IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බාබුර්ගේ පුත් හුමායුන් රාජ්‍යත්වයට

ඉන්දියාව අත්පත් කරගත් මූගල් මෙහෙයුම 3

 

බාබුර් ඉන්දියාවේ ජීවත් වූ කෙටි කාලය පුරාම යුද වැදී සිටි හෙයින් ඔහුගේ පාලන කටයුතු එතරම් සාර්ථක නොවීය. මූගල් ආධිපත්‍යයට විරෝධය දැක්වූ පිරිස් ඒ වන විට පරාජයට පත්ව සිටියහ. මුගල් අධිරාජ්‍යයේ අගනුවර විය යුත්තේ කාබුල්ද අග්‍රාවද යන්න පිළිබඳ අවිනිශ්චිත භාවයක් බාබුර්ට තිබිණි. ඉන්දියාවේ සිටි හෙයින් ඔහු අග්‍රාව තම අගනුවර වශයෙන් තෝරා ගත්තේය.

බාබුර්ගේ මරණින් පසු මූගල් අධිරාජ්‍යය භාර වූයේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වූ හුමායුන්ටය. ක්‍රි. ව. 1508දී උපත ලද හුමායුන් රාජ්‍යත්වයට පත් වූයේ 1530 දෙසැම්බර් 23දාය.  හුමායුන් යන්නෙහි අරුත භාග්‍යවන්තයා යන්නයි. ඔහුට කම්රාන්, අස්කරි හා හින්දාල් නමින් සහෝදරයන් තිදෙනෙක් වූහ. ඔවුන්ගෙන් කම්රාන් කාබුල් හා කන්දහාරයේ පාලකයා වූ අතර මෙවාට්හි පාලනය අස්කරි වෙතද, සම්හාල්හි පාලනය හින්දාල් වෙතද පැවරී තිබිණි. එහෙත් මෙම සොහොයුරන් අතර එතරම් සමීප සබඳතාවක් නොවීය.


බාල වියේ සිටම තම පියා ඇසුරේ වැඩුණු හුමායුන්ට යුද ශිල්පය පිළිබඳ මනා අවබෝධයක් තිබිණි. පානිපත් හා කාන්ව සටන්වලදී තම පියාට විශාල සහයක් දුන් ඔහුට රාජ්‍යත්වයට පත් වීමෙන් පසු බොහෝ දුෂ්කරතාවනට මුහුණ පෑමට සිදු විය. විශේෂයෙන් බලපෑවේ ඇෆ්ඝන්වරුන්ගේ විරෝධතාවන්ය. හුමායුන්ගේ සේනාව තුර්කි, මූගල්, පාර්සි, ඇෆ්ඝන් හා ඉන්දියානු වැනි විවිධ ජාතීන්ගෙන් සමන්විත විය. 


1531 දී හුමායුන් කාලින්ජරයේ රාජ්පුත්වරුනට එරෙහි සටන ඇරඹීය. එහිදී සුල්තාන් මහමුද් ලෝදි ජෞන්පූර් ප්‍රදේශය ආක්‍රමණය කර ඇතැයි දැනගත් ඔහු ඔවුන් පලවා හැරීම පිණිස එහි ගියේය. දෞරාහි ඇති වූ සටනින් මහමුද් ලෝදි හා ඔහුට සහය දුන් ඇෆ්ඝන්වරුන් පරාජය කිරීමට හුමායුන් සමත් විය.


