරය ඉල්ලූ නිසා ඇය එය හැම තැනම සොයා බැලුවාය. එහෙත් එය සම්බ නොවුණි. මේ නිසා රංජිත් හා චන්ද්‍රා අමනාප විය.   


මේ අතර රංජිත් දොස්තර සොයා ඔහුගේ නිවසට ගියේය. ගමනක් ගොස් සිටි දොස්තර වෙනුවට රංජිත්ට හමු වූයේ ඔහුගේ බිරිඳ කාන්තිය. චන්ද්‍රා හා දොස්තරගේ සිද්ධිය කාන්ති රංජිත්ට විස්තර කළ පසු රංජිත් චන්ද්‍රා ගැන තිබූ සැකය වඩාත් තහවුරු විය.   


ඉන්පසු රංජිත් චන්ද්‍රා සොයා ගියේය. චන්ද්‍රාට මේ සියල්ල ප්‍රහේලිකාවකි. ඇය රංජිත් ගැන සිතමින් කාලය ගත කළාය. රංජිත් තමාව මෙසේ සැක කරන්නේ ඇයි? මේ සියල්ලටම මුල හිටි හැටියේ රංජිත්ගේ ඡායාරූපය අතුරුදන් වීමය. මේ අවුලට මුල කාන්ති අතට රංජිත්ගේ ඡායාරූප පත්වීමය. චන්ද්‍රා බැරිම තැන දොස්තර හමුවීමට ගියාය. මේ අතර රංජිත් චන්ද්‍රා සොයා එන විට දැනගන්නට ලැබුණේ ඇය දොස්තර ගෙදරට ගිය බවය. චන්ද්‍රා අවේලාවේ තම නිවසට පැමිණි බව දැනගත් දොස්තර කලබලයට පත්වෙයි. මහා විනාශයක පෙර මග ලකුණු දුටු දොස්තර චන්ද්‍රාව අල්මාරියක දමා වැසීය. මේ අතර රංජිත් ද දොස්තර සොයා පැමිණියේය. රංජිත්ගේ පැමිණීමෙන් ගේ තුළ සිට පැමිණි කාන්ති කලබලයට පත් විය. සැමියා පැමිණියොත් තමා අවිශ්වාසයට පත්වෙන බව කාන්ති දැන ගත්තාය. ඇය කළේ රංජිත්ව කාමරයක දමා වැසීම ය.   


අල්මාරිය තුළ සිර වී සිටීමෙන් අපහසුවට පත් චන්ද්‍රා එහි තුළ දඟලන්නට පටන් ගත්තාය. රංජිත් ද කාමරය කඩා එළියට පැන්නේය. සියලු දෙනාම එක් වූහ. ඔවුන්ගේ කතා බහෙන් සියලු සත්‍යය අනාවරණය වෙයි. මේ සියලු දෙයම සිදු වූයේ අවිශ්වාසය සැකය නිසා බව හෙළි වෙයි.   


දොස්තර පණ්ඩිතරත්න ලෙස එඩී ජයමාන්නත්, චන්ද්‍රා ලෙස රුක්මණී දේවි ද රංජිත් ලෙස හර්බට් එම්. සෙනවිනරන්න ද කාන්ති ලෙස කාන්ති ගුණතුංග ද ප්‍රධාන චරිත රඟ පෑ දොස්තර චිත්‍රපටයේ බණ්ඩා ලෙස හියුගෝ ප්‍රනාන්දු, මැණිකා ලෙස උදුලා දාබරේ, මාක් සමරනායක, ශාන්ත රසාදරී, විනෝදා රසාංජලී, ශාන්ති ලේඛා රඟපෑහ. චිත්‍රපටයේ දෙබස් කේ හියුගෝ ප්‍රනාන්දුගෙනි. කතාව කියා නාමාවලියේ සඳහන් වෙන්නේ සිනමාස් සමාගමේ කතා දෙපාර්තමේන්තුව කියාය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ වූ කේ. ශංකර් මලයාලි ජාතිකයෙකි. ඔහු භාෂා 06 කින් චිත්‍රපටය ද මලයාලි චිත්‍රපට 100 ක් ද අධ්‍යක්ෂණය කළ බව පැවසේ. දෙමළ, හින්දි, තෙළිගු චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය දොස්තර ය. ගාමිණි ​ෆොන්සේකා රඟ පෑ නීලකඩලින් ඔරන්තිලෙයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඔහුය.   


