ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ ඉපැරණි පුදුම 7

 

ලෝක පුදුම යනුවෙන් හැඳින්වෙන්නේ, මිනිසා විසින් නිර්මාණය කළ සිත් අදහා ගත නොහැකි, ඉතා අපූරු ඉදිකිරීම් සහ නිර්මාණය. ගොඩනැගිලි, ප්‍රතිමා, ස්මාරක ආදිය පුදුම අතරට ඇතුළත්ය. ලෝකයේ ඉපැරැණි පුදුම 7 සහ නූතන පුදුම 7 යනුවෙන් ලැයිස්තු දෙකකි. ඉපැරැණි පුදුම 7 නම් කරනු ලැබ ඇත්තේ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් (උපත ලබා ඇත්තේ ක්‍රි.පූ. 485 දීය.) විසිනි. ඊජිප්තුවේ මහා පිරමීඩ, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය, සූස් දෙවිදුගේ ප්‍රතිමාව, ආටිමීස් දෙවොල, හැලිකානාසස් සමාධිය, ඇලෙස්කැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය සහ රෝඞ්ස් යෝධ ප්‍රතිමාව පැරැණි පුදුම 7 ට අයත් වෙයි. මේවායින් අදටත් නොනැසී පවතින්නේ ඊජිප්තුවේ පිරමීඩ පමණි. නූතන පුදුම 7 නම් කිරීම සිදුවූයේ 2007 වසරේ දී ය. ඒ, ‘ද නිව් සෙවන් වොන්ඩර්ස් ෆවුන්ඬේෂන්’ (නව පුදුම 7 පදනම) නමැති ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකර කොටගත් ආයතනය මගිනි. නූතන යුගයේ ලොවපුරා දකින්න ලැබෙන සුවිශේෂී ඉදිකිරීම්, ස්මාරක, ප්‍රතිමා ආදී 200 ක් (සීගිරිය පවා මීට ඇතුළත් වුවත් නව පුදුම හතට එය ඇතුළත් නොවිණි.) අතරින්, හතක් තෝරා ගෙන ඒවා නවීන ලෝකයේ පුදුම හත එසේත් නැතිනම් ‘නව පුදුම හත’ යනුවෙන් නම් කිරීම සිදුවිය. එය සිදුවූයේ අන්තර් ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ, 2001 වසරේ සිට 2007 වසර තෙක් සිදු කළ ජනමත විමසුමකිනි. ලොව සෑම කෙනෙක්ම පාහේ මෙම ජනමත විමසුමට එක් වූහ. අන්තර්ජාලය ඔස්සේ එක් අයකුට එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුන අතර, දුරකතන ඔස්සේ කෙනකුට කැමති ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දී තිබුණි. ලොව පුරා මිලියන 100 ක පිරිසක් මීට දායක වූහ. ඒ අනුව, තෝරා ගත් ‘පුදුම 7’ 2007 වසරේ ජූලි මස හත් වැනිදා (2007/07/07) පෘතුගාලයේ ලිස්බන් නුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.


ලෝකයේ පුදුම හත ලෙස සැලකෙන, මිනිසා විසින් ඉදිකරනු ලැබූ ඉදිකිරීම්, ස්මාරක හඳුනා ගැනීම සිදුවී ඇත්තේ පුරාණ දේශගවේශකයන් අතර භාවිතා වූ උපදේශන පොත් සහ ලේඛන කිහිපයකිනි. ‘ඉපැරැණි පුදුම 7’ ට අයත් ඉදිකිරීම් සියල්ල මධ්‍යධරණී මුහුදු අවට රටවල දකින්න ලැබේ. 

 


ඉතිහාසඥ හෙරඩෝටස් ඉපැරැණි පුදුම හත ලැයිස්තු ගත කළේ ඇලෙක්සැන්ඩ්‍රියා කෞතුකාගාරයේදීය. ඔහුට එම කටයුත්තේදී සහාය වුණැයි පැවැසෙන්නේ ඔහුගේ ශිෂ්‍යයෙකි. ඔහු සියරන් හි කැලිමැකස් යනුවෙන් පැවැසෙයි. පසුව මෙම පුදුම හත ගැන තැබූ තවත් සටහනක් ලෙස සැලකිය හැක්කේ, එම පුදුම හත වර්ණනා කරමින් ඒ ගැන ලියැවුණු කවිය. මෙම කවි ලියනු ලැබ ඇත්තේ සීඞ්න් හි ඇන්ටිපේටර් විසිනි. ඒ, ක්‍රි.පූ. 140 වසරේදීය.


‘ආටිමිස්’ දෙවොල යනු ‘ආටිමිස්’ දෙවඟන වෙනුවෙන් ඇයගේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණින්, ඇය වන්දනාමාන කළ බැතිමතුන් තැනූ දේවාලයකි. ‘ආටිමිස්’ යනුවෙන් හැඳින්වෙන්නේ දඩයමට අධිපති, චන්ද්‍රයා සංකේතවත් කරන දෙවඟනය. මැයට නිවුන් සොයුරකු සිටී. ඒ හිරු සංකේතවත් කරන ඇපලෝ දෙවියාය. ‘ආටිමිස්’ වෙනුවෙන් ආටිමිස් දෙවොල ඉදිකළෝ ග්‍රීක වැසියෝය. පසුව පර්සියානුවන් ද දෙවොල නඩත්තු කළේ යැයි පැවැසෙයි. 