ඉන්පසු ඔහුට මුහුණ දීමට වූයේ ගුජරාටයේ බහාදූර් ෂාටය. බිහාරයෙන් පහ කරන ලද මිර්සා හා හුමායුන්ට සතුරු ව සිටි මූගල් කුමාරවරුන් කිහිප දෙනෙක් බහාදූර් ෂා සමඟ එක්ව සිටියහ. ෂා රාජ්පුත් වෙත අත පොවන්නට විය. ඔහු මේවාරයේ අගනුවර වූ චිතෝරය වටලන ලද අවස්ථාවේ මේවාරයේ පාලකයා හුමායුන්ගේ ආධාර පැතීය. එහෙත් හුමායුන්ගේ ආධාර ඔහුට නොලැබිණි. චිතෝරය ජය ගත් බහාදූර් ෂා මැන්ඩසෝර් බළකොටුවේ සිට හුමායුන් හා සටනට පැමිණියේය. ඔහුට ඉතා දක්ෂ කාලතුවක්කු හමුදාවක් විය. එහෙත් හුමායුන්ගේ භට පිරිස් ඉතා සාර්ථක ලෙස එම බළකොටුව වටලන ලදි. ඔහුට ආධාර ලබාගත හැකි සියලු මාවත් අවුරනු ලැබිණි. 
බහදූර් ෂා දියු දුපතට පලා ගිය අතර ඔහු සතු සියලු ධනය හුමායුන් සතු විය. 1535 වන විට මාල්වා හා ගුජරාටය යන රාජ්‍ය දෙකෙහිම බලය මූගල්වරුන් සතු විය. අහමදාබාදය අත්පත් කරගත් හුමායුන් එහි පාලනය තම සොහොයුරු අස්කරි වෙත පවරා යළි අග්‍රාව බලා පැමිණියේය. බහදූර් ෂා තම රාජ්‍යය යළි අත්පත් කර ගැනීම සඳහා පෘතුගීසීන්ගේ සහය පැතීය. ඔවුන්ගේ සහයෙන් යළි ගුජරාටයේ බලය අත්පත් කර ගැනීමට ඔහු සමත් වුවද පෘතුගීසින් සමඟ ඇති වූ අරගලයකදී බහාදූර් ෂා ඔවුන් වෙතින් මරණයට පත් විය. බිහාරයේ සහ බෙංගාලයේ සටන් වැදී සිටි හෙයින් හුමායුන් හට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන යළි ගුජරාටය අත්පත් කර ගැනීමේ අවස්ථාව වැළකී ගියේය.


දකුණු බිහාරයේ පාලකයා වූයේ ඇෆ්ඝන් නායකයකු වූ ෂෙර් ඛාන් සූරි ය (ඔහුගේ මුල් නම ෆරිඩ් ඛාන්ය).  මහා රාජ්‍යයකට හිමිකම් නොකියුවද ඔහු ඉතා බුද්ධිමත් ලෙස කටයුතු කළේය. ඔහුගේ අරමුණ වූයේ තමනට තර්ජනයක් වන මූගල් පාලනය අතුගා දැමීමය. ඔහුට මූගල්වරුන්ට අමතරව වෙනත් ඇෆ්ඝන් නායකයන් සමඟද, රාජ්පුත්වරුන් සමඟද සටන් කිරීමට සිදු විය.


බිහාරයේ ලෝහානිවරුන් 1533දී බෙංගාලයේ සුල්තාන්වරයා වූ මහමුද් ෂා සමඟ ෂෙර් ඛාන් පරාජය කිරීමේ අරමුණ ඇතිව මිත්‍ර ගිවිසුම් සන්ධානයකට එළැඹුණාහ. 1534දී සූරජ්හි මේ දෙපිරිස සටන් වැදුණු අතර ඉන් මහමුද් ෂා සහ ඔහුගේ මිත්‍ර සන්ධානය පරාජය කිරීමට ෂෙර් ඛාන් සූරි සමත් විය. ඔහු තවත් ප්‍රදේශ රැසක් අත්පත් කර ගනිමින් බිහාරය ඉතා පුළුල් රාජ්‍යයක් බවට පත් කළේය. 