පාරා ශක්ති, දෛව සරවි යන ද්‍රවිඩ චිත්‍රපට හා ලඩ්කි හින්දි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ ආර්. සුන්දරම් දොස්තර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයාය. මෙහි සියලුම ගීත ජනප්‍රිය වූ බව කියන මහාචාර්ය සුනිල් ආරියරත්න (සිංහල චිත්‍රපට ගීතාවලිය 1947 - 1956) චිත්‍රපටයේ තනු සියල්ල හින්දි හා දෙමළ චිත්‍රපටවලින් උපුටා ගත් ඒවා බව කියයි.   


(උදා: හෝ පෙම් රාජයා - ‘බහාර්’ චිත්‍රපටයෙන්, වාසනාවන්ත කල ලබා - අලි බබා චිත්‍රපටයෙන්) හර්බට් එම්. සෙනෙවිරත්න ආනන්ද සමරකෝන්, හියු​​​ගෝ ප්‍රනාන්දු මෙහි ගීත රචනා කර ඇත.   


අවිශ්වාසය චිත්‍රපටයට තේමා වන නිසා ධර්මදාස වල්පොල ගයන මේ ගීතය චිත්‍රපටයට ඇතුළත් කොට ඇත.   


‘‘අවිශ්වාසයක් සිත් හි මවා ගෙන   
විකල්ව මේ මිනිසා   
බලත්ව යන හැටි මේ විලසා’’   


රංජිත් (හර්බට් එම්. සෙනෙවිරත්න) තරහෙන් ඉන්න අවස්ථාවක චන්ද්‍රා (රුක්මණී දේවි) ගයන මේ ගීතයද එදා අතිශයින්ම ජනප්‍රිය වී ඇත. ගායනය රුක්මණී දේවියගේය.   


‘‘බලාපල්ලා මේ මූණේ හැටී   
උදෙන්ම දැක ගන්ට කීයක් වටී’’   


රංජිත්ගෙන් වෙන් වී චන්ද්‍රා ගැයූ මේ ගීතය ගයන්නේ ද රුක්මණී දේවිය.   


‘‘ජීවිතේ මා පාළු වී යයි   
අන්ධකාරේ පාවෙවී අහෝ පාවෙමි   
ප්‍රේම පාලා ගිය දමලා   
මේ අහිංසක ආදරී ඔබේ ආදරී   


මේ හැර රුක්මණී ගැයූ ආදරේ පුරා මහදේ - මතු වේවි උල්පත සේ, පෙම් සාගරේ ගිලී නාමු ප්‍රේමෙපා ගීත දෙකත් ඒ.එම්. රාජා ගැයූ ගෙයක් ගානේ වැඩපළ කර ඉඳලා කාටද පලක් වු​ණේ පී. සුසිලා ගැයූ තායම් මායම් හොර හිත හින්දා - පිරිමින් ලෝකෙට ගෙන දෙයි නින්දා, ලතා වල්පොල ගයන දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ ගීත ද එකල කොලොම්බියා තැටි අලෙවි වීමට සාධකයක් වී ඇත.   


රුක්මණී දේවි තමා ‘‘දොස්තර’’ චිත්‍රපටයේ සමහර විට දිගටම පැය 10, 12, ඒ.එම්.වී. චිත්‍රගාරයේ සිටීමට සිදු වූ දවස් ගැන ඇය ලියූ මගේ ජීවිත විත්ති පොතේ සඳහන් කරන්නීය.   


‘‘දොස්තර චිත්‍රපටයේ රඟපාන විට දිනක් පාන්දර 4 ට චිත්‍රාගාරයට ගිය මට ආපසු එන්නට ලැබුණේ පසුව දා පාන්දර හතරටය. ​දොස්තර චිත්‍රපටියේ රඟපාන අතරම තවත් අවස්ථාවක එක දිගටම පැය 27 ම වැඩ කිරීමට සිදු විය. ‘‘ලංකාදීප’’ පත්‍රය මගින් පවත්වන ලද පංච කල්‍යාණි තරගයේ විනිශ්චයකාර මණ්ඩලයට පත්වීමේ ගෞරවය මට ද එම පත්‍රය මගින් පිරිනමන ලදී. සැප්තැම්බර 16 වැනිදා තරගය සඳහා ඊට ප්‍රථම දා මට ලංකාවට එන්නට තිබුණා. ඒ දිනවල වැඩ කළේ මගේ නැටුම් ජවනිකාවක් චිත්‍රපටි ගත කිරීමටය.   