ආටිමිස් ග්‍රීක දෙවඟනකි. ග්‍රීක දේව පුරාණයට අනුව, ආටිමිස් සූස් මහ දෙවියන්ගේ දියණියකි. ආටිමිස්ගේ මව ලෙටෝය. ‘සින්තියා’ යනුවෙන් ද ආටිමිස් දෙවඟන හැඳින්වෙයි. ග්‍රීක මිත්‍යා කතා අනුව ඇමසන් නමින් හැඳින්වෙන රණශූර කාන්තාවන්ට නායකත්වය දුන්නේ ආටිමිස්ය. ආටිමිස් රෝමන්වරුන් විසින් හඳුන්වනු ලබන්නේ ‘ඩයනා’ යනුවෙනි. එහෙයින් ග්‍රීකයන් පමණක් නොව, ඉන්පසු රෝමවරුන් පවා ආටිමිස් දෙවොල වන්දනාමාන කළේ යැයි ඉතිහාස වාර්තාවල දැක්වෙයි. 

 


ආටිමිස් දෙවොල ඉදිකර තිබුණු බව පැවැසෙන්නේ එපෙසස් නමැති පුරාණ ග්‍රීක නගරයේය. වර්මානයේ එපෙසස් නගරය පැවැති ප්‍රදේශය අයිති වන්නේ තුර්කියටය. වර්තමානයේ, එපෙසස් නගරය ඇත්තේ තුර්කියේ ඉස්මීර් නමින් හැඳින්වෙන වරාය නගරයට කිලෝ මීටර් 75 ක් දුරින් සෙල්කුක් නගරයට නුදුරිනි. ආටිමිස් දේවාලය පැවැති ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙස නම් කර ඇති අතර එය සංචාරක ආකර්ෂණයක් ද වෙයි.


ආටිමිස් දෙවොල ඉදිකිරීමට වසර 120 ක් ගත වුණැයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. දෙවොල ඉදි කර අවසන් වී ඇත්තේ ක්‍රි.පූ. 350 දී යැයි පැවැසෙයි. ඒ, පර්සියානු අධිරාජ්‍යය පැවැති අවදියේදී ආකිමෙඩික් රාජවංශය යටතේය. 


රෝම ඉතිහාසඥ සහ ලේඛක ප්ලිනී මෙම දෙවොල සම්බන්ධයෙන් ලියූ සටහන් අනුව, පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ, දෙවොල මීටර් 115 ක් දිග, මිටර් 55 ක් පළල ඉදිකිරීමක් කියාය. එය මුළුමනින්ම කිරිගරුඬවලින් ඉදි කරනු ලැබූවක් යැයි ද පැවැසෙයි. දෙවොලට ස්ථම්භ 127 ක් තිබුණු බව පැවැසෙයි. වාස්තු විද්‍යාවේ බල මහිමය පෙන්වීමට මේවා සමත් වන්න ඇතැයි පුරාවිද්‍යාඥයන්ගේ අදහසය. මෙම එක් ස්ථම්භයක උස මීටර් 17.5කි.

 


ආටිමිස් දෙවොල කලාපයේ කැපී පෙනෙන ආගමික ගොඩනැගිල්ලක් විය. සුළු ආසියාවෙන් පවා බැතිමතුන් සංචාරකයන් දෙවොල වන්දනාමාන කිරීමට පැමිණියේ යැයි පැවැසෙයි. ආටිමිස් දෙවඟන වෙනුවෙන් ඉදි කෙරුණත්, පසුකාලීනව මෙම දේවාලය, විවිධ ආගම්වලට අයත් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ බව පැවැසෙයි. නන්දෙසින් පැමිණි බැතිමතුන් සහ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වෙළෙන්දෝ දෙවොල අසල කුඩා වෙළෙඳසැල් පවත්වාගෙන ගියහ.


ආටිමිස් දෙවොල ඉතා අපූරු සිතුවම් රැසකින් ද අලංකාර වී තිබුණි. ඊට අමතරව, ප්‍රකට ග්‍රීක මූර්ති ශිල්පීන් රැසකගේ මූර්ති ද දෙවොලට එක් කර තිබුණි. සිතුවම් නිර්මාණය කරනු ලැබ ඇත්තේ රන් සහ රිදී අලේප කරමිනි. දෙවොල පසු කාලීනව කොල්ලකෑම්වලට ලක් විය. යුරෝපයෙන් පැමිණි ආක්‍රමණිකයන් දෙවොලේ කොටස් ගලවාගෙන ගොස් වෙනත් ඉදිකිරීම්වලට සම්බන්ධ කළේ යැයි පැවැසෙයි. කෙසේ නමුත් දෙවොල විනාශ වී ඇත්තේ ගින්නකට හසුවීමෙන් යැයි පැවැසෙයි.


වසර හයක් තිස්සේ කළ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස දෙවොලේ නටබුන් සොයා ගැනීමට සමත් වූයේ පුරා විද්‍යාඥ ජෝන් ටර්ටල් වුඞ් සහ ඔහුගේ කණ්ඩායමය. ඒ, 1869 වසරේදීය. එම ගවේෂණයට අනුග්‍රහය දැක්වූයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයයි. 1874 තෙක් පුරාවිද්‍යා කැණීම් සිදු කෙරුණි. ඉන්පසු 1904 සිට 1906 දක්වා කාලයේ පුරාවිද්‍යාඥ ඬේවිඞ් ජෝර්ජ් හොාර්ත් සහ කණ්ඩායම එක් වී වැඩිදුර කැණීම් සිදු කළ බව පැවැසෙයි. එහිදී, තවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් මතුකර ගැනීමට හැකිවුණු බව ද පැවැසෙයි. අද තුර්කියේ සෙල්කුක් නගරයට නුදුරින් දෙවොල පිහිටි ස්ථානයේ ඇත්තේ එක් කුලුනක් පමණි. 

 

 

 

 

ලුසිත ජයමාන්න
විකිපීඩියා ඇසුරිනි