ෂෙර් ඛාන් මූගල් පාලනයට විශාල තර්ජනයක් විය. ඔහු සතුව 25,000ක අස් හමුදාවක්ද, 5000ක ඇත් හමුදාවක් හා 150,000ක පාබළ හමුදාවක් තිබිණි. ඔහුගේ බලය මැඬලීමට කාලය පැමිණ ඇතැයි හුමායුන්ට වැටහිණි. 1537 දෙසැම්බර් මස ඔහු අග්‍රාවෙන් නික්ම ගියේ චූනාර් බළකොටුව වටලෑම පිණිසය. ඉක්බිතිව චූනාර් අත්පත් කරගත් හුමායුන්, ෂෙර් හා සටන් කිරීම සඳහා බෙංගාලය බලා පිටත් විය. මේ අතර ෂෙර් බෙංගාලයෙන් පිටත්ව බීර්හම් හා ජර්කන්ඞ් ඔස්සේ වෙනත් මගකින් රෝතාස් දුර්ගය වෙත ළඟාවෙමින් සිටියේය. මේ කාලයේ හුමායුන්  මාස නවයක් පුරා විනෝද වෙමින් පසු විය. ඔහුගේ මෙම දුර්වල හැසිරීම හේතුවෙන් ෂෙර්හට බරණැස අත්පත් කර ගැනීමට හැකි විය.  කාරා, කනෞජ් හා සම්හල්ද ඔහු යටතට පත් විය. හුමායුන්ට තමා පත්ව සිටි තත්ත්වය අවබෝධ වූයේ එවිටය.


ඔහු තමාට උපකාර කරන ලෙසත්, සේනා සපයන ලෙසත් ඉල්ලා තම සොහොයුරු හින්දාල්ට පණිවිඩ යැවීය. එහෙත් ෂෙර්ගේ හමුදා මග රැකවල් ලා සිටි හෙයින් තම සොහොයුරාට උපකාර කිරීමට ඔහුට නොහැකි විය.
මෙම තත්ත්වය මත ෂෙර් සමඟ සටන් කිරීම අත්හැර දැමූ හුමායුන් බෙංගාලයෙන් පසු බැස්සේය. ඔහු චෞසාවේ රැඳී සිටියේය. පසුබසින හුමායුන් හඹා ආ ෂෙර් චෞසාවේ කඳවුරු ලා ගත්තේය. පිරිස දෙපසට වී කඳවුරු ලා තුන් මසක් පමණ බලා සිටියහ. අවසානයේ සටන ආරම්භ විය. වැසි කාලය ආරම්භ වූ හෙයින් හුමායන්ට උදා වූයේ අසීරු කාලයකි. ඔහුගේ සොහොයුරන් වූ හින්දාල්, අස්කරී සහ කාම්රාන්ගෙන් කිසිදු සහයක් ලැබුණේ නැත. චෞසාවේ සටනින්  හුමායුන් පරාජයට පත් වූ අතර ඔහු සතු සියලු ධනය සහ ඔහුගේ බිරියද ඇෆ්ඝන්වරුන් අතට පත් විය. මූගල් සේනාව දරුණු පරාජයකට මුහුණ දුන් අතර අග්‍රාවට පලා ගිය හුමායුන් ෂෙර් සමඟ යළි සටනට යාම සඳහා සේනා සම්පාදනය කළේය.


චෞසා සටනින් වසරකට පමණ පසු 1540දී නැවතත් හුමායුන් ෂෙර් සමඟ සටනට පිවිසියේය. එවරද ඔහු දරුණු පරාජයකට ලක් වූ අතර යළි අග්‍රාවට පලා යෑමට ඔහුට සිදු විය. ඔහු පසුපස හඹා ආ ෂෙර්ගේ හමුදා ලාහෝරයට පිවිස එයට අති විශාල හානියක් සිදු කළේය. 

 

 

හුමායුන් පලා යෑමෙන් පසු සමස්ත උතුරු ඉන්දියාවේම පාලනය ෂෙර් ඛාන් සතු විය. ඔහුගේ හිත දිනාගැනීම සඳහා හුමායුන්ගේ සොහොයුරු කම්රාන් පන්ජාබය ඔහුට පවරා දුන්නේය. ෂෙර් පන්ජාබයේ රොතාස් දුර්ගයේ බළකොටුවක් තනා මූගල්වරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා 50,000ක භට පිරිසක් එහි නතර කළේය. ඉන්පසු  සින්ද් හා මුල්තාන් යටත් කරගෙන එහි තම ආධිපත්‍යය පිහිටුවීය. ඔහු බෙංගාලය කුඩා ප්‍රදේශ දහනවයකට බෙදා පාලනය කිරීමට පියවර ගත්තේය. පසුව මධ්‍යම ඉන්දියාවේ ග්වලියෝර්  යටත් කර ගත් ඔහු මාල්වාද යටත් කර ගත්තේය.