‘‘දොස්තර’’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ලංකාවේ රූප ගත කෙරිණි. එහි එළිමහන් දර්ශනයක් රුක්මණී හා හර්බට් එම්. සෙනෙවිරත්න පෙම් ගීතයක් ගයමින් මෝටර් රථයකින් යමින් නුවර වීදියේ යන දර්ශනයක අත්දැකීමක්ද රුක්මණී විස්තර කර ඇත.   


ගීතය ගේය පද රචනය මෙසේය.   
‘‘වාසනාවන්ත කල ලබා   
ජීවිතේ ආදරෙන් පිරී ගියා   
දුක් නිවාලා - ශාන්ති පාලා   
හර්දයේ ආදරෙන් විනෝද වී ගියා   


 රුක්මණී හා හර්බට් මේ ගීතය ගයමින් යන අතර වූ අවදානම් අත්දැකීමට මුහුණ දෙන විට ගැයීමට තිබී ඇත්තේ ගියේ මේ කොටසය.   


වංගු බෝ වැඩියි දැන් ඉතින් මේ මාර්ගයේ හර්බට් ගයයි.   


හොඳ ප්‍රවේශමෙන් යන්නකෝ සුදා මගේ ඒ රුක්මණිගේ කොටසය.   


‘‘දොස්තර චිත්‍රපටයේ එළිමහන් දර්ශනය සඳහා නුවරඑළි ගිය අවස්ථාවේදී ඊටත් වඩා අවදානම් දෙයක් සිදු විය. මෙහි ප්‍රධාන නළුවා වූ හර්බට් එම්. සෙනෙවිරත්නත් මමත් මෝටර් රථයක නැගී යන ජවනිකාවක් තිබේ. නුවර එළියේ වංගු සහිත පාරක අපට ගමන් කරන්නට තිබේ. මෙහිදී රථය පදවන්නේ හර්බට් ය.   


අධ්‍යක්ෂක හා කැමරා ශිල්පීන් පහළ සිටිය දී අපි පල්ලමේ රථයෙන් පැමිණියෙමු. වංගුවක දී හදිසියේ පාරේ ගමන් කළ තවත් රථයක් මුණ ගැසුණේය. අපේ රථයවත් අනිත් රථයවත් නළාව ශබ්ද කළේ නැත. අපේ වම් අත පැත්තේ මහ හෙළකි. හදිසියේ ඉදිරිපසින් පැමිණි රියෙන් බේරෙන්නට හර්බට් අපේ රථය අයිනට කළේය. පල්ලමේ වේගයෙන් පැමිණි රථය එසේ අයිනට කරද්දී සැතපුම් ගණනක් පහළ ඈතට විහිද ගිය මහ හෙළට නොවැටී ​බේරුණේ පෙර පිනකිනි. මේ සිද්ධිය මතක් වෙන විට තවමත් මගේ ඇඟ හිරිවැටෙයි.   


රුක්මණීට හා හර්බට්ට මේ චිත්‍රපටයේ එළිමහන් දර්ශන වගයක් සඳහා දෙහිවල සත්වෝද්‍යානයට යාමට සිදුව ඇත. එහි කටුක අත්දැකීම රුක්මණී තම ජීවිත කතාවේ විස්තර කොට ඇත්තේ මෙසේය.   


‘‘එදා මම පැය හතරක් පමණ දිගටම අව්වේ සිටියෙමි. දවල් 2.30 පමණ වනතුරු දවල් ආහාරය ගන්නට නොලැබුණි. දෙකට පමණ එක තැනක දී කව්දෝ මා පිටු පසින් සිට ‘‘මේ බලන්නයයි කියනු ඇසුනෙන් මම හැරී බැලුවෙමි. සත්වෝද්‍යානයේ පාලක මේජර් ඕබ්රි වයිමන් මහතාගේ පුත්‍රයා නයකු අතින් අල්ලා මා ළඟම සිටිනු මම දුටුවෙමි. ඒ දෙහිවල බවත් ඌ හිලෑ කළ නයකු බවත් මට අමතක විය. ඒ භයානක සතා මගේ නෙතට ලක් වූයේ කෙතරම් හදිසියෙන් හා කිට්ටුවෙන්ද යත් මට ඉ​බේටම කෑ ගැසුණි. මා තුළ විශාල බියක් මෙන් තැති ගැන්වීමක්ද ඇති විය. මඳ වේලාවකදී ගතට වෙහෙසක් සමග ඉවසිය නොහැකි හිසරදයක් දැනුණි.   


‘‘දොස්තර’’ චිත්‍රපටයේ මංගල දර්ශනය 1956 වැල්ලවත්තේ සැෆයාර් නෘත්‍ය ශාලාවේ පැවැත්වීම නිසා එදා එම නෘත්‍ය ශාලාව උත්සවශ්‍රීයෙන් වෙලී ගිය හැටි 1956 පෙබරවාරි 05 වෙනි ඉරිදා ‘‘කලා’’ සිනමා පුවත්පතේ මුල් පිටුවෙන් අනාවරණය වෙයි. එහි ශීර්ෂ්‍ය වූයේ මංගල සිරිගත් මහා චිත්‍රපටියේ මංගල දර්ශනය ය. එහි මෙසේ ද සඳහන් වී ඇත්තේය.   


සවස පහ වෙන්නටත් පෙර අගමැතිතුමා (සර් ජෝන් කොතලාවල) හා දොස්තර නළු නිළියන් දැක ගැනීමේ ආශාවේ වෙළී ගිය මහා ජනයාගෙන් තාප්පය අවට මහ මාර්ගය පිරීයාම නිසා රථවාහන හසුරුවන්නට විශේෂ පොලිස් භටයන්ට සිදුවිය. සවස 6 ට අගමැති තුමා හා නළු නිළියන් පැමිණෙත්ම මහා ජනයා ප්‍රීති ඝෝෂා පැවැත් වූහ. සැමට ආයුබෝවන් කියා අගමැති තුමා අසුන් ගත් ඉක්බිති ලක්දිව මෙතෙක් පෙන්වන කලාත්මක සිංහල චිත්‍රපටය තිරයේ දුවන්න පටන් ගත්තේය. රජයේ වැදගත් කටයුත්තක් සඳහා 6.15 ට පිටත්ව ගිය අගමැති තුමාට චිත්‍රපටයේ නළු නිළියන් හා අධ්‍යක්ෂ ෂන්කර් මහතා හඳුන්වා දෙන ලදී. අගමැති තුමා නිෂ්පාදක ගුණරත්නම්ට ප්‍රශංසා කරනු පුවත්පත් නි​යෝජිතයෝ සිනා මුසුව බලා සිටින ඡායාරූපයක් ද මේ පුවත්පත් වල පළ වී තිබුණි. එය මෙහි පළ වී ඇත. එහි සිටින පුවත්පත් නියෝජිතයෝ එල්මෝ ගුණරත්න (ජනතා) කරුණාසේන ජයලත් (ලංකාදීප) හා ජයවිලාල් විලේගොඩ (දිනමිණ) වෙති.   


ලංකාදීප පත්‍රයේ ඩී.වී. සෙනෙවිරත්න ලියා තිබුණේ අධ්‍යක්ෂ ශංකර් (දෙමළ චිත්‍රපටයේ අධ්‍යක්ෂ) දොස්තර චිත්‍රපටයෙන් දස්කම් දක්වන බවය. සිංහල නොදන්නා ඔහුට චිත්‍රපටයෙහි කරන්නට ඇත්තේ ඉන්දියානු චිත්‍රපටයක කරන දේවල් බව පවසා ඇත. කරුණාසේන ජයලත් (1956 පෙබරවාරි 06) ලංකාදීපයට ලියා තිබුණේ දොස්තර මුල් කෘතියට වඩා වෙනස් කර ඇතත් එහි කතාව රසවත් බවය. අපේ නළු නිළියන් හැම දෙනාම ගැන බලන විට රඟපෑම් අතින් මෙතරම් හොඳ චිත්‍රපටියක් කලකින් නොදුටු තරම් බවය. ජයවිලාල් මිලේගොඩ දිනමිණ විචාරයේ මෙසේ සඳහන් කර තිබුණි. 

 
‘අපේ චිත්‍රපටවලට නැතිව බැරිව තිබූ ආයා, අප්පු, විහිළු නයා, ගී ගයන හිඟන්නා, පිස්තෝලය හා දෙපැත්තට වී දුක් ගී ගයන කෙල්ලයි, කොල්ලයි නැති, තමන්ගේ කලින් නිෂ්පාදනවල දක්නට ලැබෙන තරම්ම දෙමළ මුහුණවර හා අඩනිරුවත් රැඟුම් වලින් තොර වූ සිංහල චිත්‍රපටයක් මෙවර සිනමාස් සමාගම නිපදවා ඇත.   

 

භගවාන් හා එඩී ජයමාන්න   

 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්