පලා ගිය හුමායුන් ඉතා අසරණ තත්ත්වයකට මුහුණ පෑවේය. ඔහුට හමීදා බානු බේගම් නමැති කුමරියක හමු වූයේ එම අඳුරු යුගයේදීය. ඔවුන් දෙදෙනා විවාහ වූ අතර ඔවුනට අක්බාර් නමින් පුත්‍රයකු ලැබිණි. අක්බාර්ගේ උපත සිදු වූයේ ක්‍රි. ව. 1542දීය. කෙටි කලක් අමර්කෝට්හි රැඳී සිටි හුමායුන් පර්සියාව බලා ගියේ  ෂා තහමස්ප් නමැති පර්සියානු පාලකයාගේ සහය ලබා ගැනීමේ අරමුණ ඇතිවය. හුමායුන්ට යළි රාජ්‍ය අත්පත් ගැනීමට සහය දීමට කැමැත්ත පළ කළ ෂා තහමස්ප් එයට හිලව්වක් ලෙස කන්දහාරය ඔහුට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ සහය ඇතිව කන්දහාරයට ප්‍රහාරයක් එල්ල කළ හුමායුන් අස්කරී පලවා හැර කන්දහාරය ෂා තහමස්ප්ට පැවරීය. එහෙත් ෂාගේ මරණය සිදු වූ හෙයින් කන්දහාරය යළි හුමායුන්ට අයත් විය. ඊළඟ වර්ෂයේ ඔහු කාබුල් ආක්‍රමණය කොට කම්රාන් පලවා හැර එය අත්පත් කර ගත්තේය. 


1545 මැයි මාසයේදී බුන්දෙල්බාද්හි කලෙන්ජාර් බළකොටුවට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ෂෙර් ෂා මරණයට පත් විය. ඔහුගෙන් පසු  රාජ්‍යත්වයට පත් වූයේ ඔහුගේ පුත් ජලාල් ඛාන්ය. ඔහු රජ වූයේ ඉස්ලාම් ෂා නමිනි. කෙළිලොල් තරුණයකු වූ ඔහුට රාජ්‍ය පාලනය පිළිබඳ එතරම් උනන්දුවක් නොවීය. ඔහු ඉතා කෙටි කලෙකින්ම මරණයට පත් වූ අතර ඔහුගේ පුත් 12 හැවිරිදි ෆෙරෝස් බලයට පත් විය. 


ෂෙර්ගේ  සොහොයුරු මුඛාරිස් ඛාන් කුඩා දරුවා මරා දමා මහමුද් අදිල් ෂා නමින් රජ විය. ෂෙර්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයෝ ඔහුට එරෙහිව කැරැලි ගසන්නට වූහ. ඉබ්‍රාහිම් ඛාන් අදිල් ෂා එළවා දමා දිල්ලියේ සිහසුන අත්පත් කර ගත්තේය.  අදිල්ගේ මස්සිනා වුද, පන්ජාබයේ පාලකයා වූද සිකන්දර් ෂා ඉබ්‍රාහිම් ෂා පරාජය කොට රාජ්‍යය උදුරා ගත්තේය.


1554 පේෂාවර් දක්වා පැමිණි හුමායුන් ලාහෝරය හා දිපාල්පූර් අල්ලා ගැනීමට සමත් විය. ඇෆ්ඝන්වරුන් හා සටන් කරමින් දිල්ලියට පැමිණි ඔහු එහි සිට පාලනය ආරම්භ කළේය. එහෙත් ඔහුට වැඩි කලක් එහි සිටින්නට හැකි වූයේ නැත. 1556 ජනවාරි මාසයේ හදිසි අනතුරකින් හුමායුන් මරණයට පත් විය. මූගල් රාජ වංශයේ ආරම්භකයා මෙන්ම ඔහුගේ පුත්‍රයාද මරණයට පත් වූයේ ඉතා අඩු වයසකදීය. බාබුර් මිය යන විට 48 හැවිරිදි වූ අතර හුමායුන් මිය ගියේ අවුරුදු 49දීය.

 

 

 


මතු සම්බන්ධයි

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 



අදහස් (0)

බාබුර්ගේ පුත් හුමායුන් රාජ්‍යත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 167 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2058 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site